කෙටි කතාව සහ අපේ ලේඛකයෝ

657

උසස් පෙළට සිංහල -5

2023/24 වසර උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී විසින් සපයන ලිපි පෙළක් අද සිට දිවයින ‘වටමඬල’ ඔස්සේ පළ කිරීමට අප විසින් තීරණය කර ඇත. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් විරාජ් ධර්ම ශ්‍රී සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දක්වන්නෙකි. ඊට අමතරව ඔහු කවියෙක්, විචාරකයෙක් ලෙසද කටයුතු කරන්නෙකි.

උසස් පෙළට උගන්වන ගුරුවර ගුරුවරියන් ගේ ඉල්ලීම පරිදි කෙටි කතාව යනු කුමක් ද? යන මැයෙන් අද කරුණු සටහන් කරමි- “එක හුස්මට පැවැසීමට හෝ කියැවීමට හැකි සංක්‍ෂිප්ත වෘත්තාන්තයකි” යනුවෙන් එඩ්ගාර් ඇලන්පෝ කෙටි කතාව පිළිබඳ ව කළ සඳහනින් කෙටි කතාව සංක්‍ෂිප්ත කලාවක් බව අඳුනා ගත හැකිය- කෙටි කතාවක අපූර්වත්වය සහ විශ්වසනීයත්වය ඉතා වැදගත් අංග ලෙස සැලැකිය හැකිය-

ඇමෙරිකානු, ප්‍රංශ සහ රුසියානු කෙටි කතා සම්ප්‍රදායයන් එකිනෙකට වෙනස් වන්නේ කෙසේ දැ යි සොයා බැලීමෙන් අපේ අවබෝධය පුළුල් වේ- එහෙත් උසස් පෙළ සිසුනට වඩාත් වැදගත් වනුයේ කෙටි කතා ලක්‍ෂණ අවබෝධ කර ගනිමින් ඒ ලක්‍ෂණ නිර්දේශිත කෙටි කතාවල අන්තර්ගත වන්නේ කෙසේ දැයි හිස වෙහෙසා බැලීම යි- කතා ප්‍රවෘත්තිය, කතා වින්‍යාසය, චරිත නිරූපණය, පසුබිම් නිරූපණය, යථාර්ථ නිරූපණය, සංකේත භාවිතය, දෘෂ්ටිකෝණය, ජීවන දෘෂ්ටිය, නිර්මාණාත්මක භාෂා ලක්‍ෂණ සහ දේශීය ලක්‍ෂණ යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඔබට උගන්වන ගුරුවරුන් සහ මිතුරු මිතුරියන් සමඟ සුහද සංවාදයේ යෙදිය යුත්තේ ඔබට නියමිත කෙටි කතා සියල්ල තෙවරක් වත් විවේකයෙන් කියැවීමෙන් අනතුරුව ය-

සයිමන් නවගත්තේගම ගේ ස්නේහය, එරික් ඉලයප්ආරච්චි ගේ මිනිස් වටය බඳු කෙටි කතා යථාර්ථවාදී රීතිය ගුරු කොට ගෙන රචිත නිර්මාණ ලෙස සැලැකිය හැකිය- යථාර්ථවාදී රීතිය, සමාජවාදී රීතිය, අධියථාර්ථවාදී රීතිය, මායා යථාර්ථවාදී රීතිය ලෙස තවදුරටත් වෙන් කර බැලිය හැකිය- සමාජය පවතින අයුරට නිර්මාණය කරමින් ඇත්ත මතු කිරීම යථාර්ථවාදී රීතිය යි- ෆ්‍රාන්ස් කෆ්කා ගේ The Metamorphosis (රූප විපර්යාසය) විචිත්‍රාද්භූත ලක්‍ෂණත් තාත්වික ලක්‍ෂණත් සම්මිශ්‍රණය කළ සිත්ගන්නාසුලු කතාවකි- ෆ්‍රාන්ස් කෆ්කා ගේ The Metamorphosis කේ- ජී- කරුණාතිලක රූප විපර්යාසය නමින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති බැවින් ඔබට එය පහසුවෙන් කියවා රස විඳිය හැකිය- රූප විපර්යාසය කියැවීමේ වැදගත්කම වනුයේ උසස් පෙළට නියමිත යථාර්ථවාදී රීතියට අනුගත ව නිර්මාණය කළ කෙටි කතා සහ අද්භූත මෙන් ම තාත්වික ලක්‍ෂණ මිශ්‍රිත නොවෙල්ලා ගණයට අයත් රූප විපර්යාසය සසඳා බැලීමට හැකි වීම යි-

ෆ්‍රාන්ස් කෆ්කා ගේ The Metamorphosis කතාව ඔබේ රස වින්දනය උදෙසා මෙහි කෙටියෙන් සටහන් කරමි- ග්‍රිගෝර් තමන් ගේ මවුපියන් සහ සොහොයුරිය සමඟ මහල් නිවසක ජීවත් වෙයි- එක් උදෑසනක අවදි වන විට ඔහු දැවැන්ත කැරපොත්තකු බවට පරිවර්තනය වී ඇති බව දැන ගනියි- ඒත් ඔහුට තියෙන්නේ මිනිස් සිතුම් පැතුම් ය- පවුලේ උදවිය මුලින් බියට පත් වුවත් පසු ව ලැජ්ජාවට පත් වෙති- ඔහු කාමරයේ සිටිය දී දොර වසා දමා කාමරයේ සිර කර තබන බැවින්

රැකියාවට යෑමට නො හැකි වේ- තම සොහොයුරිය වයලීනය වාදනය කරනු ඇසීමට රිසි වූ ඔහු එළියට එයි- මේ දැවැන්ත කැරපොත්තා දකින ගෙදර සිටි බෝඩිංකාරයෝ බය වෙති- පවුලේ අය විසින් ආපසු කාමරයට එළවා දමන ග්‍රිගෝර් දුකින් හා සන්තාපයෙන් නිදි වර්ජිත ව රැයක් ගත කර මිය යයි- මේ කතාවේ ග්‍රිගෝර් දැවැන්ත කැරපොත්තකු බවට පත්වීම අද්භූත දෙයක් වන නමුදු කැරපොත්තකු බවට පත් වීමෙන් පසු ව ද මිනිස් සිතුවිලි පවතින බැවින් මිනිස් සිත විනිවිද දැකීමට පාඨකයාට ඉඩ කඩ සැලැසේ- කෆ්කා ගේ The Metamorphosis නමැති මේ කතාව සිංහල භාෂාවට පරිවර්තනය කරන කේ- ජී- කරුණාතිලක සඳහන් කරන්නේ කෆ්කා ගේ කෘතිවල විචිත්‍රාද්භූත ලක්‍ෂණත් තාත්වික ලක්‍ෂණත් එකට සම්මිශ්‍රණය වී ඇති බව යි- කෙටි කතාකරුවා සංවාද භාවිතයේ දී වඩාත් තියුණු බවක් පෙන්වයි- මේ තියුණු බවට වඩාත් හේතු වනුයේ කෙටි කතාවල පවතින සංක්‍ෂිප්ත ගුණය යි- ගුණදාස අමරසේකර ගේ දිසොන්චිනා හාමි කෙටි කතාවේ වෛද්‍යවරයා වන කුමාර් ජයවර්ධන සහ බන්ධුසේන අතර ඇති වන සංවාදයෙන් ඔවුනොවුන් ගේ ජීවන දර්ශනය පාඨකයාට හෙළි කිරීමට සැකෙවි සංවාද යොදා ගත් අයුරු කදිම ය-

“මොනව ද සර් ලෙඩා මැරුණයින් පස්සෙ ඩයග්නොසිස් එකෙන් ඇති වැඩේ?”

“එක ලෙඩෙක් මැරුණට වෛද්‍ය විද්‍යාව මැරෙන්නෙ නැහැ නේ- අපේ වගකීම ලෙඩ්ඩුන්ට වගේ ම විද්‍යාවටත්.”

බන්ධුසේන ගේ ජීවන දර්ශනයත් වෛද්‍යවරයා ගේ ජීවන දර්ශනයත් හෙළි කරන මේ කෙටි සංවාදයෙන් කෙටි කතාවල සංවාදවල පැවැතිය යුතු ගැඹුරු අරුත් බර බවත් කෙටි බවත් අඳුනා ගත හැකිය- සංවාද අනවශ්‍ය ලෙස දිගු කිරීම කෙටි කතාවකට නුසුදුසු ය- කෙටි කතාවක සහ නව කථාවක පවතින මේ වෙනස්කම් ගැන මවිසින් රචිත සිංහල සාහිත්‍ය සංග්‍රහය විචාරය – 1 ග්‍රන්ථයෙහි වඩාත් පැහැදිලි ව සඳහන් කර ඇත-

ජාතක කථා, බණ කතා ආදියට දිගු කලක් හුරු ව සිටි අපි අලුතෙන් පැමිණි කෙටි කතා සම්ප්‍රදායයට නැමුණෙමු- එහෙත් අපේ ඇතැම් කෙටි කතාකරුවෝ අපේ අනන්‍යතාව සුරැකෙන අයුරින් කෙටි කතාකරණයෙහි නියැළීමට තැත් කළ හ- මේ කරුණු ගැන අවධානය යොමු කරමින් අපේ කෙටි කතාවලින් දිස් වන ගැමි ලකුණු විමසීම ඉතා වැදගත් වේ- එකරුණෙහි මාර්ටින් වික්‍රමසිංහ ගේ වහල්ලු විපරම් ඇසින් බැලිය යුතුය- ගැමි බසත් ගැමි සංස්කෘතියත් කෙටි කතාවට ඈඳා ගත් පමණින් එය අපේ අනන්‍යතාව සුරැකෙන කලාවක් බවට පත් නො වේ- කුමරතුඟුවන් ගැදි නිර්මාණයේ දී ආකෘතියට වඩා බස කෙරෙහි වඩාත් නැමී කතා කලාවෙන් අපේකම ඉස්මතු කිරීමට තැත් කළ අතර තෙන්නකෝනුන් බසත් ආකෘතියත් යන දෙක ම කෙරෙහි අවධානය යොමු කළ බවක් දැකිය හැකිය- එබැවින් හෙළ හවුලේ ගැදි, කෙටි කතා කලාවෙන් බැහැර වූවක් සේ සැලැකීමට අපේ විචාරකයෝ පෙලැඹුණ හ-

උසස් පෙළට නියමිත කෙටි කතා කියවා ඒ ඒ කෙටි කතාවලින් දේශීය අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට අපේ කෙටිකතාකරුවන් දක්වන උනන්දුවත් ඔවුන් ගේ ආකල්පත් විමැසුම් ඇසින් බැලිය යුතුය- මෙහි දී අන්තර්ගතය සහ ආකෘතිය යන දෙ කරුණ ගැන ම සැලැකිය යුතුය- අපේ කලාංගයක් ගොඩනඟා ගැනීමට තැත් කරන්නා ආකෘතිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම පමණ නො වේ- අන්තර්ගතය සහ ආකෘතිය යන දෙක ම කෙරෙහි එක වර අවධානය යොමු විය යුතු බව ඔබට තහවුරු කරනු පිණිස එදිරිවීර සරච්චන්ද්‍ර ගේ කල්පනා ලෝකය කෘතියෙන් කොටසක් දක්වමි-

“අන්තර්ගතය විසින් ආකෘතිය ද ආකෘතිය විසින් අන්තර්ගතය ද පාලනය කරනු ලැබේ- දෙකම එකක් බවට පත් වූ විට ය කලා නිර්මාණයක් පරිසමාප්ත කෘතියක් වන්නේ-”

මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ- ජයතිලක, ඇරැව්වල නන්දිමිත්‍ර යනාදී ඔබට අධ්‍යයනයට නියමිත ලේඛකයන් ගේ කෙටිකතා ආකෘතිය සහ අන්තර්ගතය ගැන අවධානය යොමු කරමින් කතා බහ කරමින් තමන් ගේ ම සටහන් සකස් කර ගැනීමට තැත් කරන්න- කෙටිකතා ලක්‍ෂණ විවිධ තේමා, ආකෘති සහ ප්‍රවණතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ගොඩනඟා ගැනීමෙන් ඔබේ විභාග ඉලක්කය පහසුවෙන් ජය ගත හැකි වනු ඇත.

කෙටි කතාව සහ අපේ ලේඛකයෝ

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/අත්‍ථදස්සි කනිටු විදුහල
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment