ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදනවල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය.

පිළිකා සඳහා විවිධ හේතු බලපාන නමුත් එදිනෙදා ජීවිතයේ දී අප පරිභෝජනය කරන සෞඛ්‍යය ආරක්ෂිත නොවූ ආහාර හා ආහාර රටාවන් නිසා වර්තමානය වන විට දරුවන් හා වැඩිහිටියන් අතර පිළිකා වැළඳීම හා පිළිකා ආශ්‍රිත මරණ ප්‍රමාණයේ වර්ධනයක් දකින්නට ලැබේ.

මේ වන විට පිළිකා රෝගීන් 40,000කට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව හඳුනා ගැනීමට ලක්වන බව සෞඛ්‍ය අංශ වාර්තා හෙළිකරයි. ඒ අතරින් මාරාන්තික හා අධික වේදනාබර දුක්ඛිත තත්ත්වයන්ට මුහුණ දීමට බහුතරයකට සිදුවීම රටක අනාගතය කෙරෙහි දැඩි අහිතකර බලපෑමක් සිදුකරනු ලැබීම කනගාටුදායක තත්ත්වයකි. මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතිශය බරපතල ගැටලුවක් වී ඇති ඖෂධ හා අධික ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට පිළිකා රෝගීන් හා එකී ඖෂධවලට දැරීමට සිදුව ඇති අධික මූල්‍ය පිරිවැය ද තීරණාත්මක බලපෑමක් වී ඇති බව අමතක නොකළ යුතු කරුණකි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (Sri Lanka Standards Institution) මේ සඳහා දැඩි වගකීමක් ගතයුතු තවත් එක් වැදගත් ආයතනයකි. මන්දයත් SLS ප්‍රමිතිය ඇති නිෂ්පාදන මහජනතාව විසින් පරිභෝජනය කරනු ලබන්නේ ඒවායේ ගුණාත්මකභාවය හා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් ඇතිකර ගනිමිනි.

ඒ අනුව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබාදුන් තොරතුරු පහත අනුව වේ.

මෙරට ආහාර නිෂ්පාදන හා ඒවා නිෂ්පාදනය කරන ආයතන සඳහා SLS තත්ත්ව සහතිකය පිරිනැමීමේ දී අදාළ නිෂ්පාදනය / භාණ්ඩය ඊට අදාළ ආහාර රෙගුලාසිවලට අනුකූලව පවතින්නේ දැයි අනිවාර්යයෙන් පරීක්ෂාවට ලක් කරන අතර, දැනට එම ආයතනය විසින් සලකා බැලෙන පිළිකා කාරක ලෙස හඳුනා ගෙන ඇති අමුද්‍රව්‍ය, සංඝටක, දූහක සම්බන්ධවත් ඊට අදාළ පිරිවිතරයන් හා රෙගුලාසි තුළ අනුමත අවසරලත් උපරිම ප්‍රමාණයට පවතින්නේදැයි ද පරීක්ෂා කොට තහවුරු කරනු ලැබේ.

මේ කෑම කැවොත් පිළිකාවක් ස්ථීරයි

“පිළිකා කාරක” යනු අනිවාර්යයෙන් ශරීරගත වූ විට පිළිකාවක් ඇතිකිරීමේ සාධකයක් නොවේ. පිළිකාවක් ඇතිවීමට තවත් අතිරේක සාධක පවතී. නමුත් පිළිකා කාරකවලට නිරාවරණය වීම පිළිකාවක් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි කිරීමට බලපායි. එබැවින් අත්‍යවශ්‍යයෙන් මහජනතාව පිළිකා කාරක හා ඒවා අඩංගු සංඝටක හා ආහරවල අඩංගු නොවිය යුතු දූහක සම්බන්ධයෙන් තොරතුරු දැනසිටිය යුතුයි. ඒ අනුව ආහාරවල පවතින පිළිකා කාරක ද්‍රව්‍ය ඊට අදාළ ආහාර රෙගුලාසි හා ප්‍රමිතීන්වල පවත්නා එක් එක් උපරිම අගයන්ට අනුකූලදැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව SLS තත්ත්ව සහතිකය නිකුත් කළද, ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පහත දූහක ලැයිස්තුව, අඩංගු නොවිය යුතු බවත් මෙරට ආහාර නිෂ්පාදන/ නිෂ්පාදන ආයතන වෙත SLS තත්ත්ව සහතිකය පිරිනැමීමේදී මෙකී සියලු කාරණා පිළිබඳව වගකීමෙන් පරීක්ෂාවට ලක්කෙරෙන බවටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිර්දේශ නිකුත් කෙරෙනු ලැබේ.

එම ලැයිස්තුවේ ආහාර කාණ්ඩයට අදාළව, පලතුරු නෙක්ටර් (Fruit Nector), කෝඩියල් වර්ග (Cordial), සෝයා සෝස් (Soya Souce), අයිස්ක්‍රීම්, ටින් මාළු (Canned Fish), පොල්තෙල් (Crude Coconut Oil), මිරිස් කුඩු හා කෑලි මිරිස්වල අඩංගු නොවිය යුතු පිළිකා කාරක, වර්ණ කාරක හා රසකාරක වැනි දූහක නම් කර ඇති අතර ජාත්‍යන්තර E හා INS කාණ්ඩයේ කේතනය කිරීම් සහ පසුගිය කාලයේ සමාජයේ කතා බහට ලක්වූ ආසනික් (Arsenic) හා ඇෆ්ලාටොක්සීන් (Aflatoxin) විෂ සංඝටක පිළිබඳව ද සඳහන් වේ.

ආහාර නොවන කාණ්ඩයේ පෝසිලේන් භාණ්ඩ (Porcelain Ware) තුළ අඩංගු නොවිය යුතු ලෙඩ් (Lead) හා කැඩ්මියම් (Cadmiuam) සංයෝග පිළිබඳ එකී වාර්තාවේ වැඩිදුරටත් අන්තර්ගත වේ.

කෙසේ නමුත් වර්තමානයේ දී පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර නියෝජිත ආයතනය (IARC) විසින් සඳහන් කරන අන්දමට ඔවුන් විසින් පිළිකා කාරක 120කට අධික සංඛ්‍යාවක් විද්‍යාත්මකව ප්‍රකාශයට පත් කර තිබිය දී, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තම ප්‍රමිතීන් නිකුත් කිරීමේ දී වර්තමානයේ පවතින නව විද්‍යාත්මක පර්යේෂණ හා දත්තවලට සාපේක්ෂව නිසි යාවත්කාලීන වීම්වලට අනුකූලවී ඇත්දැයි අවධානයට ලක් විය යුතුය. මෙරට කුඩා දරුවන්ගේ හා තරුණ, වැඩිහිටි ශ්‍රම දායකයන්ගේ සෞඛ්‍යාරක්ෂිත ආහාර නිෂ්පාදන භුක්ති විඳීමේ අයිතිය තහවුරු කිරීමට ඉහළ පෙළේ ප්‍රමුඛත්වයක් හා වගකිවයුතු ආයතන සැපයිය යුතුය.

ජනක සුරංග

advertistmentadvertistment
advertistmentadvertistment