ධර්මදූතයේ වැලි කැටයක් ගාණේ ජයසිංහ සර්ට ණයගැතියි

276

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්

ගුරුවරයා යනු මේ රටට යහපත් පුරවැසියන් තනන්නෙකි. අනාගතය සඳහා දැනුමින්, ආකල්පයෙන් ලෝකය හා ජීවිතය අරබයා සැබෑ මඟ පෙන්වන්නා ගුරුවරයා ය. ඔව්හු අලෝභ ලෙස රටට වැඩදායක මිනිසුන් තනති. මාපියනට බුදුහු ‘පුබ්බාචර්ය’ යන වචනය වදාළහ. ඒ පෙර ගුරුවරු යන්න අරුත් ගන්වමිනි. හොඳ ගුරුවරු නැත්නම් සිපිරි ගෙවල් තවත් කීයක් විවෘත වන්නට තිබෙන්නට ඇත්ද? ගුරුවරයා ගැන බොහෝ කතන්දර අපට ලිවිය හැකිය. එහෙත් අද මේ ‘ගුරු තරුව’ නම් විශේෂාංගයෙන් අප ඔබට කියා දෙන්නේ සැබෑ දිසාපාමොක්රවැන් ගැනය. මේ රටේ විවිධ ක්‍ෂේත්‍රවලට විශිෂ්ටයන් තනා දුන් ඒ ගුරුවරුන් බොහොමයක් අප අතර නැත. සැබෑ ගුරුවරයා රුපියල් ශත මතම හඹා යන්නකු නොව, තමන් අත මුදලින් පවා සිසුනට උපකාර කරන්නෙකි. ටියුෂන් කඩ ආදිය දමාගෙන තම දරුවන්ගේ අත මිට හූරා ගන්නකු නොවේ. අද දින සිට ‘ඉරිදා දිවයින’ සංග්‍රහයෙන් අප ඔබට කියන්නේ එවන් මහරු ගුණාංගයෙන් පිරි බෝසත් ගුරුවරුන් ගැනය. නමෝ විත්තියෙන් අද මෙම විශේෂාංගයට එක්වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා ය. එතුමා කාටවත් නොකී මේ රහස් රැස ඔබේ මතක ගබඩාවේ තැන්පත් කරගන්නැයි ඉල්ලමු.

පාසල් සංස්කෘතියේ ගුරුවරුන්

‘මීට පෙරත් මං උපාලි එක්කම ‘සිළුමිණ’ ජාතික පුවත්පතට ‘මෙන්න! අපේ ඉස්කෝලෙ’ නමින් ලිපියක් කළා. ඒකටත් අතිශය ප්‍රතිචාර ලැබුණා. එදා ඉස්කෝලෙ ගැන කතා කළත් මට නැණ නුවණ දුන් ඒ ගුරු පරපුර ගැනයි අද මා කතා කරන්නේ. මගේ මතකයේ වැඩියෙන්ම තැනක් තියෙන්නේ මට විශ්වවිද්‍යාලයේ දැනුම දුන් ගුරුවරුන්ට වඩා මගේ පාසල් සංස්කෘතියේ මාව ලෝකයට හරියට ඉදිරිපත් කළ ගුරුවරුන් ගැනයි. මගේ ඉස්කෝලේ බදුල්ල ධර්මදූත විද්‍යාලය යි. ඒ ගුරුවරුන්ගේ නම් ඊයම්බරු වගේ මගේ හිතේ ගැඹුරට ම කා වැදී තියෙනවා. විදුහල්පති ඩී. එල්. ජයසිංහ මැතිතුමා, වික්‍රම ජයලත් නියෝජ්‍ය විදුහල්පතිතුමා, ප්‍රේමතිලක මැතිතුමා, විජයදාස සර්, මාර්ටින් සර්, මෛත්‍රි රත්නායක සර්, යාපා සර්, වීරකෝන් ගුරුතුමී මට ඉතිහාසය උගන්නපු කොඩිකාර මිස් ඒ වගේම ඉතිහාසය හා වෙනත් විෂයයන් මට උගන්නපු මගේ ආදරණීය ගුරුවරියන්. මට හුඟක් උදව් කළ කෙනෙක්. මේ අය අතරින් දෙන්නෙක් ගැනයි මට කතා කරන්න ඉඩකඩ තියෙන්නේ. මේ සියලු ගුරුවරුන් ගැන කතා කරන්න ගියොත් දීර්ඝ විස්තරයක් කියන්න වේවි. ඒ නිසා තෝරාගත් මගේ ගුරු තරු දෙකක් ගැන කතා කරනවා.

තාත්තාගේ වර්ජනේ

අපි කොළඹ ඉඳලා පවුල පිටින්ම බදුල්ලට ආවම අපව බඳවා ගන්න කිසිම ඉස්කෝලයක් කැමැති වුණේ නෑ. තාත්තා අපේ පවුලේ දරුවො එකතු කරගෙන බදුල්ලෙ ධර්මදූත විදුහලට ගියා. ඒ වෙලාවේ ඩී. එල්. ජයසිංහ විදුහල්පතිතුමා කීවා අපට මේ ළමයි බඳවා ගන්න බෑ කියලා. තාත්තා ඒ වනවිට ඉස්කෝල 4කට විතර ගිහින් ඇවිත් තිබුණා. තාත්තා වාඩි වුණා ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකේ පඩි පෙළේ. මේ ළමයි ගත්තෙ නැත්නම් සර් මං මෙතැනින් යන්නේ නෑ කියලා එතුමා වර්ජනයක් පටන් ගත්තා. ජයසිංහ සර් හිනාවෙලා තාත්තා දිහා බලා ඉඳලා ධර්මදූතේ මේ තරම් ඉහළ ඉස්කෝලයක් කියලා මාවත් දන්නෙ නෑ. එච්චරම කියනවානම් මං ළමයි ගන්නම් කියලා අප පාසලට ඇතුළු කර ගත්තා. අපේ තාත්තා ආන්ත්‍රා වූ දවසේ සර් අපේ ගෙදර ඇවිත් තාත්තා ගැන මේ කතාවත් කියලා එදා මං මේ ළමයි පාසලට ඇතුළු කළේ නැත්නම් මේ විදුහලට විශ්වවිද්‍යාල කථිකාචාර්වරයෙක් නැතිවෙනවා නේද කියලා රැස්ව සිටි පිරිසගෙන් ඇහුවා.

සුද්දෙක් වගේ ඇඳුම

මට එතුමා ගැන පුදුමාකාර ආදරයක් ඇති වුණේ. තාත්තා පඩි පෙළ උඩ වාඩිවෙලා කරපු වර්ජනේට එතුමා කේන්ති නොගත් නිසයි. අපේ ජයසිංහ සර් බටහිර පන්නෙට අඳින ටයි කෝට් දාන සුද්දෙක් වගේ කෙනෙක්.

දවසක් මං 10 වසර ඉගෙන ගන්න කාලේ සර් කාරෙකෙන් ඇවිත් බැහැලා මාව දැකලා ආ අත්තනායක මං ඔයා විශ්වවිද්‍යාලයට යනවා හීනෙන් දැක්කනෙ කීවා. මා කීවා සර් මං තවම 10 වසරෙනේ කියලා. සර් එහෙම කියලා හිනාවෙවී කාර්යාලය පැත්තට ගියා. මට සර් කියූ වචනවල සුන්දරත්වයක් දැනුණා. මගේ තාත්තාවත් අම්මාවත් මට පේරදෙණිය විශ්වවිද්‍යාලයට යන්න කීවේ නෑ. ඒ පදනම දැම්මේ ජයසිංහ සර්. ඒ වචන තුළ මගේ උනන්දුව වැඩිවුණා.

‘ අණබෙරය’ පත්තරේ

ඔය සිද්ධියෙන් කාලෙකට පස්සේ මං විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වුණාට පස්සෙයි මං සර්ගෙන් ඇහුවේ ඇත්තට ම සර් එහෙම හීනයක් දැක්කද? කියලා. සර්, හිනාවෙලා කියනවා එහෙම වෙන්න ඇති. නැත්නම් මං එහෙම බොරු කියන්නෙ නැහැනෙ කියලා.

මේකේ පුදුමය මං ඉස්කෝලෙ දීප්තිමත් ශිෂ්‍යයෙක් නොවේ. කැපී පෙනෙන කෙනෙකුත් නොවේ. ඒ තරම් ගණන් ගත යුතු කෙනෙකුත් නොවේ. ඒ වගේ කෙනෙකුට මගේ සර් එහෙම කියන්නෙ ඒකෙ මොකක් හරි ඇත්තක් ඇති කියලා මටත් හිතුණා. ගුරුවරයකුට පුළුවන් තමන්ගේ දරුවාව නිසි තැනට යවන්න. ඒ බලය තියෙන්නෙ අම්මා තාත්තටයි ඒ හැරුණාම ගුරුවරයාට විතරයි. ඒ ආශීර්වාදය මට ලැබුණේ මං ඉස්කෝලෙටවත් අධ්‍යාපනයෙන්වත් කිසිම දෙයක් කරන්න කලින්. මේ අතර මෛත්‍රි රත්නායක සර් හා යාපා සර් කීවා ඉස්කෝලේ අණබෙරය පත්තරයක් ගහන්න. ඒ ‘අණබෙරය’ පත්තරය ගහන්න මට හාෆ්ෂීට් නෑ. මං ඒක ජයසිංහ ප්‍රින්සිපල් සර්ට කීවාම ‘මේ ඔෆිස් එකේ තනි පිට පාවිච්චි කරපු කොල ඕනෑ තරම් තියෙනවා. ඒවා සියල්ලම මේ අත්තනායකට දෙන්න කියලා එතුමා ලඝුලේඛිකාවට කීවා. මං ඉතින් දිනපතා ඔෆිසියට ගිහින් කොළ 20-30ක් ගන්නවා. දැන් ඊළඟට මගේ දවස ගෙවෙනනේ පත්තරේ කරන්නේ කොහොම ද? කියලා. ජයසිංහ ප්‍රින්සිපල් මේ ‘අණබෙරය’ පත්තරය පිටුපස හිටියා. මුළු ඉස්කෝලෙම ‘අණබෙරය’ කියෙව්වා.

ක්‍රිකට් පිස්සුව

ගුරුවරුන් බලනවා. ළමයිනුත් බලනවා. මට මතකයි ඉස්කෝලේ ක්‍රිකට් තරඟය තිබුණ ඌව විද්‍යාලයත් එක්ක. දැන් මේ කතා කරන කාලේ ධර්මදූත ඌව ක්‍රිකට් තරගය අතර ධර්මදූතයේ සිසුන් දෙදෙනෙක් අවසන් ගමන් ගියා. නොසැලකිලිමත්කම නිසා. අපේ කාලේ මෙහෙම ක්‍රිකට් පිස්සුවක් තිබුණේ නෑ. තිබුණේ ඉස්කෝලේ ඇතුළේ විතරයි. පාසලින් අවුට් වෙලා ගිය අය වාහන උස්සගෙන ඇවිත් මේ වගේ පෙරළී කළෙත් නෑ.

මං මැච් එක ගහන හැම ක්‍රීඩකයා ගෙම ඡායාරූප ඉල්ලගෙන අණබෙරය පත්තරේ අලවලා ඊට යටින් ඒ අයගේ තොරතුරු ලීවා. එදා සම්පූර්ණයෙන්ම ක්‍රිකට් කලාපයක්. ඒක බලන්න විදුහල්පතිතුමා ඇවිත් බොහොම සතුටුවෙලා ගියා.

රටින් ආපු ලිපිය

ධර්මදූතයේ වැලි කැටයක් ගාණේ ජයසිංහ සර්ට ණයගැතියි

මං ඒකේ වික්‍රම ජයලත් සර්ගේ පින්තූරයක් දැම්මා. මොකද? එතුමා තමයි අපේ ක්‍රිකට්වලට බොහොම අතහිත දුන්නේ. ඔය අතරේ මගේ ජයසිංහ සර් හදිසියේම ගියා විදේශ පුහුණුවකට. සර් එංගලන්තෙ ඉඳලා මට ලිපියක් එවා තිබුණා. පාසලටයි එවා තිබුණේ. ඒක දාලා තිබුණේ අණබෙරය කර්තෘ, අත්තනායක එම්. හේරත්, ධර්මදූත විද්‍යාලය, බදුල්ල. පිටරටකින් මට ලිපියක් ලැබුණු පළමුවැනි අවස්ථාව. නිල් පාට කොළයක් හතරට නවලා දාලා තිබුණා. ඒ ලිපිය මගේ ළඟ අදත් තියෙනවා. ජයසිංහ සර්ගෙම අත්අකුරින්. ඒ ලිපියේ තිබුණේ හිම වැටෙන හැටි, සීතල, එහිදී එතුමා අධ්‍යයන කටයුතු කරන හැටි, හුඟාක් ජීවිතයට ඔවදන් වගේ දේ. මං එතකොට පාසලේ ශිෂ්‍ය නායකයෙක්. මං ඒ ලිපිය මගේ අත් අකුරින් ලියලා අණබෙරය පත්තරේ පළ කළා. මේක හරිම දුර්ලභ මිනිස් ගුණයක්. විදුහලේ ප්‍රින්සිපල් සිසුවකුට ලිපියක් එවනවා නමටත් නොවේ පත්තරේ කර්තෘ පදවියට. එතුමා මගේ ලියන කලාව අවදි කළේ එහෙමයි. එතුමා ඇවිදින පුස්තකාලයක්. නැත්නම් ගුරු විද්‍යාලයක්. ගුරුවරයකුට තිබිය යුතු පෞරුෂය කිසිම අඩුවක් නැතිව සර් ළඟ තිබ්බා.

ඊළඟට මට මගේ ගුරුතුමා මතක් වෙන්නේ මං එතකොට විශ්වවිද්‍යාල සිසුවෙක්. මගේ යාළුවෙක් හිටියා අරවින්ද සිල්වා කියලා. එයයි මායි කොළඹින් කෝච්චියට නැංඟා. දැන් මං ඉස්කෝලෙ ළමයෙක් නොවේ. නිදහස් කෙනෙක්.

ටිකට් 3 වැනි පන්තියේ යන්නේ 1 වැනි පන්තියේ

අපිට තිබුණේ 3 වැනි පන්තියේ ටිකට් වුණාට අපි නැංඟේ 1 වැනි පන්තියේ. අපේ දඩබ්බර ගතිය නිසා තේ එකක් බොන්න වගේ කැන්ටිමට ගිහින් එතැනින් රිංගුවා පළමු පන්තියට. අපි දැක්කෙ නෑ ජයසිංහ සර් කොළඹ ගිහින් බදුල්ලට එන ගමන් ඉඳලා තියෙන්නේ. සර් අපි දෙන්නා පළමු පන්තියේ වාඩිවෙලා ඉන්න හැටි දැකලා අපි දෙන්නාව දුම්රිය භෝජනාගාරයට එක්ක ගියා. ගිහින් අපට තේ අරන් දීලා තවත් මොනවා හරි කන්නත් අරන් දීලා සෑහෙන වේලාවක් අපිත් එක්ක කතා කරමින් හිටියා. අද තමයි මට තේරෙන්නෙ සර්ට අවශ්‍ය වුණේ කාලය පොඩ්ඩක් විනාශ කරන්න.

තමන්ගේ දරුවන් ලෙස සැලකුවා

එදා වැරදිලා හරි අපි පළමු පන්තියේදී අහුවුණොත් එක්කො දඩ ගහනවා. නැත්නම් පොලිසි ගෙනියනවා. කැන්ටිමේ දී පරීක්‍ෂා කරන්න බෑ. පැයක් විතර එහෙම තියාගෙන ඉඳලා නැඟිටලා සර් ඒ වන තුරු ඇහුවේවත් නෑ 3 වැනි පන්තියේ ටිකට් එකක නේද? ආවේ කියලා. අපි කියන්න ගියෙත් නෑ. සර්ට හිතෙන්න ඇති අපට පළමු පන්තියේ ටිකට් ගන්න බෑනේ. ඊට පස්සෙ අපි ආයිත් 3 වැනි පන්තියේ ඇවිත් වාඩිවුණා. මට හිතාගන්න බෑ ඒ වනවිට අපි පාසල් ළමයින් නොවේ. ඒත් මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා තමන්ගෙ දරුවන් දෙස බැලුවේ මහත් දයාවකින් අත්හරින්න බැරි අය ලෙස සලකමින් කියලා මට හිතුණා. මේ රස මතක මගේ සර් ගැන මට තියෙනවා.

ප්‍රේමරත්න මතුකර ගැනීම

ඊළඟට මට තවත් මතක සිද්ධියක් තමයි මගේ පන්තියේ හිටියා අති දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක්. මා උසස් පෙළට එන්න කලින් මේක වුණා. එයා ප්‍රේමරත්න, මං වගේම හුඟක් දුප්පත්. අපේ නෑකමත් යාළුකමත් දුප්පත්කම. ප්‍රේමරත්න දිසානායක අති දක්‍ෂයෙක් වුණාට මහා කම්මැලියෙක්. මං එයාට කීවා චිත්‍ර කතාවක් අඳින්න. අපි මේක කොහේ හරි පළ කරගමු කියලා. අද වැඩේට හෙටට කල්දාන ප්‍රේමරත්න මගේ කරදරේට ම චිත්‍ර කතාවක් ඇඳලා දුන්නා. මං කෙළින්ම ගියා ජයසිංහ විදුහල්පතිතුමා ළඟට. මං කීවා සර්, මේක ලේක්හවුසියට යවමු මිහිර පත්තරේට කියලා. සර් බැලුවෙවත් නෑ චිත්‍ර කතාව ලොකු කවරයක් අරන් දාලා මුදලුත් දුන්නා සර්ම ලිපිනය ලියලා මේක තැපැල් කරන්න කියලා. මා තැපැල් කළා. සති 2 යනකොට ප්‍රේමරත්නගේ චිත්‍ර කතාව ‘මිහිර’ පත්තරේ පළ කරන්න පටන් ගත්තා. සර් චිත්‍ර කතාව බැලුවෙත් නෑ. මා කියූ දේ විතරයි සර් පිළිගත්තේ. ඊට පස්සේ ටික දවසකින් ලේක්හවුසියෙන් ප්‍රේමරත්නට මුදලක් ආවා. එයා කවදාවත් සල්ලි තනියම භුක්ති වින්ඳේ නෑ.

සල්ලි තනියෙන් භුක්ති වින්දේ නෑ.

ඒක දෙකට කඩලා භාගයක් මට දෙනවා. පසුකාලීනව ප්‍රේරත්න පොල්ගොල්ල ගුරු අභ්‍යාස විද්‍යාලයේ චිත්‍ර කලා ගුරු උපදේශක වෙනවා. ඔහු තවමත් කම්මැලියි. ඒත් එතුමා ලවා බලහත්කාරයෙන් මගේ ජීවිත කතා පොතට (ළඟදී එළිදක්වන) කවරයක් මා අන්ද ගත්තා. එතුමා විශිෂ්ට පරිසරවේදියෙක්. ධර්ම දූතයේ වැලි කැටයක් ගාණේ එතුමාට ණය ගැතියි. පිට්ටනිය මැද තිබුණු ජම්බු ගස් දෙක ඉබේම මැරිලා යන තුරු ඒක දරුවන්ටම රැක දුන්නා. මං ඉස්කෝලෙන් අයින්වෙලා සරසවි අධ්‍යාපනයක් ලබලා ආචාර්යවරයෙක් වෙනකම් මේ ගස්වලට කිසිම හානියක් කරන්න එතුමා ඉඩ දුන්නේ නෑ.

පොත පත අරන් දුන්නා

මං උසස් පෙළ කරද්දී මට අවශ්‍ය පොත පත පවා තිබුණේ නෑ. ජයසිංහ සර් මට කතා කරලා කීවා හයර් කාර් එකක් දීලා ගිහින් මනහර පොත්හලින් තමාට අවශ්‍ය සියලු පොත් ගන්න. බිල විතරක් මට ගෙනැත් දෙන්න කියලා. මං ගියා මට අවශ්‍ය පොත පත අරන් බිල එතුමාට ගෙනැත් දුන්නා. මං උසස් පෙළ හොඳින් සමත් වුණාට පස්සේ අර පොත් ගෙනැවිත් පුස්තකාලේ ගමගේ සර්ට භාර දුන්නා. සර්ගේ අත මුදලින් මේවා කළේ. එවැනි ගුරු තරු අද නෑ.

අපේ පාසලේ ළමයින් 2000ක් අතර මං එක්කෙනෙක්. මේ විදියට සර් බොහෝ සිසුන් බැලුවා, හැදුවා, ආරක්‍ෂා කළා. මං දුප්පත් බව සර් දන්නවා. වතු සුපිරින්ඩන්ට් වගේ අයගේ පෝසත් දරුවොත් මේ ඉස්කෝලෙ හිටියා. සර් මගේ දුප්පත් ඇඳුම, පෙනුම, සපත්තු නැතිකම ගණන් ගත්තෙ නෑ. එතුමා මට සැලකුවෙ පෝසත් දරුවන්ට සලකන විදියටමයි. එතුමා තමයි මගේ ගුරු ඉෂ්ට දේවතාවා.

තෝසේ කන්න හොරෙන් ගැනීම සිරිතක්

ධර්මදූතයේ වැලි කැටයක් ගාණේ ජයසිංහ සර්ට ණයගැතියි

මගේ අනෙක් ගුරුවරයා තමයි එල්. ඩබ්ලිව්. පියදාස සර්. සර් අපට ඉගැන්නුවේ ගණිතය. ඒත් ඉඳහිට වෙනත් විෂයන්වලටත් ගුරුවරු නැති අවස්ථාවල ආවා. මං ගණිතයට නම් කිසිම දක්‍ෂතාවක් නෑ. එතුමා අපේ විනය පාලක ගුරුතුමා වුණාට පස්සෙ මාත් ශිෂ්‍ය නායකයෙක් නිසා අපේ සම්බන්ධතාව දියුණු වුණා. ඒ කාලේ අපේ ඉස්කෝලෙ වටේට තාප්පයක් තිබුණේ නෑ. නිතරම සමහර ළමයි කම්බි වැටෙන් රිංගලා අහල පහළ කඩවලට යනවා තෝසෙ කන්න. කඩේ නම ශ්‍රී සම්මුඛනාද භවාන් කඩේ. කොච්චර කිව්වත් එක ළමයෙක් හැමදාම හොරෙන් පාසල් වෙලාවේදී මේකට යනවා. මං දවස් 3 ක් කීවා ඇහුවේ නෑ. ඊට පස්සෙ පියදාස සර්ට පැමිණිලි කරන්න සිදුවුණා. සර් ආවා මාත් සමගම අර ළමයගෙ පන්තියට ඇවිත් අර ළමයා එළියට අරගෙන වේවැල් පහර දෙක තුනක් ගැහුවා. අර ළමයා ඇහුවා ඇයි සර් මට ගහන්නෙ කියලා. ආ, ඒක මේ අත්තනායක තේරුම් කරයි කියලා සර් ගියා. අර ළමයා මගෙන් ඇහුවෙ නෑ මොකක්ද කියලා. එයා හේතුව දන්නවා. සර් සතියකට විතර නිවාඩුවක් ගියා. සර් මට කතා කරලා කීවා විනය පාලක හැටියට වෙනත් ගුරුවරයෙක් එයි. ඒත් ඔයා වෙනදාට වඩා කලින් පාසලට එන්න. අන්තිම ළමයා ගියාට පසුව යන්න කියලා මට වගකීම් භාර දුන්නා. මං එතකොට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නොවෙයි. ඒ ගුරුවරයාටත් මා ගැන හැඟීමක් තිබුණා වැඩක් පිළිවෙළට කරයි කියලා.

බණ්ඩාරනායක කථික තරගයට කොළඹට ගමනක්

බණ්ඩාරනායක කථික තරගාවලියක් සූදානම් කළා ඉස්කෝලෙන්. ලංකාවේ සියලුම ඉස්කෝල කොළඹට යන්න ඕනෑ මේ තරගයට. එහි ජ්‍යෙෂ්ඨ අංශය නියෝජනය කළේ මම. කනිටු අංශය නියෝජනය කළේ වෙනත් ළමුන් පිරිසක්. මේ ළමයි භාරව යන්න ගුරුවරයෙක් ඕනෑ. එසේ නාවොත් ගමන අවලංගුයි. මං සියලු සිංහල ගුරුවරු ළඟට ගියා. ඒ අය කීවා අපට සෙනසුරාදා ඉරිදා ගෙවල්වල ඉන්න ඕනෑ. අතේ සල්ලිත් වියදම් වෙනවා කියලා නුරුස්නා විදියට අප එක්කගෙන යන එක ප්‍රතික්‍ෂේප කළා. සමහර ගුරුවරියන් කැමැති වුණා. ‘පුතාලා පිරිමි ළමයි නිසා අපට එන්න බෑනේ කියලා ඒ අය කීවා. එක පිරිමි ගුරුවරයෙක්වත් කැමැති වුණේ නෑ. කතා කරන්න ඉතිරිව තිබුණේ පියදාස සර්ට විතරයි. මං ගිහින් කීවා සර් අප සමග එන්න පුළුවන්ද? මේ තත්ත්වය තියෙන්නේ. නැත්නම් අපට තරගයට ඉන්න බැරිවෙනවා කියලා. සර් කීවා මං සිංහල ගුරවරයාත් නොවේ, සාහිත්‍ය ගුරුවරයාත් නොවේ. මං ගණිතය, බාලදක්‍ෂ වැඩ, වින පාලක වැඩනේ කරන්නේ. කමක් නෑ දරුවෝ මං එන්නම් කියලා. අපේ ඉහේ මල් පිපුණා.

බංකුවක් උඩ සර් නිදි

අපි පියදාස සර් එක්ක කොළඹ ගියා. රාත්‍රිය ගත කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ. තවත් ළමයි ගොඩාක් හිටියා. අපිත් ඒ ගොඩේ හිටියා. අපිට නිදාගන්න කිසිම දෙයක් නෑ. ඉටිකොල දෙකට තැනට නවාගෙන අපි බිම අතුගාගෙන නිදි. පියදාස සර් බංකු දෙකක් දිග ඇරගෙන දුෂ්කර නින්දක. මේ ගුරුවරයාගේ විෂයයත් නොවේ. පන්තියත් නොවේ. මගේ ඉල්ලීමට කන්දීලා ඇවිත් දුක් විඳිනවා.

මේක තරගයක් වැරදි වැඩ අවශ්‍ය නෑ

මං පියදාස සර්ට කීවා. සර් මේ තරගය සංවිධානය කරන්නේ ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා. අපි එයාට කියමු ද එතුමා ධර්ම දූතයේ ආදි සිසුවෙක් නිසා පළමුවැනි දෙවැනි තැන් අපට ලබාදෙන්න කියලා. පියදාස සර් හිනාවෙලා කීවා නෑ අත්තනායක මේක තරගයක් නේ. දිනුවොත් දිනමු පැරදුනොත් හිනාවෙවී යමු කියලා. මං හිටපු තරගෙන් එදා දිනුවේ අද අපේ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත. එදා මට කිසිම ස්ථානයක් හිමි වුණේ නෑ. එදා පියදාස සර් නාවානම් අපට ජීවිතය හා අභියෝග පිළිබඳ පාඩමක් ලැබෙන්නෙ නෑ. තවත් විශිෂ්ට දෙයක් සිදුවුණා.

කලිසමේ මළපහ

අපි තරගෙන් පැරදුණාම සර් කීවා මුහුදු වෙරළ බලන්න යමු කියලා. මුහුදු වෙරළේ රැල්ල පාගමින් ප්‍රීතියෙන් ඉන්න වෙලාවේ අපේ පොඩි ළමයෙකුට කලිසමේ මළපහ වුණා. මං සර්ට ඒ ගැන කීවා. සර් කීවා ඕක අනෙක් ළමයි දැනගත්තොත් ඒ ළමයාට හොඳ නෑ කියලා. ළමයත් එක්කගෙන අපි පරණ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ගියා. දැන් වගේ ආරක්‍ෂක භටයෝ, වැටවල් ඔය මොකෙක්වත් එදා නෑ.

පස්සර හුළං ගිය මන්ත්‍රී

මෙයාව පිරිසිදු කරලා එයාගේ ඇඳුම වේළෙන්න දමලා අපි බලාගෙන ඉන්නවා. තවත් ශිෂ්‍ය නායකයෙකුට පැවරුවා ළමයි ටිකට මුහුදු වෙරළේ ඈතට යන්න දෙන්න එපා කියලා. අපි එතැන අර දරුවාත් එක්ක ඇඳුම වේළෙන තුරු ඉන්නවා. එතකොට පියදාස සර් කියනවා අත්තනායක දන්නවාද ඔය කලිසමේ මළපහ වූ ළමයාගේ තාත්තා ගැන. මා කීවා නෑ කියලා. එයා තමයි පස්සර හුළං ගිය මන්ත්‍රී එදා ආසන ක්‍රමයනේ තිබුණේ. එක ඡන්දයක් නැති නිසා ආණ්ඩුව පැරදුණා. මේ ළමයාගේ තාත්තගේ වාහනේ හුළං ගිය නිසා එයා එදා මැති සබට ආවේ නෑ. ඒ නිසා ආණ්ඩුව පැරදුණා කියලා. ඊට පස්සේ සර් කීවා මෙයාගේ තාත්තා පාර්ලිමේන්තුව ඇතුළේ මළපහ කළා. පුතා ඒක එළියේ කළා කියලා. සර්ගේ මේ වචන තුළ අමුතු කාව්‍යමය ගුණයක් තිබුණා. එතුමා සාහිත්‍යකාරයෙක් නොවේ.

මගේ ‘අණබෙරය’ පත්තරය සර් හැමදාම බැලුවා. දවසක් එතුමා මට දිග ලියුමක් දෙනවා. ඒකේ තියෙනවා අත්තනායක මේ විදියට මිනිසුන්ගේ වැරදි පෙන්වුවොත් වැරදි නීතිගත වෙනවා. ඒ වැරැද්දට තටු ලැබෙනවා. ඊට පස්සේ ලෝකය පිළිගන්නෙ නිවැරැද් ද නොවේ. වැරැද්දැයි කියලා වැරදිකාරයෝ නායකයෝ වෙනවා.

මං ‘අණබෙරය‘ පත්තරේ ‘කාක්කා’ කියලා තීරුවක් දැම්මා. මේක ලීවේ අතුල ජයලත්. එයා හරීන් ප්‍රනාන්දු ඇමැතිගේ ලේකම්. ඒකත් වැරදි පෙන්නපු ආකාරය නිසා වැරදිකාරයෝ ඒවා එළිපිට කළා. ඒක පස්සෙ කාලෙක මේ රටේ සිදුවුණු හොරු වැරදිකාරයෝ නායකයෝ වුණා. මට ඒ යථාර්ථය කියා දුන්නේ පියදාස සර්. මං සර්ගේ කීමට ‘කාක්කා’ තීරුව නතර කළා. ඒත් ඒ සනාතන සත්‍යය එලෙසමයි.

උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment