ඩීසල් නැති වුණොත් මාළු කාලත් හමාරයි?

202

මෙරට ධීවර කර්මාන්තය අපේ රටට ඩොලර් උපයාදෙන නොඑසේ නම් විදේශ විනිමය උපයාදෙන ප‍්‍රධාන මාර්ගයකි. ඒ විතරක් නොව රටේ දළ දේශීය නිෂ්පාදනයට ඉන් ලැබෙන්නේ සුවිශේෂිවු දායකත්වයකි. එමෙන්ම රට්ටුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලීම සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන්නේ ධීවර කර්මාන්තයෙනි. ලක්ෂ 20කට ආසන්න පිරිසක් සෘජුව හෝ වක‍්‍රව මෙරට ධීවර කර්මාන්තයේ නිරතව සිටිති. ඉන්ධන, ගෑස්, භූමිතෙල්, අයිස්, මෙන්ම ධීවර ආම්පන්න මිල වැඩිවීම ධීවර කාර්මිකයාට දරාගත නොහැකිය. මින් ධීවර කර්මාන්තයට එල්ලවී ඇති බලපෑම සුළුපටු නොවේ. කොටින්ම කිවහොත් ඉන්ධන මිල වැඩිවීම රටේ අනිකුත් ක්ෂේත‍්‍රවලට මෙන්ම ධීවර කර්මාන්තයට ද එල්ලවී ඇත්තේ මරු පහරකි.

ඞීසල් හිඟය නිසා බහුදින යාත‍්‍රා විශාල සංඛ්‍යාවක් මුහුදු යෑමට නොහැකිව ධීවර වරායන්වල ගාල්කොට ඇත්තේය. බහුදින යාත‍්‍රා හිමියන්ට සිය බහුදින යාත‍්‍රා සඳහා ඞීසල් ලබාගැනීමට දින ගණනාවක් පොළිම්වල සිටීමට සිදුවී ඇත. ගාල්ල ධීවර වරාය තුළ පමණක් ඞීසල් ලබාගැනීම සඳහා බහුදින යාත‍්‍රා 136ක් පමණ වරායේ සිරවී ඇත්තේය. මෙම තත්ත්වය නිසා මුහුදු රක්ෂාවේ යෑමට නොහැකිව ධීවර කාර්මිකයන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. අලූත් අවුරුදු සමය ඉලක්ක කරගෙන වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙළාගැනීම සඳහා මාර්තු මාසයේ දී බහුදින යාත‍්‍රා මගින් ධීවර කාර්මිකයන් අති බහුතරයක් මුහුදු යෑමට පුරුදුව සිටිති. මාර්තු මාසය තුළ ධීවර රක්ෂාව සඳහා පිටත්ව යන බහුදින යාත‍්‍රා මත්ස්‍ය අස්වැන්න නෙළාගෙන ගොඩබිමට පැමිණෙන්නේ අපේ‍්‍රල් මාසයේ මුල්සතියේදීය.. ඞීසල් හිඟය නිසා බහුදින යාත‍්‍රා විශාල සංඛ්‍යාවක් ධීවර වරායන්වල නැංගුරම්ලා ඇති අතර අලූත් අවුරුදු සමයේ දී මත්ස්‍ය හිඟයක් ඇතිවිය හැකි බවට බහුදින යාත‍්‍රා හිමියන් අනතුරු අඟවති. ඒ විතරක් නොව මෙම තත්ත්වය හමුවේ මත්ස්‍ය මිලද අහස උසට නැඟ තිබේ. මේ දිනවල මාළු ගිනි ගණන්ය.

ඒ විතරක් නොව ඞීසල් මිල, ධීවර ආම්පන්න හා අයිස් මිල වැඩිවීම නිසා ඞීසල් ලීටර් 3000ක් භාවිත කරණු ලබන බහුදින යාත‍්‍රා හිමියෙකුට එක් මුහුදු ගමන්වාරයක් සඳහා රුපියල් ලක්ෂ 03ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී තිබේ. ලීටර් 5000ක් භාවිතා කරණු ලබන බහුදින යාත‍්‍රාවකට ඞීසල් සඳහා පමණක් රුපියල් 275000ක අතිරේක වියදමක් දැරීමට සිදුවී ඇති අතර යෙදවුම් ගාස්තු සමග දැරීමට සිදුවී ඇති අතිරේක පිරිවැය රුපියල් ලක්ෂ 05 කි.

ඉන්ධන හා ධීවර ආම්පන්න මිල වැඩිවීම නිසා ධීවර කර්මාන්තයට එල්ලවී ඇති බලපෑම පිළිබඳ ධීවර සංගම්වල නායකයන් කිහිපදෙනකු සමග අපි කතාබහ කළෙමු.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කීවේ මෙවැනි කතාවකි.

ඩීසල් නැති වුණොත් මාළු කාලත් හමාරයි?

ඞීසල් හිඟය නිසා මේ රටේ ධීවර යාත‍්‍රා සියයට 50ක් 60ක් පමණ මුහුදු රක්ෂාවේ යන්නේ නැහැ. ඞීසල් මිල වැඩිවීම නිසා ඞීසල් ලීටර් 3000ක භාවිත කරණු ලබන බහුදින යාත‍්‍රාවකට අමතරව රුපියල් 165000ක අමතර පිරිවැයක් දැරීමට සිදුවෙලා තියෙනවා. අයිස් හොන්ඩරයක මිල රුපියල් 60කින් වැඩිකළා. අයිස් හොන්ඩර් 300ක් භාවිතා කළහොත් අමතරව රුපියල් 18000ක මුදලක් වැය කිරීමට සිදුවෙනවා. ධීවර ආම්පන්න සඳහා බදු බර වැඩිකළා. ඒ නිසා ධීවර කාර්මිකයාට තවත් අමතර පිරිවැයක් දැරීමට සිදුවෙලා තියෙනවා. ෆයිබර් කිලෝවක් රුපියල් 450ට තිබුණේ දැන් රුපියල් 800යි. සියයට අසුවකින් මිල වැඩි කළා. මේ නිසා ඞීසල් ලීටර් 3000ක් භාවිතා කරණ බහුදින යාත‍්‍රවකට රුපියල් ලක්ෂ 03ක අමතර යෙදවුම් ගාස්තුවක් වැය කිරීමට ධීවර කාර්මිකයන්ට සිදුවෙලා තියෙනවා.

අපේ රටේ මත්ෂ්‍ය අස්වැන්නට විශාල දායකත්වයක් ලබාදෙන්නේ බහුදින ධීවර යාත‍්‍රා. ලංකාවේ බහුදින ධීවර යාත‍්‍රා 5000ක් පමණ තියෙනවා. මෙම තත්ත්වය යටතේ මෙකී යාත‍්‍රා ධීවර තොටුපළවල්වල ගාල් කිරීමට සිදුවේවි. ඉන්ධන මිල වැඩිකරලා ධීවර කාර්මිකයාට මේ ආණ්ඩුව මගින් දෙකේ දෙකේ පොල්ලකින් තමයි පහරදිලා තියෙන්නේ. කුඩා යාත‍්‍රා හිමියන් ද භූමිතෙල් මිල වැඩිකිරීම නිසා ගැටලූ රැසකට ලක්වෙලා ඉන්නවා. භූමිතෙල් හා ඞීසල් නැහැ. සමස්ත මත්ස්‍ය අස්වැන්න අඩුවෙලා. මාළු හිඟයක් තියෙන බව පාරිභෝගිකයන් කියනවා. මාළු මිල වැඩිවෙලා. ආණ්ඩුවට කියනවා තෙල් මිල පහත හෙළන්න කියලා. බහුදින යාත‍්‍රා සඳහා තෙල් සහනාධාරයක් ලබාදිය යුතු බවද රත්න ගමගේ මහතා කීවේය.

ඉන්ධන මිල වැඩිවීම නිසා ධීවර කර්මාන්තයට එල්ලවී ඇති බලපෑම සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් බහුදින යාත‍්‍රා හිමියන්ගේ ධීවර සමුපකාර සමිතියේ සභාපති වයි. ජී. අජිත් නිශාන්ත මහතා කරුණු පැහැදිළි කළේ මේ අයුරිනි.

ඞීසල් හිඟය නිසා ඉන්ධන ලබාගැනීමට නොහැකිව බහුදින යාත‍්‍රා විශාල සංඛ්‍යාවක් මෙරට ධීවර වරායන්වල මේ වනවිට නැංගුරම්ලා තියෙනවා. විදුලි අර්බුදය නිසා අයිස්වල ප‍්‍රමිතියක් නැහැ. ප‍්‍රමිතියෙන් තොර අයිස් තමයි ධීවරයාට භාවිතා කිරීමට සිදුවෙලා තියෙන්නේ ධීවර රක්ෂාවේ යන්න ඕන නිසා ප‍්‍රමිතියෙන් තොර අයිස් ධීවරයන් විසින් ලබාගන්නවා. ප‍්‍රමිතියෙන් තොර අයිස් ඉතා වෙගයෙන් දියවෙනවා. පැය තුනහමාරක් විදුලිය කපනවිට අයිස්වල ප‍්‍රමිතියක් නැහැ. අයිස් කැටයක් නිෂ්පාදනය කරන්න යන්නේ රුපියල් 110යි. නමුත් ධීවරයාට අලෙවි කරන්නේ රුපියල් 280 කට. අයිස් මිල තීරණය කරන්නේ ධීවර රාජ්‍ය ඇමැතිවරයා.

බෝට්ටුවලට අයිස් ලබා ගත්තද ඉන්ධන නොමැති නිසා රක්ෂාවේ යෑමට නොහැකි බහුදින යාත‍්‍රා විශාල සංඛ්‍යාවක් තංගල්ල, කුඩාවැල්ල, හම්බන්තොට, කිරින්ද, ගන්දර, මිරිස්ස යන ධීවර වරායන්වල නැංගුරම්ලා තියෙනවා. වෙනදා සැපයූ ඉන්ධන ප‍්‍රමාණය එම වරායන්වල කළමනාකරුවන්ට අද වනවිට සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඉන්ධන හා අයිස් ලබාගන්න ධීවරයන් අතර තියෙන්නේ තරගයක්. මොනවා කළත් මුහුදු රක්ෂාවේ යන ධීවර කාර්මිකයන්ට මුහුදට
ගිහින් උයාගෙන කන්න ගෑස් නැහැ. වරායන්වල ඇති ගෑස් ගබඩාවල ගෑස් නැහැ. මෙක ඉතා බරපතළ තත්ත්වයක්. ධීවර ජනතාවට අවශ්‍ය ගෑස්, ඉන්ධන, වහා ලබාදෙන්න කියලා අපි රජයට බලකරනවා. වෙනදා වසරකට බහුදින යාත‍්‍රාවක් ගමන් වාර 08ක් ගියා නම් දැන් ගමන් වාර 04ක් වත් යන්න වෙන්නේ නැහැ. බහුදින යාත‍්‍රා හිමියන් බැංකුවලට ණයවෙලා ඉන්නේ. වාරික ගෙවන්න විදියක් නැහැ. ධීවර ආම්පන්නවල මිල බදු ක‍්‍රමය යටතේ ඉතා වේගයෙන් වැඩිවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආම්පන්න දැල් ගන්න නැහැ. වෙනදා රුපියල් 45000ට තිබූ දැල්පීස් එකක් අද රුපියල් 83000යි. ඉදිරියේ දී සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මගින් රටපුරා දැවැන්ත විරෝධතාවයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි අජිත් නිශාන්ත කීවේය.

මීගමුව බහුදින යාත‍්‍රා හිමියන්ගේ සංගමයේ සහ මීගමුව දිස්ත‍්‍රික් ධීවර සංවිධානයේ සභාපති ජෝශප් පීටර් ප‍්‍රනාන්දු මහතා මෙසේ කීවේය.

ඉන්ධන මිල වැඩිවීම බහුදින යාත‍්‍රා හිමියන්ට දැඩි ලෙස බලපාලා තියෙනවා. මේ කර්මාන්තය කරගෙන යෑමට පවා නොහැකි වෙලා තියෙනවා. සාමාන්‍ය යාත‍්‍රාවකට එක් ගමන් වාරයක් සඳහා අමතරව රුපියල් ලක්ෂ 03ක පමණ වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා. මත්ස්‍ය අස්වැන්න අඩුවුනොත් පාඩුව තවත් වැඩිවෙනවා. සංචාරක, ඇඟලූම් කර්මාන්තය හැරුණුවිට රටට විදේශ විනිමය උපයාදෙන ප‍්‍රධාන කර්මාන්තයක් තමයි ධීවර කර්මාන්තය. කොවිඞ් වංසගත කාලයේත් මත්ස්‍ය අපනයනය සිදුවුණා. මේ නිසා ධීවර කර්මාන්තයෙන් විශාල විදේශ විනිමයක් අපේ රටට ලබා ගැනීමට හැකිවුණා. නමුත් මේ වනවිට නොසිතූ ලෙස ධීවර ආම්පන්න මිල විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. ධීවර ආම්පන්න විදේශීය රටවලින් තමයි ගෙන්වන්නේ. අම්පන්නවල හිඟයක් ද තියෙනවා. මත්ස්‍ය අස්වැන්න අඩුවෙලා තියෙනවා. මාළු මිල ඉහළ යෑමේ වාසිය ධීවරයාට ලැබෙන්නේ නැහැ. ධීවරයන් මුහුදු රක්ෂාවේ යෑමට මැලිකමක් දක්වනවා. ඉන්ධන හිඟය ගෑස් නොමැතිකම නිසා මුහුදු රක්ෂාවේ යෑමට නොහැකිව මේ වනවිට මීගමුව ධීවර වරායේ යාත‍්‍රා 200ක් පමණ නැංගුරම්ලා තියෙනවා. යැයිද හෙතෙම කීවේය.

ඩීසල් නැති වුණොත් මාළු කාලත් හමාරයි?

එක්සත් ධීවර හා ධීවර කම්කරු සංගමයේ සභාපති එම්. විජේන්ද්‍ර මහතා කුඩා ධීවර යාත‍්‍රා හිමියන්ට උදාවී ඇති තත්ත්වය විස්තර කළේ මේ අයුරිනි.

ලංකාවේ කුඩා ධීවර යාත‍්‍රා 35000ක් පමණ තියෙනවා. ලංකාවේ තියෙනවා මාළු වෙළෙඳසල්වලට, ලෙල්ලම්වලට හාල්මැස්සෝ සාලයා සුඩයා, කුම්බලාව, හුරුල්ලෝ, ගල් මාළු වැනි කුඩා මත්ස්‍යයන් සපයන්නේ කුඩා යාත‍්‍රාවලින් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන්. කුඩා යාත‍්‍රා භූමිතෙල්වලින් තමයි දුවන්නේ. බොට්ටුව පණගැන්වීම සඳහා පෙට‍්‍රල් අවශ්‍ය වෙනවා. භූමිතෙල් පෙට‍්‍රල් මිල තුන් වාතාවක් පමණ වැඩිවුණා. භූමිතෙල් මිල සියයට තිහකින් පමණ වැඩිවුණා. එක්දින යාත‍්‍රා සඳහා දිනකට භූමිතෙල් ලීටර් 20ක් පමණ අවශ්‍ය වෙනවා. රුපියල් 5000ක් මසුන් ඇල්ලූවොත් තෙල් වියදම විතරක් රුපියල් 2500ක් විතර යනවා. ඊට අමතරව කෑම වියදම, අයිස් ඇතුළු යෙදවුම් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා.

භූමිතෙල් මිල වැඩිවීම නිසා එක්දින ධීවර කර්මාන්තයට මරුපහරක් වැදිලා තියෙනවා. ඩොලර් අර්බුදය නිසා තංගුස්, එන්ජින්, බිලීකටු ඇතුළු ධීවර ආම්පන්න සියයට 30 40කින් වැඩිවෙලා. ඉතිහාසයේ කවදාවත් මේ අයුරින් ධීවර ආම්පන්න මිල ඉහළ ගියේ නැහැ. රුපියල් සියයට එකසිය පනහට ගත්තු මිලිමීටර් 06 මන්ද දැන් රුපියල් 350යි. කුම්බලාවෝ පරව් අලන්න හතරපට දැල රුපියල් 1000ක ගත්තේ දැන් රුපියල් 26000 යි. ඩොලර් ප‍්‍රශ්නය පිටින් දමලා දැල් ආම්පන්න ගෙන්වන සමාගම් තමයි මිල වැඩිකරලා තියෙන්නේ. හිතෙන හිතෙන මිලට දැල් ආම්පන්න අලෙවි කරනවා රජයට මේ ගැන කිසිදු නියාමනයක් නැහැ. ධීවර අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් වෙන්නේ නැහැ. මාළු මිලත් දෙගුණයකින් වැඩිවෙලා තියෙනවා. පරා මාළු කිලෝවක් රුපියල් 1000කට අඩුවෙන් ගන්න බැහැ. මේ කාලයේ මත්ස්‍ය අස්වැන්නත් අඩුයි. මාළුවල මිල තීරණය කරන්නේ මාළු වෙළෙඳුන්. අපිට ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ. ධීවර සංස්ථාවේ මැදිහත්වීමක් නැහැ. අපි මුහුදට ගිහින් නිකන් ඉන්නේ නැහැ අලූතින් බෝට්ටුවක් දමන්න ලක්ෂ 10ක් විතර මුදලක් යනවා. මේ නිසා එක්දින යාත‍්‍රා හිමියන් සඳහා භූමිතෙල් සහනාධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද එම්. විජේන්ද්‍ර කීවේය.

ගාල්ල දිස්ත‍්‍රික් ධීවර සංගමයේ හා ගාල්ල ධීවර වරාය කමිටුවේ සභාපති පී. බී. ගාමිණී මහතා මෙසේ කීවේය.

ගාල්ල ධීවර වරායෙන් මුහුදු යන බහුදින යාත‍්‍රා 750ක් විතර තියෙනවා. ඉන්ධන ප‍්‍රශ්නය නිසා ඉන් සියයට 30ක් විතර තමයි මුහුදු යන්නේ. දිනකට රක්ෂාව සඳහා පිටත්ව යන්නේ බහුදින යාත‍්‍රා තුන හතරක් පමණයි. ගාල්ල ධීවර වරාය සඳහා දිනකට ලැබෙන්නේ ඞීසල් ලීටර් 6400 ලෝඞ් තුනක් පමණයි. වෙනදා ලෝඞ් 10ක් විතර එනවා. දැනට ලැබෙන ඞීසල් ප‍්‍රමාණය අනුව බහුදින යාත‍්‍රා 09කටවත් ඞීසල් ගහන්න බැහැ. බහුදින යාත‍්‍රාවලට ඞීසල් ලීටර් 2000, 3000 වශයෙන් සීමාකරලා තමයි නිකුත් කරන්නේ. බහුදින යාත‍්‍රාවකට එක් මුහුදු ගමන්වරායක් ගිහින් එන්න ඉන්ධන ලීටර් 3000 ක් විතර අවශ්‍ය වෙනවා. අයිස් ගෑස් කෑම ඇතුළු එක් ගමන්වාරයක් ගිහින් එන්න රුපියල් ලක්ෂ 10ක විතර වියදමක් දැරීමට සිදුවෙනවා. එක් බහුදින යාත‍්‍රාවකට
ගෑස් සිලින්ඩර් 03ක් විතර අවශ්‍ය වෙනවා. ගෑස් නොමැතිකමත් බරපතළ ගැටලූවක් බවට පත්වෙලා තියෙනවා. මේ නිසා දැනට මුහුදු යන බහුදින යාත‍්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා යැයිද පී. බී. ගාමිණී මහතා සඳහන් කළේය.

දකුණේ ධීවර සංවිධනයේ සම්බන්ධධිකාරක දුලිප් රංගජීව මහතා සුළුපන්න ධීවර කාර්මිකයන් සමග කටයුතු කරන අයෙකි.

එක්දින යාත‍්‍රා හිමියන්ට භූමිතෙල් ප‍්‍රශ්නය ප‍්‍රධාන ගැටලූවක් බවට පත්වෙලා තියෙනවා. සුළුපන්න ධීවර කාර්මිකයන් භූමිතෙල් සොයාගන්නේ ඉතා අපහසුවෙන්. සුළුපන්න ධීවරයාට සිය රැකියාව කරගෙන යෑමේ දී කලින්ට වඩා රුපියල් 2000ක අමතර වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා. එමෙන්ම නීති විරෝධී පන්න භාවිතා කරන ධීවරයන් ඉන්නවා. නමුත් ඒ අයට මහ මුහුදේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ගාල්ල හික්කඩුව බලපිටිය යන මුහුදුතීරවල තහනම් පන්න ක‍්‍රම ක‍්‍රියාත්මක වෙනවා. නිලධාරීන් මේ සඳහා ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment