ගුවන් කලාපයෙන් පියාසර කරන යානාවලින් අපි මුදල් ගන්නේ නෑ – ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

199

ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කරන විදේශ ගුවන් යානාවලින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මුදල් අය නොකරන අතර එම ආදායම රැස් කරන්නේ ජාතික නියාමන ආයතනය ලෙස කටයුතු කරන ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම විසින් යැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී.

සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටින්නේ ඉකුත් 07 වැනිදා “ඉරිදා දිවයින” සංග්‍රහයේ පළවූ ‘ගුවන් සේවා අධිකාරිය කෝටි 2000 ක් ගිලලා’ මැයෙන් පළවූ ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු පහදමිනි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතාගේ අත්සනින් නිකුත්කර ඇති එම කරුණු දැක්වීමේ නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත.

එම පුවතෙහි සඳහන් කර තිබූ පරිදි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කරන විදේශ ගුවන් යානාවලින් මුදල් අයකරනු නොලබන අතර එම ආදායම රැස් කරනු ලබන්නේ ජාතික නියාමන ආයතනය ලෙස අප අධිකාරිය විසින් නියාමනය කරනු ලබන ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ මෙහෙයුම්කරු ලෙස කටයුතු කරනු ලබන ගුවන්තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම විසිනි. ඒ අනුව ඔබ පුවත්පත විසින් මහජනතාව වෙත ලබාදී ඇති ප්‍රධාන පුවත මුළුමනින්ම සාවද්‍ය පුවතකි.

මෙම තොරතුරු ඒකපාර්ශ්වීයව වාර්තා කිරීමෙන් වැළකී, මෙම ප්‍රවෘත්තිය පළකිරීමට පෙර ඒ පිළිබඳ අප ආයතනයෙන් විමසීමක් කළේ නම් ඒ පිළිබඳව අපගේ අදහස් ඉදිරිපත් කිරීමට ද අවස්ථාවක් තිබුණි.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් 1997 දී සිදු කරන ලද විගණනයේදී කරන ලද වැදගත්ම නිර්දේශවලින් එකක් ලෙස සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව වෙනුවට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය අරමුදල් උත්පාදනය කිරීමේ හැකියාව ඇති ආයතනයක් සිවිල් ගුවන් සේවා අධිකාරිය නමින් 2002 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. ඉහත චිකාගෝ සම්මුතියට අනුව විදේශීය/ දේශීය ගුවන් සේවා, ගුවන්තොටුපළ, ගුවන් සේවා වෘත්තිකයන් යන සියලු කොටස් ආවරණය වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන් 12,000 කට වඩා ක්‍රියාත්මක කිරීමට ජාතික නියාමන ආයතනය ලස මෙම අධිකාරිය නිබඳවම බැඳී සිටින අතර මෙම අධිකාරිය ICAO විසින් නිරන්තරයෙන් සිදුකරනු ලබන ජාත්‍යන්තර විගණනයට පවා ලක්වෙමින් නියාමන කළ යුතු එම සංවිධානයේ අධීක්‍ෂණය යටතේ සිදු කරයි. යම් හෙයකින් ICAO විසින් පනවා ඇති නීතීන් ප්‍රකාරව ශ්‍රී ලංකාව කටයුතු නොකරන බව එම විගණනවලදී හැඟී යන්නේ නම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් ගුවන් පියාසර කලාපය, සිවිල් ගුවන් යානා පියාසර කිරීමට අනාරක්ෂිත බවට නම් කිරීමට හේතු වනු ඇති අතර එමගින් ජාත්‍යන්තර ගුවන් සමාගම් අපගේ ගුවන්තොටුපළ තුළට ක්‍රියාත්මක වීම අධෛර්යවත් කරන අතර අපගේ ගුවන් සීමාව ඉක්මවා පියාසර කිරීමෙන් වැළකී සිටීමට ද කටයුතු කරනු ඇත.

මෙම ජාත්‍යන්තර ගුවන් ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනයේ පරීක්ෂකවරුන් නිරන්තරයෙන් විදේශීය සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් ආදියට සහභාගි විය යුතු අතර එම අවස්ථා සඳහා නිලධාරීන් සහභාගි කරවා ඇත්තේ අධ්‍යක්ෂ මණඩල, රේඛීය අමාත්‍යාංශ හා විෂය භාර අමාත්‍යතුමන්ගේ ද නිසි අනුමැතිය සහිතව බව සිහිපත් කරනු කැමැත්තෙමි.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් පත් කරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් වන අතර මෙතෙක් එම ධුරයන් හොබවා ඇති අධ්‍යක්ෂ ජනරාල්වරුන් තම තනතුරුවල සේවය කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතීන්ට යටත්ව බව ද සිහිපත් කරනු කැමැත්තෙමි.

තවද මෙම අධිකාරිය තම ව්‍යවස්ථාපිත වගකීම ඉටුකරමින් ආදායමින් කොටසක් මහා භාණ්ඩාගාරයට යවා ඇති අතර ගුවන්තොටුපළ සංවර්ධනය වෙනුවෙන් ද දායාක වී ඇත. කරුණු සොයා බැලීමෙන් තොරව, ඒක පාර්ශ්වීයව මහජනතාව නොමග යවන සාවද්‍ය තොරතුරු ඔබ පුවත්පතෙහි ප්‍රධාන ශීර්ෂය යටතේ පළකරමින්, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන මෙවන් ආයතනයක කිර්තිනාමය හා මහජනතාව අතර පවතින විශ්වාසය පළුදු වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබ ආයතනයට මෙම අධිකාරියේ බලවත් අප්‍රසාදය පළකරනු ලබන බව ද කියා සිටී.

කර්තෘ සටහන :

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගියෙකුගෙන් අය කළ ඇමරිකානු ඩොලර් හැටක මුදල 2002 වසරේ සිට සිවිල් ගුවන් සේවා අධිකාරිය, මහා භාණ්ඩාගාරයට ගෙවා නැත. ඒ අනුව රුපියල් කෝටි 2000 ක පමණ මුදලක් අධිකාරිය මගින් මහා භාණ්ඩාගාරයට ප්‍රතිපූර්ණ කර නැත. නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපි අදාළ ගැසට් නිවේදන හා විගණන වාර්තා පදනම් කරගෙන මෙම ප්‍රවෘත්තිය පළ කළ බව ද සඳහන් කරමු. මෙම ප්‍රවෘත්තියේ ශ්‍රී ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් යානාවලින් අය කළ මුදලක් ලෙස සඳහන් වී තිබුණේ මුද්‍රණ දෝෂයක් මතය.

advertistmentadvertistment
advertistmentadvertistment