නැවතත් ගින්දර – ඇවිලෙන්නට පෙර – නත්තල් කෙටි කථාව

164

උඳුවප් මහේ ශීතල සුළං රැලි ගත දැවටෙන්නේ සිසිල් සුවය දනවමින්ය.

සූර්යයාගේ රිවිකිරණ දුහුල් සුමුදු සළුවක්සේ සිරුර වසා පොරවන්නාසේය.

ශීතල සුළං රැළි සහ උණුසුම් රිවිකිරණ සංයෝග වී ශරීරය තැවරීමම අතිශයින්ම සුවදායකය.

ඒ ළං ළංව එන නත්තලේ අසිරිමත් බව දනවන සංකේතයක් වැන්න.

අන්ධකාරයේ සිටි සෙනඟ මහත් ආලෝකයක් දුටුවේය.

ඒ නත්තල ගැන ශුභාරංචිවල දැක්වෙන දේය.

උත්කෘෂ්ඨ මණ්ඩලයේ වැඩසිටින දෙවියන්ට මහිමයත්, සුසිත් දනන් හට සාමයක් වේවා! යනුවෙන් ගැයුවේ සුරදූතිකාවන්ය.

විදේශයෙන් ආනයනය කළ වෙළෙඳපොළේ ඇති ලාබම සහලේ බතට කොස් ඇට හොද්දත් එක්ක උදේ පාතරාසය අනුභව කරමින් සිටි සුමනදාසට එසේ සිතුනි.

කිතුණුවකු නොවුවද සුමනදාස කුඩා කල සිට නත්තල අසිරිමත්ව සහ සෞන්දර්යාත්මක රසය විඳිමින්ම නත්තලේ ගැඹුරු අර්ථය ද හැකි උපරිම අයුරෙන් වින්දනය කළේ අනන්ත අප්‍රමාණ වූ සතුටිනි.

එහෙත් ඔහුගේ සිත උඳුවප් මහේ පැහැදිලි නිල්වන් අහස මෙන් චමත්කාරජනක වුවද අහසත් පොළවත් අතර අවකාශයේ පැතිර ගිය කළු දුමාරය සහ ගිනිදැල් ඔහුගේ මනසේ ඇඳී ගියේ ද ඒ නිමේශයේමය.

දෙවියන් වඳින්නට ගිය මිනිස් ජීවිත සිය ගණනක් මූලධර්මවාදයේ බෝම්බයෙන් මිය පරලොව ගියේ දේවස්ථාන කිහිපයක් තුළය.

තවත් අතීතයටම සිත ආපසු ගමන් ගත් ඔහුව රැගෙන ගියේ ඔහුට හොරෙන් වගේය.

1983 කළු ජූලිය අභියස ‘මරාපියව් ඔය දෙමළ හැතිකරේ උන් රටෙන් වැඩිහරියක් ඉල්ලනවා අපි කොහේ යන්ඩද?’

මේ ඝෝෂාවල් ඇසුනේ නිරයේ අග්නි ජාලා මැද ලේ පිපාසයෙන් කෑ මොර දෙන පිශාචයන්ගේ හඬවල් සේය.

ඒවා අශුභය අමිහිරිය, කුරිරුය දුර්දාන්තය. ලේ පිපාසිත දේශපාලනය එහි පසුබිමය.

රටක් දවා විනාශ කළ ඒ පටු සංකල්ප කෙසේ වෙතත් උතුරටත් දකුණටත් ඇත්තේ එකම ප්‍රශ්නය.

අපිට මොනවද සෝමසුන්දරම්ලගෙන් උදුරගන්ඩ තියෙන්නේ. සෝමසුන්දරම්ලට මොනවද අපෙන් උදුරගන්ඩ තියෙන්නේ.

එකම ප්‍රචණ්ඩ හිරු යට කර්කශක මහ පොළවත් එක්ක ඔට්ටුවෙන අපේ ඔක්කොම ප්‍රශ්න එකමයි.

ඒ අතීතයේ සුමනදාස පත්තර කන්තෝරුවේ මිතුරන් සමග යස අපූරුවට තර්ක කළේය. එහෙත් දැන් ඔහු තරමක් වියපත් වෙලාය.

දැනුත් මෙලෙස කතාවක් ඔහුට ඇසුනේ වෙළෙඳපොළට ගොස් එන අතරතුරය.

ඕන්න මිස්ටර් සුමනදාස ආයෙමත් රට බෙදන්ඩ වගේ හදන්නෙ.

ඔය ඉඩම් ප්‍රතිපත්ති එහෙම වෙනස් කරනවලු අපේ ලේ තියෙන නායකයො ඕවට ඉඩ දෙන එකක් නැතිවෙයි.

ඕවට නිකම් ඉඳල හරියන් නෑ සුමනදාස. මට පරක්කුවෙනවා. මං මේ අපේ පිංකිට මස් ටිකක් ගන්න යනවා. නත්තලත් අතේ දුරටම ආවා. අපේ ගෙදර පුතාලගේ පාටිය කරන්ඩත් ඕනෑ.

නත්තල් පාටිය අතහරින්ඩත් බෑනෙ. පුළුවන් වෙලාවක අපේ ගේ පැත්තේ ගේ පේන්ට් කරන්ඩත් උදව්වට එන්න.

පුතාල කිව්ව පරණ ඒත් අලුත්ම වගේ ෂර්ට් දෙකකුත් ඔයාට දෙන්ඩ තියන් ඉන්නවා. වැසි දිනෙක මුනින් නැවූ කළයට වතුර නොපිරෙන්නාසේම ඒ යාන් හැලි සුමනදාසගේ චිත්ත චෛතසිකය තුළට ගලා ගියේ නැත.

දවසේ විසිහතර පැය තුළ ගෘහ ආර්ථිකයේ ආර්ථික විiා ප්‍රශ්න පත්‍රයට මනසින් පිළිතුරු ලියමින් සිටින සුමනදාසට ඒවා නිශ්ඵලය. හිස් වදන් ගොඩක් පමණය.

සුමනදාස ළඟ දියණිය සහ යහළුවකුගෙන් ලැබුණ මුදල් ටිකක් තිබිණි.

මේ පාර මොහොමඩ්ලගෙ දරුවන්ට මොනවහරි ගන්ඩ ඒක දෙනවා. ඔහු එසේ අධිෂ්ඨාන කරගෙන හමාරය.

කාලය සෙමින් සෙමින් නොව වේගයෙන් ගලා ගොස් නත්තල හෙටට ළංකර තිබිණි.

නත්තලේ හරය සාමයයි සාමය නැති තැන ඇති නත්තලක් ද නැත.

කලින් දවසක හමුවී ජාති මාමකත්වය ගැන දෙඩූ මානිස් මහතාගේ දෙමහල් නිවස තුළින් රසමසවුළු සුවඳ සහ රතිඤ්ඤා හඬ පරිසරයට මුදාහරිමින් තිබේ. කිතු උපත මනසට සමීප කරමින් පල්ලියේ සීනුව නාද වූයේ මධ්‍යම රාත්‍රියේ දොළහෙ කණිසමටය. රිදීවන් තරු නිල් අහසේ චමත්කාර සිතුවම් රටා මැවූයේ මනසට චමත්කාරය මෝදු කරවන අතරය.

ශීත සුළං රැළි ගලා ආවේය.

ජාතිවාදයේ, ආගම්වාදයේ දායාදවන් ගින්දර..

නැවතත් ගින්දර ඇවිලෙන්නට පෙර මිනිසුන් මානව දයාවෙන් සිසිල්වී සංසිඳීමට පත්විය යුතුය.

එසේ නොවන්නට නත්තල උපයෝගි කරගත මනාය.

හෙට උදෑසන අසරණවී සිටින මොහෙමඩ්ගේ ගෙදරට උපකාරය රැගෙන යා යුතුව තිබේ.

තව ඇත්තේ හෝරා කිහිපයකි. නැවතත් ගින්දර ඇවිලෙන්නට පෙර සාමය තුළින් චෛතසික භ්‍රාන්තිය නිවාලිය යුතුමය.

සාමදාන කරන්නෝ භාග්‍යවන්තයෝය.

මක්නිසාද? ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ය. කන්ද උඩ දේශනාවේ එසේ දැක්වෙන බව සුමනදාසට පසක් වූයේ එසඳය.

දානය, පරිත්‍යාගය, දයාව තුළින් ගින්දර නිවාලිය යුතුව තිබේ. එවිට සුමනදාසට දැනුණේ අප්‍රමාන සුවයකි. සතුටකි. සැනසුමකි. සුමනදාස නත්තල චිත්ත චෛතසිකය තුළ සිතුවම් කරගත්තේය.

● ඊ. යූ. ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment