පොදු ජනතාව වෙනුවෙන් හඬනැඟූ පරිසර හිතකාමී සංජීව කවිරත්න

36

මාර්තු මස 17 වන දිනට යෙදෙන දසවෙනි ගුණ සමරුව නිමිත්තෙනි….

“ලෙහෙසියෙන් ආවේය – පහසුවෙන් ගියේය. නමුත් මේ දෙක අතර කාලය අපතේ ගියේ නැත” කාල් මාකස් තැබූ සටහනක එසේ දක්නට ලැබේ. යමෙක් සිය ජීවිතය පිළිබඳව එවැනි සටහනක් තැබීමට හැකි අයුරින් ජීවත් වූවානම් එය සුවිශේෂී වූවකි.

මීට වසර දහයකට පෙර අප අතරින් වියෝවූ සංජීව කවිරත්න මැතිතුමා එකී ප්‍රකාශය තුළ අපට හඳුන්වා දීමට හැකි චරිතයකි. සංජීව දශක හතරකට මදක් වැඩි කාලයක් අප අතර ගත කළේය. එකී කාල සීමාව තුළ ඔහු විවිධ ක්ෂේත්‍ර තුළ කටයුතු කරමින් ඉටුකළ මෙහෙවර වර්තමානයේ දේශපාලන අංකුරයන්ට අධ්‍යයනය කළ යුතු සටහන් රැසක් දක්නට ලැබේ.

සංජීවගේ චරිතයේ වූ සුවිශේෂී ලක්ෂණයක් වූයේ ඔවුන්ගේ සෑම කාරණයක්ම නිරතුරුවම සිදු කරනු ලැබුයේ සමාජය සමඟ සංවාදයක යෙදෙමිනුයි. ඒ තුළින් ඔහු සමාජය කියවීමටත්, සමාජයේ අවශ්‍යතා හඳුනාගැනීමටත් උත්සුක විය. සංජීව පුවත්පත් කලාවෙත් දේශපාලනයේ දීත් සාර්ථක වීමේ රහස වූයේ එයයි. එම දැනුම උකහා ගැනීමට ගැමි ගෙදරක පිලක, වනාන්තරයක, ගල් තලාවක, දුෂ්කර මාවතක යෙදෙන පාගමනක් ඔහුට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සංජීව පාසල් කාලය තුළම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට දායක විය. ඒ ලේක් හවුස් පුවත්පත්වලට වාර්තාකරුවකු ලෙස කටයුතු කරමිනුයි. පාසල් අධ්‍යාපනය නිමා කළ සංජීව ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පතකට පුවත්පත් කලාවේදියකු ලෙස එක් වූයේ ගවේෂණශීලී මාධ්‍යකරණයට වඩාත් නැඹුරු වෙමිනි.

විශේෂයෙන්ම පාරිසරික වාර්තාකරණය ඔහුගේ විෂය ක්ෂේත්‍රය අතර වඩාත් ආකර්ශණීය වූවකි. එය ඔහු උපන් මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට, ලග්ගල වැනි සුන්දර ප්‍රදේශවල පරිසරයට ආසක්ත වීමෙන් සිදු වූවකි.

ඔහු පරිසර හිතකාමී පරිසරයට ආදරය කරන අයකු නිසාම, ලග්ගල පිහිටි නකලස් පාරිසරික කලාපයේ ජෛව විවිධත්වය සුරකීමට කැප වූයේ විශාල අභියෝගවලට මුහුණ දෙමිනි. වරෙක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වුවද ඒ වෙනුවෙන් අත්හැරීමට සූදානම් බව කීවේ පිටවල පනත ආශ්‍රිතව ඉදිකිරීමට ගිය හෝටලයකට එරෙහිව ඔහු කළ විරෝධය හකුළා ගන්නා ලෙස තමා නියෝජනය කළ පාර්ශ්වයන්ගෙන්ම එල්ල වූ බලපෑමකට ප්‍රතිචාර ලෙසයි.

ඔහු එලෙස තම මන්ත්‍රී ධුරය වුවද නකල්ස් රක්ෂිතයේ ආරක්ෂාව වෙනුවෙන් පරදුවට තැබුවේ ඇයි? සංජීව විශ්වාස කළේ තමා සැම විට සිටිය යුත්තේ තමන් නියෝජනය කරන පොදු මහජනතාව වෙනුවෙන් බව සිතා කටයුතු කළ නිසාය. ජනතාව පාලනය කරන්නට කෙටි කලකට පත්වූ පාලකයන් ජනතාවගේ උරුමයන් කෙලෙසන්නට උත්සාහ දරන්නේ නම් තනතුරු තානාන්තර වෙනුවට ජනතාව සහ ඔවුන්ගේ උරුමයන් රැකීමට කටයුතු කරන්නා සැබැවින්ම දේශප්‍රේමී මානව හිතවාදී සිතුම්, පැතුම්වලින් යුක්ත අයකුවේ. එවැනි ක්‍රියාවලියක් සැබැවින්ම උදාර කටයුත්තක් ලෙස හැඳින්වීමට පුළුවනි. ජනතාව සිතන දේ පාලකයන් වෙත පාලනය තුළම සිටිමින් දැන්වීමට සංජීවට ශක්තිය ලැබුණේ පුවත්පත් කලාවේදියකු වශයෙන් ලැබූ පන්නරය තුළ බව පැහැදිලිය. සංජීව සෑම විටම මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළේ පාලකයන් සහ ජනතාව අතර පාලමක් ඉදිකරන්නටය. ඔහුගේ වෑයම වූයේ බිම් මට්ටමේ මතවාද ඉහළ තලයට ගෙනවිත් ජනතාව ජයග්‍රහණය කරවීමයි.

සංජීව දේශපාලනයට පිවිසියේ තම පියාගේ අඩිපාරේ යමිනි. පළාත් සභාව, පාර්ලිම්න්තුව නියෝජනය කළ ඔහු එම සභාවන් තුළ සෑම විටම හඩනැංවූයේ පොදු ජනතාව වෙනුවෙනි. දූෂණයට එරෙහිව ඔහු නැංවූ හඬ පළාත් සභාවේ පක්ෂ, විපක්ෂ, සියලු දෙනාගේම ඇගයීමට ලක්විය.

මනා සූදානම් වීම සංජීවගේ සුවිශේෂී ගුණාංගයකි. ඔහු කළ කථාවන් තුළ තර්කානුකූල බව තොරතුරු සහ විසඳුම් යන සියල්ල ඇතුළත් විය. පොත පත පරිශීලනයට මහත් ඇල්මක් දැල්වූ සංජීව සෑම විටම කියවීම පුරුද්දක් කොට ගත් අයෙකි. කිසිවිටක කිසිවකුට එරෙහිව කථා නොකළ සංජීව යමෙක් තමා ඉදිරියේ යමෙකුට එරෙහිව කරනු ලබන ප්‍රකාශයකට හෝ ඉඟියකින්වත් අනුබල නොදුන්නේ විශාල පාඩමක් නිහඬවම කියාපාමිනි.

සංජීව නිතරම පලකළ අදහසක් වූයේ ඔහුගේ සෑම ක්‍රියාවකටම ණය ගැති වන්නේ පොත්පත්වලට බවයි. එය තරුණයකු වශයෙන් ඔහු අවබෝධ කරගෙන සිටියා පමණක් නොව පොත පත කියවන්නට අතහිත දීමටද ක්‍රියාකළේ තමා උකහාගත් දැනුම ලබාගත් අයුරු සමාජයට ද වටහා දෙමිනි.

ඔහු රසවතෙකි, ගායනයට දක්ෂතා පෙන්නූ සංවේදී මිනිසෙකි. පුවලේ සාමාජික හමුවක දී වේවා, මිතුරු හමුවකදී හෝ වේවා, දේශපාලන වේදීකාවකදී හෝ වේවා ඔහු එම අවස්ථාවන් කෙසේ හෝ ගීතයෙන් රසවත් කළේ සංජීව තුළ සැඟව සිටි කලාකාමී පුද්ගලයා අවධි කරවමිනුයි.

ලග්ගල, පිටවල පතනේ, පරිසරික අධ්‍යයනය සඳහා මධ්‍යස්ථනයක් ඇරඹීමට කටයුතු කළද, සංජීවට එය යාථාර්ථයක් බවට පත් කර ගැනීමට ජීවිත කාලය අවකාශය සලසා නොදුනි. මහවැලි ගංගා තීරයේ පැතිරුණු යෝධ නිදිකුම්බා උවදුර මැඬලීමට විශාල උත්සාහයක් දැරූ සංජීව එම ව්‍යාපෘතිය යම් තරමකට සාර්ථක වූ විට ලැබුවේ නිරාමිස සතුටකි.

සංජීව නිරතුරුවම සොබාදහම පිළිබඳව බුදුදහමෙන් අන් ආගමික ශාස්තෘවරුන්ගේ මඟ පෙන්වීමෙන්ම සියැටැල් වැනි වර්තමානයේ පරිසරය පිළිබඳව විශිෂ්ට අදහස් පල කළ සියල්ලන්ගේ අදහස් එක්කොට සටහන් තබාගත් අයෙකි. ඔහු පරිසරය පිළිබඳ දැක්වූ අදහසක් වූයේ මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජුට දැක්වූ අදහස රටක පාලකයන්ට මඟ පෙන්වන බවයි. එනම් පාලකයා යනු “ භූමියේ භාරකරුවා මිස හිමිකරුවා නොවේ.” යන දැක්මයි. මේ පරිසරය භුක්ති විඳින්නන් සහ ප්‍රතිලාභීන් වන අප සැම මහපොලොවේ සාර ගුණය රැකීමත් වර්ධනය කිරීමත් එය අනාගත පරපුරට උරුම කර දීමත් කළ යුතු බව සංජීව තරයේ විශ්වාස කළා පමණක් නොව එයට කැප වී ක්‍රියා කළේය.

සංජීව ප්‍රදේශයේ ගරුතර මහ සංඝරත්නය නිරතුරුවම හමු වූ අයෙකි. බොහෝ සිද්ධස්ථානවල පොත්ගුල ඔහුට විහාර මන්දිරයක් බඳුවිය. හිංදු කෝවිල, මුස්ලිම් පල්ලිය, මෙන්ම කතෝලික දේවස්ථානයද සංජීවගේ ජීවිතයට කළ බලපෑම සුළු පටුනොවේ. ඔහු ජාතිවාදියකු හෝ ආගම්වාදියකු නොවුන අතර, අපගේ මාතෘභූමිය තුළ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැඟීමට වෙර දැරූ අයෙකි.

මීට වසර දහයකට පෙර අද වැනි දිනයක අපෙන් සමුගත් සංජීව සොහොයුරාගේ නොනිමි මෙහෙවර සංජීවගේ ආදරණීය බිරිඳ රෝහිණි විජේරත්න කවිරත්න මැතිණිය ඉදිරියට ගෙන යෑම යනු සංජීවට කළ හැකි සැබෑම උපහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන.

දයාබර සොයුර, සසර වසනතුරු මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා! නිවනින් සැනසේවා!

ඒරානන්ද හෙට්ටිආරච්චි
ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ.

advertistmentadvertistment
advertistmentadvertistment