ගාල්ල දඩැල්ලේ සංගීතයක් අසල වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

100

අසල සිටි අයකුත් තුවාල ලබා රෝහලේ

ගාල්ල, දඩැල්ල, වලව්වත්ත ප්‍රදේශයේ 15දා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් අසල වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

පිස්තෝලයකින් වෙඩි තබා මෙසේ ඝාතනය කොට ඇත්තේ ගාල්ල, දඩල්ල, මහමුදලි මාවතේ පදිංචිව සිටි නොරගල් රෝෂාන් (36) නමැත්තෙකි. මොහු අසල සිටි පුද්ගලයකුටද වෙඩි වැදී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. වලව්වත්ත මහල් නිවාස ඉදිරිපිටදී 15දා රාත්‍රී අවුරුදු උත්සවයක් පවත්වා ඇති අතර අවුරුදු උත්සවයෙන් පසු එහි සංගීත සාදයක් පවත්වා ඇත. එම සංගීත ප්‍රසංගය අසල සිටියදී මියගිය පුද්ගලයාට දෙදෙනකු විසින් වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. වෙඩි තැබූ එක් අයකු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මස්සිනා බවත් නීති විරෝධී මත්පැන් පෙරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අතර කාලයක සිට ගැටුමක් පැවති බවත් පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් එදිනම (15දා) වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයාගේ නිවසකට පහරදී අලාභහානි සිදුකොට ඇති බවත් මත්පැන් පෙරීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධිය හා නිවසට පහරදී හානි සිදුකිරීම නිසා එයට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම- රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment