දළදා කරඬුවට ඉබි යතුරු දමා වසර එකසිය හැත්තෑවයි

738

එක් දහස් අටසිය දාහතේ ඌව වෙල්ලස්සෙන් ඇරඹුණු ජාතික විමුක්ති අරගලය මේ රටේ ස්වාධීනත්වය ලබා ගැනීම උදෙසා කළ විශිෂ්ඨ සටන් ප්‍රයාමයකි. සිංහලේ අවසන් රජතුමා ලෙසට සැළකෙන ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ හිතුවක්කාරී ඒකාධිපති ක්‍රියා හේතු කොටගෙන කලකිරුණු මහවාසලේ නිලමේ ගොල්ල එකිනෙකා බෙදී කේලාම් බස් අසමින් කළ නොපනත්කම් නිසා ඉංග්‍රීසින් ගේ චරපුරුෂයන් හට උඩරට රාජධානියේ රහසිගත දේශපාලනය වෙත ප්‍රවේශවීමට හැකියාව ලැබුණි. ජෝන් ඩොයිලි ප්‍රමුඛ චරපුරෂයන් ප්‍රථම කොට භික්ෂූන් වහන්සේලා වෙත සමීපව භාෂාව ප්‍රගුණ කර සිත් දිනාගෙන මහවාසලේ දුර්වලකම් සහ රජගේ දුර්වලකම් පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා ගත්හ. රදළ කට්ටුවට යහමින් මත්පැන් ලබා දීම තුළින් රාජකාරිය දුර්වල කළහ. ඔවුන් ලවා රජුට කේලාම් කීමට පිරිසක් ඇති කළහ. ශ්‍රී වික්‍රම නමින් රජ වූ කන්නසාමි කුමරු වඩුගයෙකි. හිටපු රජුගේ බිසව සමග පිළිමතලව්වේ ඇති කර ගත් සම්බන්ධය උඩ බිහිවූ පුත්‍රයා ලෙසටද දැක්වේ. කෙසේ වෙතත් රජු අත්තනෝමතික ලෙසට ක්‍රියා කළේය. පෙර සිරිත නොසලකා හැරියේය. නමුත් රාජ්‍යයේ ස්වාධීනත්වය වෙනුවෙන් යම් යම් තීරණ ගත් බව සඳහන්ය. 1812 දී ඉංග්‍රීසීන්ට එරෙහිව සිදු කළ සටන උදාහරණයකි. මේ කාලයේ ඇහැලේපොල නිලමේට භාරව තිබූ සබරගමුව ප්‍රදේශයේ ඉතා රහසිගතව ක්‍රියාදාමයක් සිදු වෙමින් පැවතිණ. කුසුමාසන දේවියගෙන් අවසන් වූ සිංහල රජ පෙළපත යළි නඟාසිටුවනු වස් ඒ පෙලපතකින් පැවතෙන කුමාරයකු යළි සිංහාසනය වෙත කැඳවීම ඒ ක්‍රියාදාමයයි. ඔටුන්නක් පවා සූදානම් කෙරිණ. මෙම තත්ත්වය ආරංචි වූ උඩරට මහ වාසල කලබල විය. ඇහැලේපොල රජවීමට මාන බලන්නේ යැයි රජුට කේලාම් කීමට ඔවුනට පුළුවන් විය. එහි ප්‍රතිඵලය වූයේ ඇහැලේපොල පවුල රජු අතින් ඝාතනය වීමයි.

සිංහල රාජධානියේ අවසානය සිදු වීමට මේවා හේතු කාරණා වූ අතර ඉංග්‍රීසීන් ඉතා සූක්ෂමව රජු කොටු කර උඩරට බලය අල්වා ගත්තේය. නමුත් මේ වන විට දළදා වහන්සේ ඉතා රහසින් උඩරටින් බැහැර කර තිබුණි. විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ දී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දැරූයේ දන්තහේමමාලා යුවළගෙන් පැවතෙන කීරවැල්ල පරපුරයි. මේ පරපුරෙන් බිසවක් ලබා ගැනීම සෙනරත්ගේද බලාපොරොත්තුව විය. නමුත් රජ පෙළපතකට සම්බන්ධය නොතිබීමත් දරළයකු වීමත් නිසා එය ඉටු නොවිණි. මෙයින් කෝපයට පත් රජු වෛර බැඳ ගත් බැවින් දළදා වහන්සේගේ භාකාරත්වය ඒ පරපුරේ භික්ෂූන් වහන්සේලාට පවරා දී තිබේ. වාරියපොල සුමංගල හිමියන් ඒ ලෙස ඒ පරපුරෙන් දළදා භාරකාරත්වය දැරූවෙකි. නමුත් සුමංගල හිමියන් තේවාව කරන කල්හි සැබෑ ලෙසම දළදා භාරකාරත්වය දැරූයේ කීරවැල්ලේ බුලුගුණේ බණ්ඩාර සෙනෙවිරත්න නිලමේ තුමාය.

ඉංග්‍රීසීන් රට භාරගත් පසු කොත්මලයේ සඟවා තිබූ දළදාව මහනුවරට වඩමවා තැන්පත් කරන ලද්දේය. නමුත් වසර දෙකක් ඉක්ම යන්නටද මත්තෙන් රදළවරුන් අතර අසහනය උත්සන්න විය. ඉංග්‍රීසීන් සසුනට ඉටු කළ යුතු කම් මග හැරියේය. මුස්ලිම් ජාතිකයකු වෙල්ලස්සට පත් කිරීම නිසා ප්‍රශ්නය තවත් උග්‍ර විය. මේ නිසා වෙල්ලස්ස බින්තැන්න ආදී ප්‍රදේශයන්හි සිටි මුස්ලිම් ජනතාව සිංහලයන් අභිබවා නැඟී සිටියේය. ඉංග්‍රීසීන් ඔවුනට වරප්‍රසාද දුන් බව දැක්වෙන ප්‍රකාශන නිකුත් කර ඇත. එකල නැගෙනහිර පළාත වෙල්ලස්ස හා බින්තැන්න යනුවෙන් වෙන් කර තිබුණි. ඉංග්‍රීසින් රට පළාත් පහකට බෙදා බින්තැන්නත් එරාහුලු දිශාභාගයත් මඩකලපු දිස්ත්‍රික්කය බවට පත් කළේය. තමන්කඩුව නැගෙනහිරට ඈඳීය. මඩකලපුවේ වානිජ මුස්ලිම් ජනතාව ඉංග්‍රීසින් වෙනුවෙන් හරක් ඇති දැඩි කරමින් මසට මරා විකුණන ලද්දේය. මේ හරකුන් පට්ටි පිටින් තණ උලා කමින් තමන්කඩුවේ මෙගොඩ පත්තුව දක්වා සංක්‍රමණය වූ බව පැහැදිලිය.

මේ අසහනය නිසා ඇති වූ ජනතා පිපිරීම මගින් කැරැල්ලක් ඇති කරන ලද්දේය. 1817 මෙන්ම 1820 ද සිදු වූයේ එයයි. මේ නිසා රදළයන් රැසක් මැරම් කෑවේය. මේ අරගලයේ දී වාරියපොල සුමංගල අනුනායක හිමියන් මහවාසල මගහැර දළදා වහන්සේ රැගෙන වනගත විය. බුලුගුණේ බණ්ඩාරයන්ද උන්වහන්සේ අසළම විය. දළදාව උන්වහන්සේ වෙත විය. පසුව උන්වහන්සේ දළදාවද සමග අත්අඩංගුවට පත් වී යැයි දක්වති. උන්වහන්සේ අවසාන කාලය ගත කරන ලද්දේ දරාණේ ලෙනේ යැයි ජනප්‍රවාදයක් පවතී. 1818 න් පසු ඇති වූ 1820 කැරැල්ල නිසා පෙර සඳහන් කළ තමන්කඩුව පාලු විය. කොබ්බෑකඩුව රාළත් කොස්වත්තේ රාළත් මැරුම් කෑම නිසා තමන්කඩුව පාලනය කිරීමට උඩරට රදළයෙකු සොයා ගැනීම පහසු නොවීය. ඒ නිසා ඒ තනතුරට පහත රැටියෙකු පත් කරන ලද නමුත් එය අසාර්ථක විය. ඉංග්‍රීසි ආණ්ඩුව නොයෙකුත් උපක්‍රම යොදමින් සිංහලයන් පාලනය කිරීමට සහ ආදායම් ඒකතු කිරීමට මාන බැලූ නමුදු ඒවාද සාර්ථක නොවීය. මහානායක ස්වාමීන් වහන්සේලා පත් කිරීමද දළදා වහන්සේ ගේ භාරකාරත්වයද ඔවුනට හිසරදයක් විය. මේ නිසා වර්ෂ 1847 දී දළදා වහන්සේගේ භාරකාරත්ය භික්ෂූන් වහන්සේලා වෙත පැවරීමට ඉංග්‍රීසි රජය පියවර ගත්තේය. නමුත් 1848 දී මාතලේ දී ඇති වූ නිදහස් ජන අරගලය නිසා නැවතත් දළදා වහන්සේ තමන් භාරයට ගත් ඉංග්‍රීසි ආණ්ඩුව 1853 දී කොන්දේසි කීපයක්ද සමග දළදා වහන්සේ භාර දීමට කටයුතු කර ඇත. මින් එක් කොන්දේසියක් වූයේ ආගමික කටයුතුවලට හැරුණු කොට කිසිම දේශපාලන කටයුත්තකට දළදා වහන්සේ භාවිතා නොකළ යුතු බවට සපථ කර

ගැනීමය. එසේම මෙතෙක් දිව නිලමේ භාරයේ තිබූ දළදා වහන්සේ රජුගේ ඇතුල් කට්ටලේ නිලමේවරයෙකු වූ දියවඩන නිලමේ වන ලොකු බණ්ඩා නිලමේවරයාට භාරකොට දළදා වහන්සේ වැඩසිටි කරඬු හත ඉබි යතුරු දමා යතුරු කීපයක් ඔහුටද අනෙක් යතුරු දෙක මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලාට භාර දීමට කටයුතු කළේය. දළදා වහන්සේ නැවත දළදා මාළිගයෙන් ඉවත් කොට ගෙන පැන යා නොහැකි වන සේ පැනවූ නීතිය අද දක්වාම පැවත පැමිණේ. ඒ ලේඛනයේ අත්සන් කොට සාක්ෂි වශයෙන් යටවත්තේ හා පරකුඹුරේ යන නිලමේවරුන්ගේද අනුමැතිය ලබාගෙන තිබේ. ඒ පිළිබඳව හුවමාරු වූ ලිපි ලේඛන අදටත් රාජ්‍ය ලේඛනාගාරය තුළ දක්නට හැකිය.

පෙර රජ සිරිත අනුව විටින් විට දළදා වහන්සේ වෙත ගම්බිම් පුදා ඇත. එම ගම්වල උපදින භව බෝග මාළිගාවටද මහා විහාරයටද ලැබෙන පරිදි කටයුතු යොදා තිබුණි. ඉංග්‍රීසි ආණ්ඩුව පත් කළ අලුත මහා විහාරයට වියදම් පඩි දීමේ ක්‍රමයක් ආරම්භ කර ඇත. ඊට අමතරව ගම් බිම් පවරා දීමද සිදු කර තිබේ. තමන්කඩුව පළාත නොහොත් වර්තමාන පොලොන්නරු දිස්ත්‍රික්කය මෙලෙස පවරා දුන් එක් ප්‍රදේශයකි. තමන්කඩුව පාලනය කරන ලද්දේ පෙර දිව නිලමේ තනතුර දැරූ හිරිපිටියේ දිව නිලමේ ගේ මුණුපුරා වන ඒකනායක බණ්ඩාරයන් විසිනි. ඉංග්‍රීසින් රට භාර ගත් කාලයේ දී කහව මුදියන්සේද මින්නේරි මුදියන්සේද මේ පෙදෙස පාලනය කර තිබේ. නුමුත් 1820 දී ඇති වූ කැරැල්ල නිසා මේ රදළවරු කීප දෙනෙකුම මැරූම් කෑහ. අනතුරුව තමන්කඩුවේ කොටුවැල්ල නම් වූ දළදා මාලිගාවට පුද දුන් නින්දගම පාලනය කරන ලද්දේ දියවඩන නිලමේවරයා විසිනි. ඉඩම් භුක්ති ලේඛනයේ මේ ගම පිළිබඳ සඳහන් වන්නේ මෙවැනි දෙයකි.

‘මේ ගමේ බාගා තුනක් සහ ගම් වසම් තුනක් තිබෙනවා. බාගා තුන එකට රාජකාරි කරනවාය. බාගා තුන එක්ව කරන රාජකාරි නම් මහනුවර මාළිගාවට අවුරුදු පතා සිලින් තිහක් දීමද වේලාපු දඩමස් නොහොත් ගෝනමස් කෑලි හයසීයක් දීමද එක කදට කෑලි තුන බැගින් දුන් තෙල් කත් දෙකක්ද එක කදට කෑලි තුනක් බැගින් මී පැණි කත් තුනක් ද නොම්මර 26 පන්ගුවට අයිති බිත්තරත් පෑල් හයේ කෙත මාළිගාව ගණනේ වැඩිකර අස්වනු අටුලෑමද අටුව අලුත්වැඩියාකර පවත්වා ගැනීමය.

බාගෙකින් දෙන රිදී පහලොහ නොහොත් සිළින් දහය දීමටත් දඩමස් කෑලි දීමටත් ගම්මහේලා හවුල් වන්නේ නැත. ඔවුන්ගේ රාජකාරි නම් බාගාවල නිලකාරයන් ලවා කෙත වැඩකරවීමද අවුරුදු පතා පෙනුන් කත් සහ අනිකුත් දීමනාවල් ගෙන්වාගෙන මහනුවරට යෑමය. අනික් නිලකාරයන් විසින් ඒ කත් ගෙනියන්නට ඕනෑය. සිලින් තිහ බෙදාදෙන්නේ මෙයාකාරයටය. දහයක් මාළිගාවටද දහයක් දිව නිලමේටද දහයක් විදානේටදය. වේලාපු දඩමස් කෑලි තුන්සීයක් මාළිගාවටද එක සීයක් දිව නිලමේටද එක සීයක් විදානේටද පනහක් කාරිය කරන රාළටද එක්කෙනාට විසිපහ බැගින් කන්කානිවරු දෙන්නාටදය. නොම්මර 20 රදා පන්ගුව විසින් අනික් පන්ගුවලින් දෙන දීමනාවල්වලට හවුල්වෙනවා පමණක් නොව රදළ කෙනෙක් ගමට පැමිණි විට පොරොත්තු ස්ථානයේ වියන් බඳිනවාය. විදානේ ගමට පැමිණි විටක බාගා තුනේ නිලකාරයන් එක්ව ඉඳුම් හිටුම් හොඳාකාර සාදා දී මුරෙන් මුරේට දවස් පතා සිංහල බාගෙන් අඩුක්කුද ඉහළ සහ මැද බාගෙන් පැහිදුම්ද දෙනවාය.’

මේ ලේඛනය අනුව පැහැදිලි වන්නේ දියවඩන නම් නිලමේවරයකු දළදා වහන්සේ භාරකාරව නොසිටි බවයි. දිව නිලමේ හෝ දිවන නිලමේ යනු සැබෑ තනතුරයි. 1848 දී ඇති වූ ජනතා අරගලය නිසා සිංහල රජෙක් නැවත පත්වී දළදා වහන්සේ උරුම කොට යළි රාජ්‍යය පිහිටුවීමට හැකි යැයි ඉංග්‍රීසිහු බිය වූහ. ඒ නිසා රජුගේ ඇතුල් කට්ටලේ නිලමේවරයකුව සිටි ලොකුබණ්ඩා දෙහිගම නිලමේවරයාට දළදා භාරකොට මල්වතු අස්ගිරි විහාරවල එවකට සිටි මහා නායක හිමිවරු දෙපළට තේවාව භාරකොට ඉබි යතුරු ලා දළදා මාළිගයේ තැන්පත් කර ඇත. අදටත් මේ වරද නිවැරදි වී නැත. හෙන්රිපේද්‍රිස් වීරයා මරා වසර 108 කින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන ආණ්ඩුවකට දළදා වහන්සේ සිරගත කළ අපූරු කුමන්ත්‍රණය හෙළිදරව් කිරීම අපහසු කරුණක් නොවේ. නුමුත් අප යථාර්ථයද තේරුම් ගත යුතුය. එදා මෙන්ම අදත් මෙරට පාලනය කරන්නේ විදේශිකයන්ගෙන් වරම් ගත් කළු සුද්දන් පෙළකි. ඔවුහු දිනෙන් දින රට අගාධයකට හෙළමින් සිටී. මේ ඓතිහාසික වරද නිවැරදි කරන තෙක්ම රටට උද්ගතව ඇති ශාපය දුරලනු නොහේ. පක්ෂ මාරු කර පාලනය භාර දුන්නාට දේශමාමක පාලනයක් බිහි වන්නේ නැත. කළ යුතු එකම දේ දළදා වහන්සේට වගකිව හැකි නරපතියකු බිහි කිරීමයි. රට සුභික්ෂ වන්නේ එවිටයි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment