අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ
වැඩ භාරගනිති

177

පළමු රාජකාරිය ලෙස ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට දෙන බෝ අංකූරයට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අත්සන් තබති

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ඊයේ (11දා) පෙරවරුවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝසමිඳුන් අබියස පැවැති ආගමික වතාවත්වලින් පසු සිය ධුරයේ වැඩ භාර ගත්හ.

ඒ අනුව ඊයේ (11දා) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ දොරටුව අබියසට හේවිසි තූර්යනාද මධ්‍යයේ දර්ශනීය පෙරහැරකින් වැඩම කළ අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ අනුරාධපුර අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතා විසින් පිච්ච මල් වට්ටියක් පිළිගන්වා පිළිගනු ලැබූහ.

අනතුරුව අටමස්ථානයේ විහාරාධිකාරී නාහිමිපාණන් වහන්සේ ඇතුළු අනුරාධපුර ප්‍රදේශයේ මහා සංඝරත්නය පෙරටු කොට ගෙන ජය ශ්‍රී මහා බෝධියේ උඩමළුව වෙත වැඩම කළ උන්වහන්සේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බෝ සමිඳුන් වන්දනා කොට ආශීර්වාද ලබා ගත්හ.

ඉන්පසු අභිනව අටමස්ථානාධිපති නාහිමියෝ සිය ධුරයට පත්වීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා එහි විහාර මන්දිරය ඉදිරිපිට මළුවේ පරිවාර බෝ අංකුරයක් රෝපණය කළහ.

අනතුරුව බෝමළුව විහාරස්ථානය වෙත වැඩම කළ උන්වහන්සේ සිය පළමු රාජකාරිය ලෙස ඇඹිලිපිටිය කඩදාසි කම්හල පාරේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථාන භූමියේ රෝපණය කිරීම සඳහා ප්‍රදානය කිරීමට නියමිතව තිබූ ජය ශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අත්සන් තැබීම සිදු කළහ. අටමස්ථානාධිපති නාහිමියෝ පසුව ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කන්දකැටියේ සද්ධානන්ද ස්වාමින් වහන්සේ වෙත ජය ශ්‍රී මහා බෝධියේ බෝ අංකුරයක් ප්‍රදානය කළහ.

මෙම අවස්ථාවට අටමස්ථානය නියෝජනය කරන සියලු විහාරාධිකාරී හිමිවරුන් ප්‍රමුඛ අනුරාධපුර මහා සංඝරත්නයට අමතරව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර යන මහත්වරු ද සැදැහැවත්හු විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු,මිහින්තලය රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment