අටලුගම මල් කැකුළ බිලි ගත් පාපතරයා වසර 27ක් හිරේ

1031

දැරියගේ මවට ලක්‍ෂ 30ක් වන්දි ගෙවීමටත් නියෝග

අනික් අයටත් පාඩමට ගන්න උපරිම දඬුවම් දෙන්න – නීතිපති ඉල්ලයි

මෙයට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී 9 හැවිරිදි දැරියක කුඹුරු යායක මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාව ඇතුළු අධිචෝදනාවලට වරද පිළිගත් 45 හැවිරිදි විත්තිකරුවකුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඊයේ (13 දා) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කළේය.

වරද පිළිගැනීමෙන් පසුව සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන චෝදනාවට හා එම දැරිය ඇගේ මවගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීම යන චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් හෙවත් පල්ලිකුට්ටි නමැති විත්තිකරුට එලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා මියගිය දැරියගේ මවට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියම කළේය.

එකී වන්දිය නොගෙවන්නේ නම් අමතර වසර 6 1/2ක ලිහිල් සිර දඬුවම් ලබාදීමට ද විනිසුරු සමන් කුමාර මහතා නියම කළේය. එම දැරිය 2022.05.27 වැනිදා ඇගේ නිවස පිහිටි ප්‍රදේශයේ වෙළෙඳ සලකට ගොස් එමින් සිටියදී ක්‍ෂණිකව ඇතිවූ ලිංගික ආසාවක් නිසා දූෂණය කිරීමේ අරමුණින් ඇයව රවටාගෙන අසල පිහිටි ළඳු කැලෑවකට ගෙනගොස් තිබූ බවත් දූෂණය කිරීමට උත්සාහ දරන විට ඇය කෑගැසීම නිසා භීතියට පත්වී ඇයව මඩ වගුරක ඔබා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

මොහොමඩ් අක්රම් ෆාතිමා අයේෂා නමැති එම දැරිය දූෂණයට ලක්වී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබූ අතර බණ්ඩාරගම පොලිසිය හා පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශන අනුව නීතිපතිවරයා විසින් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ එම විත්තිකරුට එරෙහිව ලඝු නොවන නඩු විභාගයකින් තොරව ඍජුව පානදුර මහාධිකරණය හමුවේ අධිචෝදනා නගා තිබිණි.

විත්තිකරු එම දැරියගේ නිවසට නිරතුරුව යන එන ඇගේ පියාගේ මිතුරකු බවත්, එබැවින් ඇය ඔහු සමග කිසිදු චකිතයකින් තොරව ගොස් ඇති බවත් නීතිපතිවරයාගේ ඍජු අධීක්‍ෂණය යටතේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

සිය මිතුරකුගේ කුඩා දරුවකු පවා ලිංගික අතවර කිරීමේ අරමුණින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තරම් විත්තිකරු සැහැසි වී ඇති බවත් එමගින් අප රටේ සමාජය කෙතරම් පිරිහීමට ලක්වී ඇතිදැයි පිළිබිඹු වන බවත්, විත්තිකරු වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසීය. එබැවින් මින්මතුවට හෝ එවැනි අමානුෂික අපරාධවලට, පෙලඹිය හැකි පුද්ගලයන්ට පාඩමක් ඉගෙන ගත හැකි පරිදි උපරිම දඬුවම් නියම කරන ලෙස ද රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්‍ෂ්මන් පෙරේරා මහතා සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment