ඇමැති මාරුවේ අළුයට ගිනි පුපුරු

230

පසුගිය සතිය වැඩි කලබලයක් නැති දේශපාලන සතියක් වුවත් දේශපාලන කරලියේ කතාබහට ලක් වූ උණුසුම් සිදුවීම් කීපයක්ම තිබූ සතියක් විය. ඒ අතර ඩයනා ගමගේ ගේ සිද්ධිය ද එකකි. ඩයනාගේ සිද්ධියේ උණුසුම පසුගිය සතිය පුරාම පැතිර ගිය බව රහසක් නොවීය. ඊටත් වඩා දේශපාලන කරළියේ කතාබහට ලක් වූ සිදුවීම වූයේ හදිසියේ සිදු වූ ඇමැති මණ්ඩල සංශෝධනයයි. එම පසුබිමේ තව තවත් බොහෝ දේ සිදුව තිබිණි.

ඇමැති මණ්ඩල සංශෝධනයක් යැයි කීවාට එහිදී සිදුවූයේ ඇමැතිවරුන් කිහිප දෙනෙක් එහාට මෙහාට මාරු කිරීම පමණක්ම විය. අලුතින් ලැබුණු ඇමැතිකම් කිසිවක් නොවීය. සෞඛ්‍ය ඇමැති ධුරය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉවත් කිරීමට මීට පෙර සූදානමක් ඇතැයි කතා ගියත් කිසිවිටකත් එය සිදු වූයේ නැත. කතාව පැතිර ගියේ ඒ සඳහා රාජිත සේනාරත්න පත්කරනු ඇතැයි කියාය. එකල රාජිත ද එම ආරංචිය ප්‍රතික්ෂේප කළේ නැත.

කෙසේ වෙතත් කෙහෙලිය දිගින් දිගටම වැඩ කළේය. ඔහුට ඒ ගැන චකිතයක් තිබුණේ නැත වෛද්‍යවරුන්ගෙන් විවිධ වෘත්තීය සමිතිවලින් හා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ඔහුට එරෙහිව නැඟුනු චෝදනා සුළු පටු නොවීය. රෝහල්වල බෙහෙත් හිඟය, බෙහෙත් ගෙන්වීමේදී සිදුවන අක්‍රමිකතා ආදී චෝදනා බරපතළ විය. ඊටත් වඩා ඔහුට එරෙහිව නැඟුණු විරෝධයට හේතුවූයේ රෝහල් සඳහා බාල වර්ගයේ බෙහෙත් ගෙන්වීමෙන් ඒවා විෂ වී රෝගීන් කීපදෙනෙක් මරණයට පත් වී යැයි චෝදනා එල්ල වීමයි.

කවුරු කවර චෝදනා එල්ල කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොට්ටුවේ ආරක්ෂාව නොඅඩුව ඔහු වෙත තිබීම හේතුවෙන් කෙහෙළියගේ තනතුරුවලට අනතුරක් නොවීය. මේ තරම් බරපතළ චෝදනා මැදත් දිගින් දිගටම කෙහෙළියගේ අමාත්‍ය තනතුර වෙනස් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද චෝදනා එල්ල විය.

කෙසේ හෝ වේවා… පසුගිය සතියේ කෙහෙළියට සිය සෞඛ්‍ය අමාත්‍ය තනතුරු අහිමි විය. ඒ කතාව පසුබිමේ තවත් අතුරු කතා කීපයක් ද විය.

එක් මාවතක් එක් තීරයක් යන තේමාව යටතේ චීනයේ පැවැති රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිවෙන සිකුරාදා රාත්‍රියේ යළි ලංකාවට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගිවීමට ඇති නිසාය. සම්මේලනය සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නට සියලු කටයුතු සංවිධානය කර තිබිණි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර හා සභාපති වජිර අබේවර්ධන සියලු කටයුතු අඩුවක් නැතිව සංවිධානය කර තිබිණි. ජනාධිපතිවරයාත් ඔවුනුත් අතර සම්බන්ධීකරණ කටයුතු කර තිබුණේ සාගල රත්නායකය.

● ජනාධිපති රනිල්ගේ
විශේෂ ඇඳුම කුමක්ද…

සම්මේලනයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහභාගි වූයේ විශේෂ ජැකට්ටුවක් ඇඳගෙනය. සෙසු නායකයෝ මේ ජැකට්ටුව ගැන කතා කරන්නට පටන් ගත්හ. සමහරු ජනාධිපතිවරයා ළඟටම ගොස් පැකට්ටුවේ ගුණ වර්ණනා කරන්නට වූහ…

“මේ ජැකට්ටෙක නම් අද රැස්වීමට හොඳටම ගැළපෙනවා..” එසේ කිව්වේ කෝට්ටේ සංවිධායක දිනේෂ් විදානපතිරණ ය.

“එහෙම තමයි අපේ ජනාධිපතිතුමා… හැමදාම එතුමා අලුත් විදිහට හිතනවා. හැම වෙලාවෙම අලුත් දෙයක් කරනවා…” පාලිත රංගේ බණ්ඩාර කීවේය.

ජනාධිපතිවරයා සමුළුව අමතා කතා කරන්නට පෙර සෙසු නායකයෝ කතා නමයක් පවත්වා තිබිණි. දහ වන කතාව කාටත් විශේෂ එකක් වූයේ ජනාධිපතිවරයා පක්ෂයට හා රජයට ඇති අනාගත අභියෝග ගැන විස්තර කරමින් කතා කළ නිසා ය. සම්මේලනයෙන් පසුව ජනාධිපතිවරයා පහුගිය දිනවල අතපසු වූ වැඩ රාජකාරි පිළිබඳ සොයා බලන්නට පටන් ගත්තේය. ලබන වසර සඳහා සකස් කරන අය වැය සම්බන්ධයෙන් තීන්දු තීරණ රාශියක් ගැනීමට තිබිණි. එසේම ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ සෙසු නිලධාරීන් මෙන්ම රාජ්‍ය ඇමැතිවරු සමග ද සාකච්ඡා කරන්නට බොහෝ කරුණු කාරණා තිබිණි. ජනාධිපති කාර්යාලයට ගොස් ඒ පිළිබඳව සොයා බලන්නට විය.

ඒ අතර කැබිනට් මණ්ඩල සංශෝධනයද තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් දිගින් දිගටම පැනනැඟුණු අභියෝග නිසා ජනාධිපතිවරයාට එහි වෙනසක් කරන්නට අවශ්‍ය විය. මීට සති කීපයකට පෙර ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කෙහෙළිය ඇමැතිවරයා සමග කතාබස් කළේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර වෙනත් අමාත්‍යාංශයක් ගැනීමට කෙහෙළිය තුළ අකමැත්තක් තිබුණේ නැත. ඔහු ඊට කැමැත්ත ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟට කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගෙන හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාව සිටි දොස්තර රමේෂ් පතිරණගෙන් ඉල්ලීමක් කිරීමය. මුලින්ම ජනාධිපතිවරයා එම ඉල්ලීම කර තිබුණේ මීට සති දෙකකට පෙරය. එහෙත් රමේෂ් ඊට එකඟත්වය පළ කර තිබුණේ නැත. රමේෂ් එකඟ නොවීම නිසා කැබිනට් මාරුව ප්‍රමාද වූයේ ය.

● ඇමැති මාරුව ගැන
පොහොට්ටුවේ විරෝධය

ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් මෙවන් කටයුත්තක් කරන්නේ පොහොට්ටුව සමඟද සාකච්ඡාවකින් පසුවය. එහෙත් මේ කාරණාව සම්බන්ධයෙන් ඔහු පොහොට්ටුව සමග කිසිදු කතාබහ කර තිබුණේ නැත. එහෙත් කාරණාව පොහොට්ටුවට රහසක් නොවීය. සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර වෙනත් අමාත්‍යාංශයක් භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බව ඒ වන විටත් කෙහෙලිය පොහොට්ටුවේ නායකයෝ දැනුවත් කර තිබිණි.

සිදුවන්නට ඉඩ ඇත්තේ කෙහෙළියත් රමේෂ් පතිරණත් අතර අමාත්‍යාංශය දෙක මාරු කිරීමක් නිසා පොහොට්ටුව ඒ ගැන ප්‍රශ්නයක් ඇති කර තිබුණේද නැත. එහෙත් ඒ වන විට සිදුවෙමින් පවතින දේ පිළිබඳ ඉඟියක් රමේෂ් පතිරණට දැනී තිබිණි. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගන්නට අකමැත්ත පළ කර තිබුණේ ඒ හේතුව නිසාය. ඒ කාරණාව වෙනම කතාවකි. සිදුකරන ඇමැති මාරුව ගැන ජනාධිපතිවරයා පොහොට්ටුව සමඟ සාකච්ඡා නොකළත් ඒ නායකයෝ මේ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.

“ඔබතුමාට ඕන වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රමේෂ් පතිරණ ඇමැතිතුමාට දෙන්න නම් කෙහෙලියයි රමේෂුයි අතර ඒ දෙක මාරු කළාට කමක් නෑ. හැබැයි ඒ ඇමැතිකම් වෙන පාර්ශ්වයකට දෙන්න එපා..”

ජනාධිපතිවරයාගේ සිට පැමිණි වහාම නායකයෝ ඔහුගෙන් මේ ඉල්ලීම කර සිටියහ. ජනාධිපතිවරයා පහුගිය ඉරිදා හැන්දෑවෙත් එකඟත්වය පල කළේය. ඒත් සඳුදා උදේ නව ඇමැති මාරුව සඳහා අමාත්‍යවරුන් 4 දෙනෙක් ජනාධිපති කාර්යාලයට කැඳවන්නේ මන්දැයි කියා පොහොට්ටුවේ නායකයෝ විපිළිසරව සිටියහ. රමේෂ්ට කෙහෙළියට අමතරව එම අවස්ථාවට රංජිත් සියඹලාපිටියට හා මහින්ද අමරවීරට ආරාධනා කර තිබිණි. එහිදී රමේෂ්ට සෞඛ්‍ය විෂය ලැබුණි. කෙහෙළියට පරිසර ඇමැතිකම ලැබිණි. රමේෂ් පතිරණගෙන් ඉවත් වූ වැවිලි කර්මාන්ත ඇමැතිකම කෘෂිකර්ම ඇමැතිවරයා වන මහින්ද අමරවීරට පවරා තිබිණි. වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ධූරය මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව රංජිත් සියඹලාපිටිය ලබාදී තිබිණි.

මේ පිළිබඳ ආරංචි වූ සැනින් පොහොට්ටුව ඊට ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තේය. සාගර කාරියවසම් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා මේ සිදුවීම සම්බන්ධයෙන් එකහෙළාම තම පක්ෂයේ විරුද්ධත්වය පළ කර සිටියේය.

● කේලමක් ගැන මනුෂ කී කතාවක්….

ජනපති රනිල් එදින සවස මොනාක් ඉම්පීරියල් හෝටලය වෙත ගියේ ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලට සහභාගි වීමටය. බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය වෙත ජනපති පැමිණියේ කාලයකට පසුවය. ඒ ඔහු රටේ නොසිටීම හා වෙනත් රාජකාරී යෙදීම මත මුදල් අමත්‍යාංශය වෙත පැමිණීමට නොහැකිවීම නිසාවෙනි. එම අවස්ථාවට මැති ඇමැතිවරු මෙන්ම නිලධාරීන් රැසක් ද පැමිණ සිටියෝය. ජනපතිගේ චීන සංචාරය ගැන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබා ගැනීම ගැන පිරිස ජනපතිට හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගලට ප්‍රශංසාව පළ කළහ.

“දෙවන වාරිකය දෙන්න එපා කියලා විපක්ෂයට සම්බන්ධ රිසර්ච් ආයතනයක් අයි.එම්.එෆ්. එකට කේලම් කිව්වා කියලා ආරංචියි.” ඇමැති මනුෂ කීවේ බැරෑරුම්වය.

“ඔව් ඒකේ ප්‍රධානියාට ඕන වෙලා තියෙනවානේ ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දෙන්න. ඒක නිසා තමයි අයි.එම්.එෆ්. එක අපිට කිව්වේ අල්ලස් කොමිසම ඇතුළු කොමිෂන් සභාවලට නිලධාරීන් පත් කරන කොට ඒකට උපදෙස් දෙන්න කමිටුවක් පත් කරන්න කියලා. ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් කමිටු පත් කරන්න ජනාධිපතිතුමා කැමති වුණේ නෑ. ජනාධිපතිතුමා එක්ක ෂෙහාන් ඇමැතිතුමාත් එකතු වෙලා එක මතයක හිටියා මේක කරන්න බෑ කියලා.” සාගල රත්නායක පිළිතුරු බැන්දේය.

“කොහොම වුණත් අපි අල්ලස් කොමිසම ඇතුළු දූෂණ විරෝධී ආයතනවලට නිලධාරීන් පත් කිරීමේදී ඔවුන්ගේ සුදුසුකම් මෙන්ම ඔවුන් කටයුතු කළ යුතු ආකාරය ගැන නීති රෙගුලාසි දාන්න කටයුතු කරනවා. ඒක පිළිගන්න අයි.එම්.එෆ්. එක කැමති වුණා.” ඇමැති ෂෙහාන් කීවේ මොරොක්කෝ සමුළුව ද සිහිපත් කරමිනි.

“ඇමැති විෂය මාරුව ගැන ලොකු හා හෝවක් ගිහින් තියෙනවා. පොහොට්ටුව කලකිරීමෙන් ඉන්නා බව තමයි ඒ කතාවලින් පැහැදිලි වෙන්නේ. ජනාධිපතිතුමා එයාලගෙන් අහලා කළේ නෑ කියන එක තමයි චෝදනාව.” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක ද කතාවට එකතු වූවේය.

“ජනාධිපතිවරු වැඩ කරන්නේ ඒ අයගේ කැමැත්තට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ඒක පැහැදිලිව තියෙනවා. හිටපු ජනාධිපතිවරු හැමෝම වැඩ කරලා තියෙන්නේ එහෙම. ඒ නිසානේ මිනිස්සු පාරට බැස්සේ ජනාධිපතිවරු ඉලක්ක කරගෙන. කාගෙන්වත් අහලා ජනාධිපතිතුමා වැඩ කරන්න ඕනේ නෑ. මොකද හොඳ නරක දෙකම එන්නේ ජනාධිපතිතුමාටනේ.” මන්ත්‍රී වජිර ද කීවේ තරමක්
ආවේගයෙනි.

“එක පැත්තකින් තරුණ නායකයෝ ටිකක් ජනාධිපතිතුමා එක්ක ඉස්සරහට එන එක ගැනත් සමහරුන්ට හිතේ අමාරු ඇති.” මහාචාර්ය ආශු ද කතාවට එක් වූවේ එලෙසිනි.

මැද පෙරදිග ගැටුම ගැන කරුණු මතු කළේ ජනපතිය. “ලෝකය කොටස් දෙකකට බෙදෙමින් යන්නේ. මේක ආර්ථිකයට හොඳ නෑ. ඉන්ධන මිල ඉහළ යෑම වගේ දේවල් වර්ධනය වෙන්න පුළුවන්. අපි මේවට විසඳුම් සොයන්න ඕනේ.” ජනපති අදහස එය විය.

“සර් බජට් එකේ මොනවද තියෙන්නේ.” ඒ පැනය ඇමැති ප්‍රසන්නගෙනි.” අය වැය රහස් කියලා කියන්නේ ඒකටනේ.” ජනපති පිළිතුරු දුන්නේ සිනාමුසුවය. අය වැය ගැන සාකච්ඡාව ආරම්භ වූවේ ඉන් පසුවය.

● සෙවනගල සීනිත් නැවතත් අනතුරක…

මේ රජයේ සිටින වැඩ කරන තරුණ අවංක අමාත්‍යවරයකු ලෙස ප්‍රකට රමේෂ් පතිරණ ඇමැතිවරයාට පසුගිය කාලයේ එක්තරා යෝජනාවක් පැමිණියේය…. යෝජනාව පැමිණියේ ජනාධිපති කාර්යාලයෙන් හා මුදල් අමාත්‍යාංශයෙනි.

“සෙවනගල සීනි සමාගම පුද්ගලිකකරණය කරන්න කැබිනට් පත්‍රිකාවක් හදන්න”

එහෙත් මෙම යෝජනාව රමේෂ් පතිරණ අමාත්‍යවරයාට ඒ තරම් හිතට ඇල්ලුවේ නැත. සෙවනගල වූ කලී ලාභ ලබන රාජ්‍ය ආයතනයකි. එක් වරක් මෙය පුද්ගලිකකරණය කර තිබී රජය මැදිහත්ව එය බේරා ගත්තේ ලොකු පරිශ්‍රමයක් දරා ය. ඇමැතිවරයා මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කරමින් තම අකමැත්ත ප්‍රකාශ කර ඇත. එහෙත් ඒ සඳහා ඔහුට ලැබුණු බලපෑම සුළු පටු නොවීය. රමේෂ් ඇමැතිවරයා මේ ගැන තවදුරටත් සොයා බලන්නට පටන් ගත්තේය…

රජයේ ඉහළම තැන්වලින් තීරණයක් ගෙන තිබුණේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රමේෂ්ගෙන් රැගෙන වෙනත් අයකුට පවරන්නටය. ඒ අතර තවත් දේවල් කීපයක්ම මෙම සිද්ධියට සමගාමීව සිදුවිය. වැවිලි කර්මාන්ත විෂය භාරව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු සිටියහ. එක් අයෙක් ලොහාන් රත්වත්තේ ය. අනෙක් කෙනා දිලුම් අමුණුගමය. පසුගිය දිනවල රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ යටතේ තිබූ පැල්වත්ත සීනි සමාගම හා සෙවනගල සීනි සමාගම යන දෙකම දිලුම් අමුණුගම යටතට පවරා ගැසට් පතක් නිකුත් කළේය.

“මේක වැඩකට නැති රාජ්‍ය ඇමැතිකමක්. අමාත්‍යාංශයටම තිබුණේ සෙවනගලයි පැල්වත්තයි ආයතන දෙකක් විතරයි. දැන් ඒ දෙකත් මට නැහැ. අමාත්‍යාංශය තුනට කඩල….” පොහොට්ටුවේ ලොක්කෙක් හමුවූ ලොහාන් රත්වත්තේ පසුගිය දිනක තම අ/සතුට ප්‍රකාශ කර තිබුණේ එසේය.

● සාගර මහින්දට නඩු කියන්න ගිහින්…

මේ ප්‍රශ්න ඔක්කොම රැගෙන මාධ්‍ය හමුවට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඉන් පසුව තම නායකයා හමුවන්නට විජේරාම මාවතට ගියේලු.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ඉදිරියට අරගෙන යන්න අපි උදව් කළාට එයා පොහොට්ටුවට සලකන්නේ නෑ. පොහොට්ටුවේ ඇමතිකමක් ගත්ත නං ඒක දෙන්න ඕන පොහොට්ටුවේ කෙනකුට මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු තමන්ට අවනත කෙනකුට නෙවෙයි. මහින්ද අමරවීර ට දැන් කැබිනට් ඇමැතිකම් දෙකයි. ඒවාට විශාල වශයෙන් ආයතන තියෙනවා. ඒ වගේම අරමුදල් තියෙනවා. විවිධ සංවිධාන වලින් ආධාර හම්බ වෙනවා. එක් අතකින් ඒ ඔක්කොම ලැබුණට කමක් නෑ කියමු. නමුත් මේ ආණ්ඩුව කරගෙන යන්න උදව් කරන්නේ පොහොට්ටුව විත්තිය අමතක වෙච්ච එකයි ප්‍රශ්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු හැම කෙනකුටම ඇමැතිකමක් දීලා. නමුත් අපේ නිර්දේශ දැන් සලකා බලන මට්ටමක වත් නෑ. අපට බොරු කියනවා. අවසාන වශයෙන් සාකච්ඡා කරද්දිත් ජනාධිපතිතුමා එකඟ වුණා ඇමැතිකම් දෙක මාරු කරන්න…”

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ සියල්ල ඉතා හොඳින් සාවධානව ඇහුම්කන් දී සිටියා මිස කිසිවක් කියා තිබුණේ නැත.

“ඔබතුමා නිහඬව ඉඳලා හරියන්නේ නෑ. ඔබතුමා වහාම ජනාධිපතිතුමාත් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න. අප තුළ විශ්වාසයක් ඇති කරන්නේ නැතුව මේ විදිහට ඉදිරියට යන්න බෑ. අපේ මන්ත්‍රීවරු හුඟක් ඉන්නේ කලකිරීමෙන් …”

සාගර තම යුතුකම් කොටස එසේ කර තිබුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට ඉක්මන් වී තිබුණේ නැත. පසුගියදා පැවති කැබිනට් සංශෝධනය සමග දේශපාලන වේදිකාව රත් වූ බවක් පෙනෙන්නට තිබිණි. විශේශයෙන්ම පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් එළපිටම රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබිණි. පොහොට්ටුව තැන් දෙකකදී රැස් වූ අතර ඉන් එකක්

රැස්වූයේ මලලසේකර මාවතේ පිහිටි නාමල් රාජපක්ෂගේ නිවසේදීය. මීට රාජ්‍ය ඇමැතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වී සිටියහ. මීට අමතරව සංස්ථා සභාපතිවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙක්ද සහභාගි විය.

මෙහිදී කොළඹ අවට එදා රැඳී සිටි සියලුම මන්ත්‍රීවරු හා රාජ්‍ය ඇමැතිවරු පැමිණීම විශේෂත්වයකි. මුලින්ම අදහස් දැක්වූයේ රාජ්‍ය ඇමැතිවරුය. අපි ජනාධිපතිවරයාට කිහිප ගමනක්ම කිව්වා අපට ලේකම්වරයෙක් ලබා දෙන්න කියලා කනකට ගන්නෙ නෑ.මිනිස්සුන්ට වැඩ කරන්න ඕනෙ අපි. ඒත් ලේකම්වරයෙක්වත් මුදල්වත් අපට කොච්චර කියලත් දෙන්නෙ නෑ. රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක්ම නෝක්කඩු ස්වරූපයෙන් කතා කළහ. ඔව් ඒක ඇත්ත ජනතාවට වැඩ කරන්න ප්‍රතිපාදන දෙන්නෙ නෑ කොහොමද ජනතාව ළඟට යන්නෙ නාමල් මෙහිදී උත්තර බැන්දේය. අනික දැන් අපිට පාරක බැහැලා යන්න බෑ ලයිට් බිල අහස උසට ගිහින් තවත් මන්ත්‍රීවරයකු පැවසීය.

ඔව් අපි කොච්චර කිවුවද සහන දෙන්න කියලා. කෝ ජනාධිපතිවරයා අහන්නෙ නෑ කිසිම දෙයක් තවත් රාජ්‍ය අමාත්‍යවරයකු පැවසීය. අයිඑම්එෆ් කියලා මිනිස්සුන්ට එපා කරවලා කරන්ට් බිල වැඩියි, වතුර බිල වැඩියි, වෘත්තිකයන්ගේ පඩියට බදු ගහලා, ජනතාව මත බදු පටවලා මේ ඔක්කොම යන්නෙ පොහොට්ටුව පිටින් නාමල් මෙහිදී පැවසීය.

ඔව් ඒක ඇත්ත මේ පාර අයවැයෙන් සහන නොදුන්නොත් බලාගමු තවත් රාජ්‍ය අමාත්‍යවරයකු පැවසීය. ඔව් මොකද ඔක්කොම නරක යන්නෙ පොහොට්ටුව පිටින් දැන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළා. ඔක්කොම හොඳ ටික ඒ අයට නරක ඔක්කොම පොහොට්ටුවට මේක හරියන්නෙ නෑ නාමල් වැඩිදුරටත් පැවසීය. අපේ පොහොට්ටුවට තියෙන ඇමැතිකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා අපේ කොච්චර අය ඉන්නවද තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් සිය හඬ අවදි කළේය. ඔව් දිලුම් ජානක වක්කුඹුර, චානක, කනක, ලොහාන්, ශෙහාන් වගේ කොච්චර ඉන්නවද තරුණ පොහොට්ටු මන්ත්‍රීවරු ඒ අයට කැබිනට් ඇමැතිකම් දෙන්න තිබ්බා නාමල් පැවසීය.

ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ ජනතාවගේ අමාරුකම් ඔක්කොම පැටවෙන්නෙ අපේ කරට. එක පැත්තකින් විදුලිබිල වැඩිවෙනවා, බදු බර වැඩිවෙනවා. ඒ වගේම වතුර බිල වැඩිකරනවා. තව අලුතෙන් බදු ගහන්න ඕනේ කියලාත් කියනවා. ජීවන වියදම පාලනය කරන්න කටයුතු කරන්නේ නැහැ. මේ චෝදනාව පොහොට්ටුවේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. ඔය කියන හැමෝම. චෝදනා එන්නේ පොහොට්ටුවට. හැබැයි අනිත් පැත්තෙන් සහෝදර පක්ෂ එක්ක සාකච්ඡා නොකර තීන්දු තීරණ ගන්නවා. ඒ ගන්න කොට ඒක හරි ගියොත් ඒක වෙන කණ්ඩායමක්. ඒක වැරදුණොත් ඒක පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නාමල්ගේ කතාව අනුමත කළහ.

මේ වෙලාවේ, මේක කැබිනට් සංශෝධනයක් විදියට මම දකින්නේ නැහැ. මේක කැබිනට් හුවමාරුවක්. ඇතුලේ තනතුරු හුවමාරුවක් කර ගැනීම සිද්ධ වුණේ. ඒක ජනාධිපතිවරයාට කරන්න අයිතියක් තියෙනවා, එතුමා ජනාධිපතිවරයා විදියට. ඒ වගේම තමයි, ආණ්ඩුවට යුතුකමක් තියෙනවා, ඒ පිළිබඳව සහෝදර පක්ෂ එක්ක විමසන්න. මේ තනතුරු හුවමාරු කර ගැනීමෙන් මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවානං, තනතුරු හුවමාරු කරගැනීමෙන් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න පුළුවන් කියලා හිතනවා නං, තනතුරක් හුවමාරු කරගැනීම තුළින් මේ රටේ ජනතාව මුහුණපාලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන් කියලා හිතනවා නං, ඒ අයට වැරදිලා නාමල් පැවසීය.

● නාමල්ට දෝස්මූරයක්!…

මේ වෙලාවේ අයවැයක් එනවා ඉදිරි කාලසීමාව තුළ. අයවැයේදීවත් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට සහන දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි කියලා. “ඔළුගෙඩි සංශෝධනය කරලා වෙන අය ඔක්කොම ලකුණු දාගෙන ඉන්නවා. මේ පාර සහන නොදුන්නොත් අපිනම් තීරණයක් ගන්නවා රාජ්‍ය ඇමැතිවරු එක හඬින් පැවසීය. ඔව් 2048 වෙනකම් ඉන්න ඕනෙද රට හදන්න දරුවන්ට දිවා ආහාරය දෙන්න, 2030 වෙනකන් ඉන්න ඕනෙද වහාම ජනතාවට සහන දෙන්න කියලා අපි බල කරන්න ඕනෙ නාමල් පැවසීය. අපි නැවත වතාවක් රැස්වෙලා කතා කරමු. මේ ගැන තීරණයක් ඉක්මනින් ගන්න ඔබෙ මන්ත්‍රීවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පැවසීය.

අපි මුණගැහෙමු මේකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් උපදෙස් ගමු. ඒ වගේම බැසිල් රාජපක්ෂවත් දැනුවත් කරමු නාමල් පැවසීය. අපි මේ පාර සහන නොදුන්නොත් අනිවාර්යෙන්ම අයවැය ගැන බලා ගමු සියලු දෙනාම ගිවිස ගත්හ. ඔන්න නිව්ස් එකක් දැන් ප්ලාන්ට් කරයි. ආණ්ඩුව විසුරුවා හරිනවා කියලා එක් මන්ත්‍රීවරයක් සිනහ සෙමින් පැවසීය.

ඔව් අපි ඡන්දෙකට ලෑස්තිනෙ ඕනෙ ප්ලාන්ට් එකක් කරපුවාවෙ නාමල් පැවසීය. අනතුරුව එදින රාත්‍රී ආහාරයද ලබාදීමට නාමල් රාජපක්ෂ කටයුතු කර තිබිණි. මෙහි විශේෂත්වය වූයේ තනිකරම නිර්මාංශ ආහාර වේලක් පිළියෙල කර තිබීමයි. නව සන්ධානයේ මැති ඇමැතිවරුන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ හෝටලයකදී රැස්වුණේ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. එම කතාබහට අමතරව ඉන් වැඩි වෙලාවක් වැය කෙරුණේ පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ ඇමැති මණ්ඩල සංශෝධනය පිළිබඳව ඇතිවූ කතාබහටය.

“අමරවීරට වැවිලි කර්මාන්ත දීපු එකට පොහොට්ටුවට හොඳටම රිදිලා, පිස්සු බල්ලෝ වගේ කෑ ගහගෙන යනවා” නලින් ප්‍රනාන්දු ඇමැතිවරයා කීවේය.

“ඔව්.. මේ යක්කුන්ට පිස්සුනේ, වැවිලි කර්මාන්ත කෘෂිකර්මෙට දෙන්නේ නැතුව වෙන මොකේට දෙන්නද කියන්නේ, මොලේ හොඳ නෑ” නිමල් ලන්සා කතාබහට එක්විය.

“සමහරු අහනවා කෙහෙළිය එළවන්න විශ්වාස භංගය ගෙනාපු වෙලේ මේක කරන්න තිබ්බනේ, දැන් ජනාධිපතිතුමා කරලා තියෙන්නේ සජබෙට ඕන දේනේ කියල” දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කීවේය.

“ඔව් මගෙනුත් මාධ්‍ය කට්ටිය ඕකම ඇහුවා, මම කීවේ අපි විශ්වාස භංගය පරාජය කෙළේ ඒක දඩමීමා කරගෙන ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ අර්බුදයක් හදන්න උත්සහ කරපු නිසයි කියල” ලසන්ත අලගියවන්න මහතාද කතාබහට එක්විය.

“කට්ටිය ඉතින් දැන් ඉස්සරහට අපේ ටීම් එකටම ගහයි” අමරවීර කීවේය.

“මොන පිස්සුද ඔය යක්කු බය ගුල්ලෝ, පාර්ලිමේන්තුව දාල යන්නේ නෑ, මාධ්‍ය හමු තිය තිය කෑගහන්න දෙයක් නෑනේ, අපි සහාය දෙන්නේ නෑ කියල විපක්ෂේ වාඩි වුණානම් ඉවරයිනේ” ලන්සා කීවේ තරමක් කේන්තියෙනි.

“නාමලුත් ජනාධිපතිතුමාට ඇමැතිකම් දෙන හැටි උගන්නනවා මම දැක්කා” ලසන්ත අලගියවන්න කීවේය.

“අනේ මුන්ට ලැජ්ජාවක් නෑ, රාජපක්ෂලාගේ දේශපාලනය ඉවර කරලා බාප්පාවත් නැතිකරලා එළියට ගියේ,” නලින් ප්‍රනාන්දු කීවේය.

“ඔව්.. බාප්පා ඇමැතිවරු රොත්තක් එළියට දැම්මා.. ලොකුගේ, රෝහිත, අයින් කළා එදා නාමල්ලා හිටියේ පූස් පැටව් වගේ, දැන් තමයි ඇමැතිකම් ගැන කතාකරන්නේ ලැජ්ජයි, කෑ ගහ ගහ ඉන්නේ නැතිව එළියට ගිහින් පෙන්නන්න කියන්නකෝ එකෙක් යන්නේ නෑ” ලන්සා කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment