පොහොට්ටුවත් අටපට්ටම් විදුලි බිලෙන් අපි නට්ටම්!

412

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන ලද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන සියලු විවේචනවල මෙන්ම විශ්ලේෂණවලද හරය වී තිබෙන්නේ එබඳු ඔළුගෙඩි මාරු කිරීමකින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බවය. පොහොට්ටුවේ ඡායාමාත්‍ර නායක නාමල් මන්ත්‍රීවරයා ද ඒ කැබිනට් සංශෝධනය පිළිබඳ තෘප්තිමත් නැති බවත්, නුදුරු අනාගතයේදී ඉදිරිපත් කිරීමට නියමිත අය . වැය යෝජනාවලින් පසුව තම පක්‍ෂයට තීන්දු තීරණ ගත හැකි බවත් පවසා තිබුණි. එහෙත් පොහොට්ටුවේ ලේකම් සාගරගෙන් මෙන්ම ආණ්ඩුවේ ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් ද එයට විරෝධයක් ප්‍රකාශ වී තිබේ. ඒ අයගේ විරෝධය තම පක්‍ෂයේ කාට හෝ එබඳු අවස්ථාවකදී සැලකිල්ලක් නොලැබීම නිසා විනා රට වෙනුවෙන් සිදුවූවක් නොවන බවද ඉතා පැහැදිලිය. එහෙත් ජනාධිපති රනිල් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 117 වැනි වාර්ෂික සමුළුව අමතා ප්‍රකාශ කළේ තමන් එම ඇමැති මාරුවේදී කළේ කෘෂිකර්මය හා වැවිලි ක්‍ෂේත්‍රය එකම අමාත්‍යාංශයකට පත් කිරීමක් බවය. එසේම 1970 දී පැවැති සිරිමා පාලන යුගයේදී මෙම එකම ක්‍ෂේත්‍රය දෙකට බෙදූ බවට විවේචනයක් ද කළේය. මෙය විස්මයට වඩා හාස්‍ය දනවන දේශපාලන ප්‍රතිචාරයකි. කුමක් වුවත් ඒ වරද නිවැරදි කිරීමට ඔහුට මතක් වී ඇත්තේ දශක කීයකට පසුව ද?

මේ දේශපාලනය ගැන වාද කළ යුතු නැති වුවත් අද මෙරටේ බහුතර ජනතාවකට දේශපාලන විඥානයක් තිබෙන බව පමණක් සඳහන් කරමු. කුමක් වුවත් ජනාධිපතිවරයා විසින් සිදුකළ මුහුණු වෙනස කෙතරම් ප්‍රායෝගික ද? ඇත්ත වශයෙන්ම රටේ විශාල ආන්දෝලනයක තුඩු දුන් අමාත්‍යාංශ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ සෞඛ්‍ය, කෘෂිකර්ම හා විදුලිබල යන අමාත්‍යාංශයන් ය. ඒවායේ දූෂණ . වංචා . අක්‍රමිකතා ගැන විවේචන හා චෝදනා ද ඇත. ඒ අමාත්‍යාංශ මෙහෙයවූවෝ ද ජනතා විරෝධයට ද ලක්වූවෝ ය. එසේම ඇතැම් නිලධාරීන්ට ද චෝදනා එල්ල වී තිබේ. සෞඛ්‍ය සේවයම ගිලන් බවට පත් කළේ යැයි ඇමැති කෙහෙළියට එරෙහිව නැඟුණු චෝදනා පත්‍රය ද ප්‍රබලය. ඔහුගේ විශ්වාසය දිනාගත් බොහෝ නිල බල සම්බන්ධයෙන් ද තත්ත්වය එයම විය. මේ චෝදනා . විවේචනවල උත්කර්ෂය ලෙස කෙහෙළියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව දැක්විය හැකිය. ආණ්ඩුවත් විපක්‍ෂයත් එහිදී වාද විවාද කළ අතර අවසන් ප්‍රතිඵලය වූයේ පොහොට්ටුවේ බලය යොදා විශ්වාසභංග යෝජනාව පරාජය කර කෙහෙළිය රැකගැනීම ය. එක් අතකින් ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරන්නේ එසේ පොහොට්ටුව විසින් රැක ගන්නා ලද ඇමැතිවරයෙකි. එය පොහොට්ටුවේ එකඟතාවට එල්ල කළ අතුල් පහරක් ද? එසේ නොවුවත් එයින් පොහොට්ටුවට හොඳටම රිදී තිබෙන බව නම් පැහැදිලිය. ජනාධිපතිවරයා ඒ වගකීම් රමේෂ් පතිරණටය පවරන්නේ කෙහෙළියගෙන් ඒ අර්බුදවලට විසඳුමක් ලබා ගත නොහැකි හෙයින් යැයි අනුමාන කළ හැකිය. එහෙත් කෙහෙළියට ද සැනසිලිදායක ඇමැති ධුරයක් පිරිනමා තිබේ. ඔහු පරිසර ඇමැති ලෙස කුමක් කරනු ඇද්දැයි ඉදිරි කාලයේදී රටට දැක බලා ගත හැකි වනු ඇත.

මෙම කැබිනට් මුහුණු වෙනස තුළ කැපී පෙනෙන සිදුවීමක් වන්නේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ මහින්ද අමරවීරට වැවිලි කර්මාන්ත කටයුතු භාර කිරීම ය. ඔහුගේ භූමිකාවට තිබෙන විවේචන, දෝෂාරෝපණ කෙබඳු දැයි ජනාධිපතිවරයා ද දනී. ගෝඨාභය විසින් හිතුවක්කාර ලෙස ගන්නා ලද තීන්දු තීරණ නිසා මෙරටේ සමස්ත ගොවි ජනතාවම සරණාගතයන් බවට පත් වී යැයි විවෘත චෝදනාවක් ද තිබේ. කෘෂිකර්ම ඇමැති ලෙස අමරවීර ඒවාට සාධනීය විසඳුම් ලබාදී තිබේ ද? ගොවියන් ගොවි සංවිධාන මේ වනවිටත් විවිධ විරෝධතාවල යෙදෙමින් ඇමැතිවරයාට දැඩි විවේචන ද එල්ල කරන බව රහසක් නොවේ. එහි අරුත වන්නේ ඔහු සමඟ ගොවියන් හා ගොවි සංවිධාන අරගලයක නිරතව සිටින බවය. ජනාධිපතිවරයා ඔහුට අලුත් වගකීමක් පවරා ඇත්තේ ඔහු සම්බන්ධයෙන් වූ සාධනීය තක්සේරුවක් නිසා ද? ඔහුට එල්ල කෙරෙන විවේචන පදනම් විරහිත යැයි කල්පනා කරන නිසා ද? කොටින්ම කිව්හොත් ඔහු සුපිරි වැඩ්ඩෙකු යැයි සිතන නිසා ද? මේ සම්බන්ධයෙන් ඔහුට තිබෙන ශක්තිය ප්‍රායෝගික දැනුම රටට අත්‍යවශ්‍ය යැයි ජනාධිපති සිතන්නෙහි ද? ඔහු මෙතෙක් තිබුණු ගොවි ගැටලු විසඳා තිබේද යන්නත් ගැටලුවකි. බොහෝ ගොවියන් අද පවසන්නේ තමන්ට ගොවිතැන එපා වී තිබෙන බව ය. ගොවි පවුල්වල අභ්‍යන්තර කතාව කඳුළක් බව ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද බොහෝ විමර්ශනවලින් ද තහවුරු වී තිබේ. ඇතැම් ගොවි පවුල්වල ගෘහනියන්ගේ පමණක් නොව දූ දරුවන්ගේ ද අතකර පාළුවට ගොස් තිබේ. ඒ බොහෝ දෙනකුගේ මාල වළලු වැනි දේවල් බැංකුවල උකසට තබා ඇත. මේ තරම් ගොවි ජීවිත කඩාවැටුණු යුගයක් නැත.

එ.ජා.ප. පාලන යුගවල විශේෂයෙන් ඩී. ඇස්. සේනානායක මෙන්ම ඩඩ්ලි සේනානායක ද කෘෂිකර්මයට උසස් දායකත්වයක් ලබා දුන්හ. ඩඩ්ලිගේ සාර්ථකත්වයට නිලධාරීන් බාධාවක් වූ බව ද කියති.

ගොවි රජවරුන් තේරීම වැනි නාඩගම් ද එදා තිබුණි. සිරිමාවන්ගේ වගා සංග්‍රාමය ජනතාව අතරට නිවැරදිව ගෙන යා හැකි යාන්ත්‍රණයක් තිබුණි නම් එදා ස්වයංපෝෂිත ආර්ථිකයකට පදනම වැටෙන බව පසුකාලීනව පිළිගත්තකි. ජේ. ආර් ද වප්මඟුල් වැනි උත්සව සඳහා කුඹුරට බැස්ස නායකයෙකි. එහෙත් ඒවා හුදු සෙප්පඩ විජ්ජා විනා ඉදිරියට ගිය වැඩපිළිවෙළක් නොවීය. ලංකාවේ කෘෂිකර්මය හා ගොවියා පිළිබඳ ඒ අඳුරු අතීතය පිළිබඳ දන්නා අය ජනතාව අතර මෙන්ම මෙම පාර්ලිමේන්තුවේ ද කීපදෙනෙක් හො සිටිතියි අපගේ අදහසය. එසේම කෘෂිකර්ම විෂය භාරව සිටි අය ද වෙති. එහෙත් ගොවියාගේ ඉරණම මොන තරම් දුක්ඛිත ද? තුන්වේල තමන්ගේ බත සරිකර ගැනීම ද අද ගොවියාට අභියෝගයකි. නවීන තාක්‍ෂණය අලුත් කෘෂිකර්ම ඥානය ආදියෙන් වියට්නාමය හා තායිලන්තය වැනි රටවල් ද ඉදිරියට ගොසින් ය. චීනය හා ජපානය ගැන කවර කතා ද? එහෙත් අපේ ගොවියන්ට පෝර, බිත්තර වී. කන්නයට වතුර, අවශ්‍ය කෘමිනාශක ආදී පහසුකම් නිසි ක්‍රමවේදයකට නොලැබේ. එපමණක් ද වී අස්වනු මෝල්කාරයන්ට දීම හැර ඔවුන්ට හොඳ සාධාරණ වෙළෙඳපොළක්වත් නැත. කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත වීම යනු ආර්ථිකයේ වරද සෑහෙන ප්‍රතිශතයකින් අඩුවීමකි.

පොහොට්ටුවත් අටපට්ටම් විදුලි බිලෙන් අපි නට්ටම්!

මේ අතර ජනාධිපතිවරයාගේ ඇමැති මුහුණු මාරුවේ දී දැනටත් ආන්දෝලනයට ලක්ව තිබෙන විදුලිබල ශක්ති ඇමැතිවරයා හසුනොවීම ද කැපී පෙනුණි. මේ ලියන මොහොත වනවිට ද නගර . ගම් වෙනසක් නැතිව ජනතාව පන්දම් දල්වාගෙන විදුලි බිලට විරෝධය දක්වමින් සිටිති. ආණ්ඩුවත් විදුලිබල ඇමැතිවරයාත් ඔවුන්ගේම කටහඬ බවට පත්ව සිටින ඇතැම් නිලධාරීනුත් ගල්හිත් සහිත අසංවේදී පුද්ගලයෝ දැයි විටෙක සිතේ. මේසා විදුලි බිලක් පොඩි මිනිහා දරා ගන්නේ කෙසේ දැයි මේ මහත්වරුන්ට වගේ වගක් නැද්ද? රනිල් ජනාධිපති වී ගෙවී ගිය 14 මසක පමණ කාලය ඇතුළතදී විදුලි බිල තුන්වරක් ඉහළ දමනු ලැබ ඇත. 2022 අගෝස්තු 10 වැනිදා 75% කින් ද 2023 පෙබරවාරියේ ද 66% කින් ද දැන් යළිත් 18% කින් ද වශයෙන් ඒවා මාධ්‍යවල වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දුගේ ප්‍රකාශයකට අනුව විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 22 ක ලාභයක් ලබන බව ය. මේ වසර අවසන් වනවිට මණ්ඩලය බිලියන 40 ක (කෝටි 4000ක්) ලාභයක් ලබන බව ද ඔහු පෙන්වා දී ඇත. (දිවයින 26 දා කතුවැකිය) මෙය සැබෑවක් නම් පන්දම් දල්වා වීදි බැස සිටින ජනතාව ආණ්ඩුවට හෙණ ඉල්ලීම ඉතා සාධාරණය. එහෙව් විදුලිබල ලොක්කෝ සිරිපාද පුද බිම අඳුරේ තැබීමට ද අර අඳිති. ලබන උඳුවප් (දෙසැම්බර්) පොහොය සමඟ ඇරඹෙන සිරිපා සමයට බුදු දහම සුරකින පාලකයන්ගේ තෑග්ග එය දැයි අපි නොදනිමු. විපක්‍ෂ නායක සජිත් මෙයට දැඩි අප්‍රසාදයයක් ද පළකර ඇත.

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ නායක මහින්ද ඇතුළු එහි ජ්‍යෙෂ්ඨයෝ ද අප්‍රසාදය දක්වති. කුමක් වුවත් විදුලිබල මණ්ඩලයේ දූෂණ, හදිසි මිලදී ගැනීම් වැනි කරුණු ගැන ඇමැතිවරයා ක්‍රියාකර තිබේද යන්නත් ගැටලුවකි. එසේම මේ අර්බුදයට වගකිව යුතු දේශපාලන චරිත ගැන ද මාධ්‍ය සාකච්ඡාවලදී හෙළිකර තිබේ. බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටියගේ කරුණු දැක්වීම්වල දී ඒවා පෙන්වා දී ඇත. යහපාලන යුගයේ දීල සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය අත්හැරීම ගැන ද ඔහු චෝදනා කරයි. ඇත්තටම ඇතැම් දේශපාලන නායකයන් තමන් නොදන්නා හැම උලව්වකටම අත දැමීමේ විපාක අන්තිමේදී වැටෙන්නේ ජනතා හිස මතටය. කුමක් වුවත් විදුලිබල අධිපතියෝ ද ඒවාට වගකිව යුතු වෙති. අපට දැනෙන ආකාරයට නම් විදුලි බිලට තිබෙන විරෝධය ලේසියෙන් යටපත් කළ නොහැකිය.

කෙසේ හෝ මේ වනවිට ආණ්ඩුවට එරෙහිව නැඟෙන ජනතා විරෝධය ක්‍රමයෙන් උත්සන්න වන බවක් ද පෙනේ. ආණ්ඩුවේ කෝකටත් තෛලය වී තිබෙන මර්දනය මගින් පමණක් ඒවා යටපත් කළ හැකිද? දින කීපයකට පෙර මෙරටේ ගුරුවරුන්ගේ විරෝධතාවකට පොලිසිය යොදා කඳුළුගෑස් හා බැටන් පහරදීමේ සිද්ධිය ගැන ආණ්ඩුවට බරපතළ විවේචනයක් ඇත. මහපොළ නොලැබීම ගැන විරෝධය දැක්වූ පේරාදෙණි සරසවි සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය ද කුරිරු හා දුෂ්ට එකකි. ස.ජ.බ. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කීවේ ද අද ආණ්ඩුවට ජනතා විරෝධයක් නැඟෙන බවය. ඔවුන්ට ජනතාව ඉදිරියට යා නොහැකි බව ය. පොහොට්ටුවේ මුල් පෙළ සිටින රෝහිත අබේගුණවර්ධන කීවේත් ජනතාවට දරාගත නොහැකි බඩු මිල හා විදුලි බිලට ද සහන වුවමනා බව ය. දැන් දැන් සමාජ දේශපාලන ප්‍රතිචාර බහුතරයකින් ම පැවසෙන්නේ ආණ්ඩුවේ අසමත් බව ය. ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන කැබිනට් මුහුණු මාරුව වැනි ගොඩ වෙදකමකින් මේ වනවිට ඔත්පල නොවුවත් ඉතා දුබලව තිබෙන ආණ්ඩුව ගොඩ ගත නොහැකි බව ද පැහැදිලිව පෙනේ.

සමස්තයක් ලෙස ගත් කල රට තිබෙන්නේ නරකම තැනක ය. දූෂණ, වංචා තරමටම අපරාධකරුවන්ගේ විශාල වැඩිවීමක් පෙනේ. කප්පම් කල්ලිවල තර්ජන මාධ්‍යවලින් ද හෙළිකෙරේ. කුඩු ජාවාරම්කරුවන් මුදාගැනීමේ දූෂිත මෙහෙයුම් ගැන ද වාර්තා වේ. දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ දූෂිත චර්යා මාධ්‍යවල අප්‍රමාණව දැක්වේ.

සිංගප්පූරු ආදර්ශය ගැන දෙසාබාන දේශපාලන චරිත ඒ රට ගොඩනැංවීමේ පදනම වූ දූෂණයට එරෙහි වීම ගැන වචන මාත්‍රයක් කියත් ද? ලී ක්වාන් යූ පාලන සමයෙහි දූෂණයකට සම්බන්ධ චූදිතයකු වූ ඔහුගේ මිතුරු චැන්ග් වොන්ට සිය දිවි නසා ගැනීමට සිදුවිය. එහෙත් අපේ රටේ දූෂිතයන්ට, හොරුන්ට දේශපාලන සෙවණ දෙන අයුරු රහසක් නොවේ. ගාලු මුවදොර අරගලය මහජන විරෝධතාවේ කූටප්‍රාප්තියකි. එහෙත් එයට නිසි දේශපාලන නායකත්වයක් නොලැබීම නිසා සමස්ත අරගලය ම අසාර්ථක මෙහෙයුමක් විය. එහෙත් ඒ අරගලයේ හරය විසින් ඉල්ලා සිටින ලද සමාජ . දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැක. ප්‍රභූ තන්ත්‍ර වැඩවසම් දේශපාලනය කල් ඉකුත් වී ඇති බව ඒ අරගලයෙන් ප්‍රකාශ විය. අරගලය කුණු මාළු කෑල්ලක් ලෙස ඉවත දැමිය යුතු බව වැඩවසම් පාලකයන්ගේ ස්ථාවරයයි. එහෙත් එයින් උගත යුතු පාඩම් අමතක කළ හැකිද? ආණ්ඩුවේ මර්දන නීති, සමාජ මාධ්‍ය පාලනය වැනි පනත් ඒ අරගල යට ගැසීමට ප්‍රමාණවත් නොවනු ඇත. එහෙත් ආණ්ඩුව කල්පනා කරන්නේ කුමන හෝ ක්‍රමයකින් මහජන මතය මඟහැරීමට බව ද විපක්‍ෂ ඇතුළු සිවිල් සංවිධාන මෙන්ම හිටපු දේශපාලන නායකයෝ ද සැක පහළ කරති. එහෙත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ද කල් දැමීමට ආණ්ඩුවට නොහැකි බව කොමියුනිස්ට් පක්‍ෂයේ නායක ඩිව් ගුණසේකර කියයි.

මේ සම්බන්ධයෙන් සමාජගත වී තිබෙන සැක සංකා නිසාදෝ ඉකුත් එ.ජා.ප. විශේෂ සමුළුවේදී (22) ජනාධිපති රනිල් පැහැදිලිව ප්‍රකාශ කළේ 2024 දී ජනාධිපතිවරණයත්, ඉන් පසු මහ මැතිවරණයත් පවත්වන බවය. දේශපාලනඥයන්ගේ පොරොන්දු හා වචන යනු විශ්වාස කළ නොහැකි බව ඉතිහාසය විසින් ද තහවුරු කර ඇත. ආණ්ඩුව ජනමතයට බියෙන් මැතිවරණ කල් දමන බව විපක්‍ෂයේ ද ප්‍රබල චෝදනාවකි. ඇත්තටම පළාත් පාලන මැතිවරණයට සිදුවූයේ කුමක් ද? ජනාධිපතිවරයාට ඒ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ද චෝදනා එලල් වේ. මැතිවරණය සඳහා නාම යෝජනා පවා කැඳවා තිබුණත් එය කවදා පැවැත්වේ දැයි කිසිවෙක් නොදනිති. කුමක් වුවද පසුගිය දිනවල සමාජ දේශපාලන අංශවල සංවාදයට ලක් වූ පුවතක් අනුව ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර යළිත් විධායක අගමැතිවරයකු පත්කර ගැනීමට සූදානමක් තිබෙන බවක් සඳහන් විය. ඒ සමගම අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා පනතක් ගෙන එන බව ද වාර්තා විය. අගමැතිවරයා ඒ පිළිබඳව පක්‍ෂ නායක හමුවක් ද කැඳවා තිබුණත් ස.ජ.බ. හා ජා.ජ.බ. එයට එක්වූයේ ද නැත. මේ සිදුවීම් විපක්‍ෂවල බරපතළ සැකයට තුඩු දුන්නකි. ඔවුන්ගේ අනුමානය වූයේ පළාත් පාලන ඡන්දය අතුරුදන් කළ ආණ්ඩුව යළිත් ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටි සිදුකරන බව ය. මේ ආණ්ඩුවේ දේශපාලන වංක භාවය නිසාත්, ජන මතයට ඔවුන් තුළ තිබෙන බිය නිසාත් ජනාධිපතිවරණය හා මැතිවරණය කුමන හෝ ගුණ්ඩුවක් ගසා කල් දමනු ඇතැයි ජනතාව අතර ද විශ්වාසයක් ඇත. ජනතා වරමක් නැති පොහොට්ටුවේ ඡන්දයෙන් විධායකයට පත් වූ රනිල්ට එම ධුරය පිළිබඳ ආශාවක් ඇති වීම ද පිළිගත හැකි දෙයකි. එසේම ඔහු එදා සක්‍රීයව සිටි ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමේ ව්‍යාපාරය ද අද ඔහු අමතක කර දමා තිබේ. මැතිවරණ සිතියම හකුළා දැමීමට ඔහුගේ උද්යෝගයක් ද තිබිය හැකිය. එහෙත් ඔහු විසින් එදා රටට ප්‍රකාශ කරන ලද ආකාරය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ඇතැයි ද සමහරු කල්පනා කරති. ඇත්තටම පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය නැතහොත් මනාප ක්‍රමය අහෝසි කිරීම යනු ජනතාව අපේක්‍ෂා කරන ජයග්‍රහණයකි. දේශපාලන ආණ්ඩර නොගසා ඒ කාර්ය කිරීමට පාර්ලිමේන්තු තුළ ඉඩක් තිබේ නම් එයට දායක වීම ද සියල්ලන්ගේ යුතුකමක් හා වගකීමක් ද වේ.

මේ ආණ්ඩුවේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ පුනපුනා කියන්නේ ද විධායකය අහෝසි කිරීමේ යෝජනාවක් හෝ කර නොමැති බව ය. හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසමට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම භාර වී තිබේ. ඒ සඳහා කාලයක් ද නියමව ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක් බොහෝවිට විවිධ ප්‍රචාර ද පැතිර යා හැකිය. කුමක් වුවත් අද තිබෙන උණුසුම් හා ව්‍යාකූල සමාජ දේශපාලනය සමනය කළ හැක්කේ ද අලුත් ජනවරමකින් බලයට පත්වන ජනාධිපතිවරයකුට හා පාර්ලිමේන්තුවකට පමණි. අප යෝජනා කරන්නේ එසේ පත්වන්නා වූ දේශපාලනඥයන් විසින් රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනවරමක් ද ලබා ගතයුතු බව ය. මේ විෂම දේශපාලන වාතාවරණය තුළ තකහනියේ සිදුකළ හැකි වෙනසක් තිබුණත් එය ඉතාමත් ප්‍රබුද්ධ හා සවිඥානක ලෙස ද සිදුකළ යුත්තකි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment