වැට් බදු වැඩි කිරීම තුළින් සියලු දෙනාගේම ජන ජීවිත පරිහානියට පත්කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැති සබේදී කියයි

73

විකල්පයක් ලෙස රටෙන් සොරා ගත් ධනය නැවත රටට ගෙන ඒම, බදු පරිපාලනය කාර්යක්ෂම කර බදු දැල ව්‍යාප්ත කිරීම, ගජමිතුරන්ට ලබාදී ඇති බදු සහන ඉවත් කර රාජ්‍ය ආදායම වැඩි කිරීම සිදු කළ හැකි බවත් මෙම වැට් බදු වැඩි කිරීම දූෂණ බද්දක් බවත් කුඩා දරුවාගේ සිට තරුණයා දක්වාත් ඉන් පසුව වැඩිහිටියන් දක්වාත් සියලු‍ දෙනාගේම ජන ජීවිත පරිහානියට පත් කර ඇති බවත් මෙම දුර්දාන්ත වැට් බදු වැඩි කිරීම තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනවාරි 01 වැනිදා සිට පොත්, සඟරා, ජර්නල්වල වැට් බදු වැඩි කිරීම නිසා මිල ඉහළ යන බවත් රජය උගත් බුද්ධිමත් ජන සමාජයක් ගොඩ නගන්නේ ඒ ආකාරයට බවත් ඊට අමතරව ගෑස් පෙට්‍රල් ඩීසල් කෘෂිකාර්මික උපකරණ සහ යන්ත්‍ර, පොහොර, පරිගණක උපාංග, වෛද්‍ය උපකරණ, සූරිය බලශක්ති සහ සුළං විදුලිය නිපදවීම සඳහා යොදාගන්නා උපාංග, විද්‍යුත් උපකරණ සහ භාණ්ඩ, වෛද්‍ය සැත්කම් උපකරණ, දත්ත වෛද්‍ය උපකරණ, දේශීය නිෂ්පාදන මෙන්ම සහල් නිෂ්පාදනය, සීනි නිෂ්පාදනය, තේ කර්මාන්තය සඳහා භාවිත යන්ත්‍ර, ස්වර්ණාභරණ කර්මාන්ත, දේශීය නිෂ්පාදිත රෙදි පිළි, ආබාධිත තැනැන්තන් පරිහරණ කරණ මෝටර් රථ වාහන, වෘත්තීය සහ ප්‍රායෝගික පුහුණු සඳහා අවශ්‍ය මෙවලම් ආදියෙද මිල ඉහළ යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය ගැන තීන්දුව ගැනීම අද සිදුවන බවත් වසර 4ක ණය පහසුකමින් කාර්තුවකට කොන්දේසි සහිතව ඇ. ඩොලර් මිලියන 333 ගානේ ලබා දෙන්න තීන්දු කළත් බංකොලොත් රටේ දූෂණය වංචාව හොරකම ව්‍යාප්ත කිරීම නිසා එම කොන්දේසි කඩ කළ බවත් රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා දෙවැනි කාර්තුව නොලැබී ගිය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

වැට් බදු වැඩි කරන්නැයි අයි. එම්. එෆ්. එක කියා නොමැති බවත් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම පමණක් කියා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද විපක්ෂය විසින් හදුන්වා දී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කතා කරන්න හදන විට ආණ්ඩුව විපක්ෂයට ඉඩ ලබා නොදුන් බව යි.

තමන්ගේ බිරිඳගේ මෘත දේහය සාලේ තියා ගෙන එළියේ බූරුවා ගසා එකතු කර ගත් මුදල්වලින් කසිප්පු බොන සැමියෙකුගේ චරිතය වත්මන් රජය රඟ දක්වන බවත් ජනතාවට අධික වැට් බදු ගසා ජන ජීවිත විනාශ කර ලබා ගන්නා මුදලින් ආණ්ඩුව සැපසේ වැජඹෙන බවත් මොවුන් අම්බරුවන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment