ජේතවන ස්තූපයේ වසරක් තුළ පිපිරීම්වල සිදුව ඇත්තේ මිලිමීටර් එකක වෙනසක් – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

40

පිපිරීමට ලක්ව ඇති අනුරාධපුර ජේතවන ස්තූපයේ ගත වූ වසරක පමණ කාලය තුළ එම පිපිරීම්වල සිදුව ඇත්තේ මිලිමීටර් එකක වෙනසක් පමණක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පැවැසීය.

සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජේතවන පූජා භූමියේදී පෙරේදා (02) දහවල් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තුසිත මෙන්ඩිස් මහතා මෙසේද කීය.

ජේතවනාරාම ස්තූපයේ හතරැස් කොටුව මුලින්ම සංරක්ෂණය කර තිබෙන්නේ 1885 වර්ෂයේදී. විවිධ අයුරින් ස්තූපයට සිදුවිය හැකි හානි අවම කිරීමට පැරැන්නන් පිළියම් යොදා තිබුණා.

1993 වර්ෂයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල මේ ස්තූපය සංරක්ෂණය කිරීමට දායකත්වය දැක්වූවා.

ස්තූපයේ පිපිරීම්වල විශාල වෙනසක් සිදුවී නෑ. අපි මධ්‍යම සංස්කෘතික අරමුදලට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. එම අරමුදල මගින් විශේෂඥ දැනුම ඇති විද්වත් කමිටුවක් මේ පිළිබඳව සොයා බැලීමට පත් කර තිබෙනවා. ඔවුන් ඉදිරිපත් කොට තිබෙන ආකාරයට වසරක පමණ කාලයකට ස්තූපයේ සිදුවී ඇති පිපිරුමේ විශාල වෙනසක් සිදුවී නෑ. එම කාලය තුළ මිලිමීටර් එකක වෙනසක් සිදුවී තිබෙන්නේ.

සංස්කෘතික අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම සංස්කෘතික අරමුදල මේ කාර්යය අත්හැර දමා නෑ. කැපවීමෙන් හා දැඩි මහන්සියකින් යුතුව මේ කාර්යය ඉටු කරමින් සිටිනවා.

සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා

ගඩොලින් නිර්මාණය වූ ලෝකයේ පළමුවෙන් ඉදිකළ විශාලතම ස්මාරකය වන ජේතවනාරාමය පිළිබඳව පසුගිය මාස දෙක තුනේ මාධ්‍ය සහ සමාජ ජාලා හරහා විවිධ මත පැතිරුණා. ඒ ජේතවනාරාම ස්තූපයේ ඉරි තැලීම් කීපයක් දර්ශනය වීම නිසායි. මෙය දිනකින් හෝ දින කීපයකින් ඇතිවූ දෙයක් නොවෙයි. ටික කලක සිට පැවත එන දෙයක්. මේ ඉරිතැලීම් දර්ශනය වීමට පටන් ගත්දා සිට තමයි ජනතාව අතර මේ ගැන කතා බහ ඇති වීමට පටන් ගත්තේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල 1993 වර්ෂයේ සිට ජේතවනාරාමයේ සංරක්ෂණ කටයුතු කරගෙන ආවා. අපට දැන ගැනීමට ඇති තොරතුරු අනුව මීට පෙරත් මේ ස්තූපයේ මේ ආකාරයේ ඉරිතැලීම් සිදුවී තිබෙනවා.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.ඩී. සමිත් බුද්ධික, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉංජිනේරු උපදේශක මහාචාර්ය රෝහණ ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

අනුරාධපුර-පර්සි කුරුනේරු, නොච්චියාගම
එම්.එම්.ජී.පී. පෙරේරා සහ ඉන්දික රංගජීව

advertistmentadvertistment
advertistmentadvertistment