දෙස්පාලන සද්දය සහ අවුරුදු නැකැත් යුද්ධය!

292

සමාජ දේශපාලන සිදුවීම් යනු නොතකා හැරිය හැකි හෝ නොවටනා පුවත් ලෙස බැහැර කළ හැකි හෝ දේවල් නොවේ. ඒවා එක් අතකින් රටේත් ජනතාවගේත් ඉරණම සමග අවියෝජනීය ලෙසබැඳී පවතින බවද නිසැකය. එසේම ජාතික සංස්කෘතික ක්‍රියාකාරකම් කෙරෙහි ද දේශපාලනයේ බලපෑම් ඇති වීම ද ස්වභාවිකය. කුමක් වුවත් අද මෙම තීරුව සමාජ දේශපාලනයට මෙන්ම අතිශය ජාතික වැදගත්කමක් හිමිවන අලුත් අවුරුද්ද පිළිබඳව ද සැකෙවින් හෝ විමසා බැලීමට යොදා ගැනීම අපගේ අපේක්ෂාවය.

ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති රනිල් හා ඔහු එම ධුරයට පත්කරන ලද පොදුජන පෙරමුණේ නායකයන් වන මහින්ද, බැසිල් මෙන්ම අභිනවයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත්වූ නාමල් ද මැදිවී සිටින උභතෝකෝටිකයට තවමත් නිශ්චිත විසඳුමක් නැති බව පෙනේ. ඒ වූ කලී පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය ද? මහ මැතිවරණය ද? යන දේශපාලන අභියෝගය විසින් ඒ නායකයන් පත්ව සිටින ව්‍යාකූලත්වයයි. 2024 වසරේ සැප්තැම්බර් – ඔක්තෝබර් අතර නියත වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල නිවේදනය සිදු විය යුතුය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වූ විධානයකි. එම විධානය නොතකා හරිමින් ජනාධිපතිවරණය පස්සට දමා මහ මැතිවණය කලින් පැවැත්වීම පොදුජන පෙරමුණේ අවශ්‍යතාවකි. එහි නායක මහින්ද මෙන්ම පක්ෂයේ නිර්මාතෘ බැසිල් ද මේ මැතිවරණ වෙනස සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටිති. අලුතින් පත්වූ ජාතික සංවිධායක නාමල් ඇතුළු එහිම තවත් පිරිසක් ඒ අදහස දරති.

2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන අර්බුදය රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ ප්‍රභූ දේශපාලනයේ පැවැත්ම සමග ගැටගැසී තිබෙන්නක් බව මේ සම්බන්ධයෙන් මීට පෙර ද මෙම තීරුව මගින් පැහැදිලි විශ්ලේෂණයක් කර තිබේ. ඒවා යළිත් සඳහන් කළ යුතු නැත. අප පමණක් නොව, වෙනත් දේශපාලන විමර්ශන මගින් ද පිළිගත් පරිදි, 2022 උද්ගතවූ ගාලු මුවදොර විරෝධතාව විසින් බිඳ දමන ලද රාජපක්‍ෂ දේශපාලන කඳවුර යළිත් තමන්ට අහිමිවූ බලය යම් ප්‍රමාණයකින් හෝ පවත්වා ගෙන යෑමේ උපක්‍රමයක් ලෙස මේ මැතිවරණ එහා මෙහා කිරීමට උනන්දු වී සිටියි. අද පවතින දේශපාලන භූමිය තුළ රාජපක්‍ෂ කඳවුර මෙන් ප්‍රභූ දේශපාලන තන්ත්‍රයම දැඩි පසු බෑමකට ලක්ව සිටියි. ඒ පසුබිම යටතේ රාජපක්‍ෂවරුන්ගේ නියෝජනය ලබන අපේක්‍ෂකයාට ස.ජ.බ. හා ජා.ජ.බ. ලෙස ඉදිරි යෙන්ම සිටින ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා සමග තරග වැදීමට සිදු වේ. ඒ තුන්කොන් තරගයෙහි දී තරගයක් දීමට තරම් ප්‍රබල චරිතයක් රාජපක්‍ෂවරුන්ගේ කඳවුරෙහි නැති බව ඔව්හු දනිති. දැනට ජනතාව මෙන්ම දේශපාලන අංශවලද පිළිගැනීම වී තිබෙන්නේ ජනාධිපති රනිල් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවය. ඇත්තට ම අද තිබෙන දේශපාලන යථාර්ථය වන්නේ සාම්ප්‍රදායික ප්‍රභූ පැලැන්තිය මෙන්ම ඔවුන් විසින් නියෝජනය කරනු ලබන පක්ෂ ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබීමය. එ.ජා.ප. හා ශ්‍රී ල.නි.ප. ලෙසත් ඒවා මුල්කගත් සන්ධාන වසයෙනුත් බලයේ සිටි සමසමාජ, කොමියුනිස්ට් ඇතළු පැරණි වම ද මියැදෙමින් තිබේ. එදා බණ්ඩාරනායක සමග එක්ව මෙරටේ දේශපාලන සංස්කෘතිය විප්ලවීය වෙනසකට ලක් කළ මහජන එක්සත් පෙරමුණ ඇතුළු තවත් පක්ෂ ගණනාවකම ඇත්තේ නම් පමණි.

එ.ජා.ප.ය තුළින් බිහිවූ ස.ජ.බ.යේ පැරණි එ.ජා.ප. පාක්ෂිකයෝ සිටිති. ශ්‍රී ල.නි.ප.යෙන් එළි දුටු පොදුජන පෙරමුණ රාජපක්‍ෂ පවුලේ පක්ෂය බවට පත්ව තිබේ. එසේම ඒ පක්ෂය තුළ සිටි තවත් පක්ෂ කීපයක්ම අද වෙන වෙනම සන්ධාන ගත වෙන ආකාරයක් ද පෙනේ. ජනතා විමුක්ති පෙරමුණ ලෙස තිබුණු පක්ෂය අද ජාතික ජන බලවේගය නමින් ක්‍රියා කරයි. මෙම අප්‍රේල් 05 වැනි දිනට එම පක්ෂයට වසර 53ක් සපිරේ. එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප.ය එයට වඩා තවත් වසර ගණනකින් වැඩිමහල්ය. පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ළාබාලම පක්ෂය වේ. නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, පෙරටුගාමී පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජනරජ පෙරමුණ වසයෙන් වෙන වෙනම සිටින පක්ෂවල කැපීපෙනෙන නායකයන් විනා විශාල මහජන බලයක් ඒකරාශී වී ඇතැයි සිතිය නොහැක. මේ වනවිට ශ්‍රී ල.නි.ප.ය තුළ ද අවුල් ජාලයකි. එහි සාමාජිකත්වය හා තනතුරු සම්බන්ධ අර්බුද අධිකරණයට පවා ගොස් තිබේ. ශ්‍රී ල.නි.ප.යේ බව සඳහන් නිමල් සිරිපාල, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න මේ ආණ්ඩුවේ ඇමැති හා රාජ්‍ය ඇමැතිධුර දරති. එහි දුමින්ද දිසානායක ද ආණ්ඩුව සමගය. දයාසිරි වෙනමය. සභාපති ලෙස සිටින මෛත්‍රී එ.ජා.ප.යට මෙන්ම පොදුජන පෙරමුණට ද එරෙහිව සිටියි.

මේ හැර මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ පක්ෂ 80කට වැඩි සංඛ්‍යාවක් ද ඇත. ඇතැම් පක්ෂයක් කිසි දිනක ප්‍රාදේශීය මැතිවරණයකින් හෝ තරග වැදී නැත. මේ බොහෝ පක්ෂ මෙන්ම විවිධ සිවිල් සංවිධාන ද සීමා වී තිබෙන්නේ මාධ්‍ය සාකච්ඡාවලට විරෝධතා ව්‍යාපාර වැනි දේවලට පමණි. වෘත්තීය සංවිධාන ලෙස ප්‍රබලව සිටින ඒවා ද දේශපාලන අනුග්‍රහය ලබන බව කවුරුත් දනිති. විශ්ව විද්‍යාල සිසු ප්‍රජාව අන්තරේ ලෙස ද සමාජ දේශපාලන මෙහෙයුම්වලට මැදිහත් වෙති. මෙයින් පැහැදිලි වන්නේ තවමත් මෙරටේ දේශපාලනය තුළ තිබෙන කිසියම් සංකීර්ණත්වයකි. ඇතැම් විටෙක කිසියම් කාලයක් ආණ්ඩුවකට සම්බන්ධව සිටීම හැර පොදුවේ මේ බොහෝ දේශපාලන ව්‍යාපාරවලට ප්‍රබල ජනපද නමක් ගොඩනඟා ගැනීමට ද නොහැකිව ඇත. මේ දේශපාලන ප්‍රවණතා හා ප්‍රතිචාර පිළිබඳ වෙනම දීර්ඝව විමසා බැලිය යුත්තකි. මෙබඳු ලිපියක දී ඒ සඳහා ඉඩක් නැත.

අද ලංකාවේ දේශපාලනය තුළ තිබෙන කැළැඹීම්, උච්චාවචනයන් සියල්ල සමග මේ බොහෝ නායකයන්ගේ ප්‍රතිචාර ද අපට දැක ගත හැකිය. එසේ වුවද එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඒ සංවිධානවලට කළ හැක්කේ සීමිත බලපෑමක් පමණි. අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයක දී වුවද ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයෙහි සෑහෙන වර්ධනයක් සිදු විය හැකිද යන්න ප්‍රශ්නයකි. අප එකඟ වුවත් නැතත් මේ වනවිට දේශපාලන භූමිය සකස්ව තිබෙන්නේ ස.ජ.බ. හා ජා.ජ.බ. යන කණ්ඩායම් දෙක කේන්ද්‍ර කර ගනිමින්ය. මෙතෙක් දේශපාලන බලය රඳවා ගත් ප්‍රභූ තන්ත්‍රය නියෝජනය කරනු ලබන එ.ජා.ප. , ශ්‍රීල.නි.ප. පමණක් නොව පොහොට්ටුව ද ඒ කඳවුරුවලට පරිබාහිරව සිටියත් ඔවුන්ගේ ජන බල ශක්තිය දුර්වලය. මෙයින් කෙරෙන දේශපාලන ඇඟවීම ඔවුන්ගේ කඳවුර මිය යමින් තිබෙන බවය. ඒ සම්ප්‍රදායත් ඒ ප්‍රභූ තන්ත්‍රයත් බිඳ වැටෙමින් තිබෙන බවය. එ.ජා.ප.යට සිය පැවැත්ම සඳහා කළ හැකි එකම දෙය ස.ජ.බ.ය හොඳින් හෝ උපක්‍රමශීලීව තමන් යටතට ගැනීමය. එය සමගියක් විය හැකිද? ස.ජ.බ.යේ තවත් මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට දැන් තිබෙන ඉඩකඩ ද අඩුය. ස.ජ.බ. නායක සජිත්ගේ උත්සාහය මෙන්ම ක්‍රියාකාරිත්වය තුළින් ඔහු රටට පෙන්වන්නේ තමන් වෙනම දේශපාලන මතවාදයක් සහිත කණ්ඩායමක් බවය. එය ධනවාදී හා පැරණි එ.ජා.ප.යේ අලුත් මුහුණක් නොව පොදුජන හිතවාදී, දේශපාලන ව්‍යාපාරයක් බව ඔහු අවධාරණය කරයි. එසේම ස.ජ.බ.යට අනුව ජා.ජ.බ. අනුර කුමාර කණ්ඩායමට බලය ලබාදීම කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. ස.ජ.බ. වේදිකාව වැඩි වසයෙන් යොදා ගනු ලැබ ඇත්තේ ද ජ.ජ.බ.යේ සියලු ක්‍රියාකාරකම් හෙළා දැකීමටය. සමහරුන්ගේ විවේචනය වී ඇත්තේ අනුර කුමාරගේ ඇඳුම් පැලඳුම් ය. ඔහු ටයි කෝට් ඇඳීමය. මේවා සාධනීය විවේචන දැයි බොහෝ අය ප්‍රශ්න කරති. ස.ජ.බ. වේදිකාවල ප්‍රතිපත්තිමය විවේචන ඉතා අඩු බවද පෙනේ.

දෙස්පාලන සද්දය සහ අවුරුදු නැකැත් යුද්ධය!

පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව අද ලෝකයේ බොහෝ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන අය වෙති. එහෙත් ජනතාවට ප්‍රජාතනත්‍රවාදයේ හරය හා ජීව ගුණය පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති වීම නිසා මේ නායකයන්ට සිය කැමැත්ත ලබාදීමට ජනතාවට සිදුව ඇතැයි ද එහි දැක්වේ. වත්මන් ජනාධිපති රනිල් ප්‍රකටව සිටියේ ලිබරල් ප්‍රතිපත්ති අගයන්නකු ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, විධායකයේ බලය ව්‍යවස්ථාදායකයට ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව වුවද අද ඔහු සිටින්නේ ඒ සියල්ලට පටහැනි දේශපාලනයක නොවේද? ඔහු නායකත්වය දරන මේ ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය සීමා කෙරෙන අණපනත් සම්මත කිරීමට මෙන්ම මැතිවරණ කල් දැමීමට ද ක්‍රියා කළ බවට ප්‍රබල විවේචනයක් තිබේ. එදා රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ ජාතිකත්ව කඳවුරේ අංක එකේ පසමිතුරාව සිටි මේ ජනාධිපති රනිල් අද ඔවුන්ගේ ගජමිතුරු දේශපාලනය වෙනුවෙන් ද ක්‍රියා කරන්නෙක් බවට පත්ව සිටියි. ‘වැඩකරන අපේ විරුවා’ ගෙදර යැවූ විරෝධතාව තුළින් බලයට පත්වූ රනිල්ගෙන් සංකේතවත් වූයේ ද මේ දේශපාලනයේ සරදම් විලාසය නොවේද? පොහොට්ටුව තුළ ම රනිල් සමග ඉදිරියට යා යුතු යැයි කියන කැපී පෙනෙන චරිත කීයක් තිබේද? කුමක් වුවත් ස.ජ.බ., ජා.ජ.බ. සමග ප්‍රභූ කඳවුර වෙනුවෙන් සටනට එන රනිල්ට ලැබෙන ජන ප්‍රසාදය එළැඹෙන ජනාධිපතිවරණය උඩුයටිකුරු කිරීමට සමත් නොවන්නක් බව දැනට තිබෙන තත්ත්වයයි. මෙයට තිබෙන එකම විකල්පය මහ මැතිවරණය බව පොහොට්ටුව කල්පනා කළත් එහිදී වුවත් පැරණි පක්ෂවලට තීරණාත්මක බලපෑමක් කළ නොහැකි වන බවද හැඟේ. රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ ප්‍රභූ දේශපාලනයේ පැවැත්ම සඳහා සිදු කෙරෙන මහ මැතිවරණය මුලට ගැනීමෙන් හෝ ඒ ගමනේ අවසානය වළක්වා ගත නොහැකි වනු ඇත. දැනට තිබෙන දේශපාලන පසුබිම තුළ මෙතෙක් පැවැති දක්ෂිණාංශික හා ප්‍රභූ තාන්ත්‍රික දෘෂ්ටිවාදයෙන් වඩාත්ම නිදහස් කණ්ඩායම ජා.ජ.බ. බවද පෙනේ. මධ්‍යම පන්තිය ඇතුළු පොදුජන කොටස්වලට ද ජා.ජ.බ. විසින් කරනු ලබන ආමන්ත්‍රණය ප්‍රබලය. මධ්‍යම පන්තියත් කාන්තා ප්‍රසාදයත් ඔවුන්ට ලැබෙමින් තිබේ. එහෙත් පවතින ආර්ථික අර්බුදය ජා.ජ.බ.යට ද ලේසියෙන් මුහුණ දියනොහැකි බවද ඔව්හු වටහා ගතයුතු වෙති. අපට හැඟෙන ආකාරයට නම් ස.ජ.බ., ජා.ජ.බ. මෙන්ම ඒ කණ්ඩායම් දෙක සමග සටන් වදින රනිල්ට වුවද ජනාධිපතිවරණය මහ මැතිවරණය යන දෙක ම අතිශය තීරණාත්මකය.

දැන් අපි එළැඹෙන අලුත් අවුරුද්ද වෙත අවධානය යොමු කරමු. මෙවර අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් ද නැකැත් මුල් කරගත් විවාදයක් තිබේ. ඒ අතින් බලනවිට සූර්යයා ඇතුළු ග්‍රහයන් පිළිබඳ විවාදයක් දේශපාලන ග්‍රහයන් සම්බන්ධ විවාදවලට වඩා වෙනසක් නැත. රජයේ නැකැත් කමිටුව හා විකල්ප නැකැත් කමිටුවල අවධානයට ලක්ව තිබෙන නැකැත් යුද්ධයට අපි මැදිහත් නොවන්නෙමු. සාමාස්‍යයෙන් ජ්‍යොතිෂය යනු විවාදාත්මක විෂයකි. අපි ජ්‍යොතිෂය විශ්වාස කරමු. එහෙත් ජ්‍යොතිෂඥයන් විශ්වාස නොකරමු’ යන ප්‍රකට අදහසක් ද ඇත. ජ්‍යොතිෂය හා තාරකා ශාස්ත්‍රය හැදෑරූ කිසියම් විද්වතෙක් එලෙස ප්‍රකාශ කර තිබේ.

“නැකැත් වැළඳගත් මෝඩයාගේ කටයුතු අත පසුවේ. වැඩය ඇරඹීම නැකැත වේ. තාරකාවෝ කුමක් කරත් ද?”

(අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සති තාරකා?)

මේ නැකැත් පිළිබඳ බුදුන් වහන්සේ විසින් කරන ලද විග්‍රහයෙන් වුවද නැකැත් ප්‍රතික්‍ෂේප කර නැති බවද කිව යුතුය. බොහෝ විට සංස්කෘතික අංග ආගම්වලට ද එකතු වේ. ආගමේ මූලික පදනමට හානි නොවන සිරිත්, සම්ප්‍රදායන් ආගමට එක්වීම වරදක් නොවන බව බුදු සමය පිළිගනී.

(කාලාම සූත්‍රය විමසා බලන්න.) බෞද්ධ ඉතිහාසය සමග විවිධ උත්සව සම්බන්ධ වී ඇත. පුද පූජා උත්සව පෙරහැර ආදිය විවාදාත්මක වුවද ආගම්වලට ඒවායින් හානියක් නොවන බවට පොදු පිළිගැනීමක් ඇත. දාර්ශනික අරුතෙන් ගත්විට සසරින් එතෙර විය හැක්කේ ධර්මාවබෝධය තුළින් පමණි. එසේ වුවද මානව ශිෂ්ටාචාරයත් සංස්කෘතියත් විචිත්‍ර කෙරෙන දේ සුරැකිය යුතු බව අවිවාදිතය.

අලුත් අවුරුද්ද මේ සම්බන්ධයෙන් විශිෂ්ටම නිදසුන වේ. සිංහල අලුත් අවුරුද්ද ලෙස ප්‍රකට වූ මෙම සංස්කෘතික අංගය සමග බැඳුණු ආගමික ක්‍රියාකාරකම් ද වේ. මේ අවුරුදු ඉතිහාසය තරමක් දීර්ඝ එකකි. එසේම සූර්යා මුල්කරගත් සංස්කෘතික ක්‍රියාකාරකම් දෙමළ හින්දු ජනතාව අතර ද වේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද යන යෙදුම පසු කාලීනව මෙයට එක් වූවක් බව කියති. එය සදොස් බවට විවාදයක් පැන නැඟුණි. සිංහල ජනවර්ගයකි. හින්දු දෙමළ ජනවර්ගයේ ආගමික විශ්වාසයයි. මේ නිසා සිංහල දෙමළ අලුත් අවුරුද්ද භාවිතයට ගැනුණි. සිංහලයන් බොදු සිත් අනුව ද දෙමළ අය හින්දු විශ්වාස මුල් කර ගනිමින් ද මේ උත්සවය පැවැත්වීම අද දැකගත හැකිය. අවුරුද්ද සිංහල ද දෙමළ ද යන්න ජාතිවාදී හා ආගම්වාදී වසලයන්ට ප්‍රධාන වුවද අප මෙය දකින්නේ සිංහල බෞද්ධ සංස්කෘතියත් දෙමළ හින්දු සංස්කෘතයත් වෙන වෙනම අර්ථවත් කෙරෙන මෙරටේ විශිෂ්ටතම උළෙල ලෙසය. අවුරුදු කැවිලි, අවුරුදු කෙළි සෙල්ලම් ඒ සංස්කෘතියේ අනන්‍යතාව අනුව භාවිතයට පැමිණි දේවල්ය. අවුරුද්ද කෘෂිකර්මය හා ජලය සමග බැඳී තිබේ. වප් මහට සිදුවන ගොවිතැන්වල අස්වනු ගෙට එන්නේ බක් මහේදීය. බක්මහට වැසි වැටෙයි. ගං හෝ පිරෙයි. සොබාදහම වසන්ත මංගල්ලයට සැරසී සිටින්නාක් මෙනි.

එදා මෙරටේ තිබුණු අවුරුදු අසිරිය කෙබඳු දැයි අද අපට දැනගත හැකි වන්නේ ජනකවි හා පැරණි සාහිත්‍යයෙහි එන විස්තරවලිනි. අවුරුදු ඉතිහාසය පොලොන්නරු යුගය තෙක් යන බවත් පසුව රොබට් නොක්ස් ද ඒ ගැන සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. සීගිරි කැටපත් පවුරෙහි “නව බග සඳ බැලීම” නමැති හෙළ අවුරුදු සිරිත ගැන දැක්වෙද්දී ප්‍රාග් ඉතිහාසය ගැන විමර්ශන කළ විද්වත්හු එහි උපත වසර තුන්දහසකට වඩා පැරණි බව ද පවසති. අවුරුදු මාලය නමැති කවි පොතට අවුරුද්ද ගැන පැදි 79ක් අතුළත්ව තිබේ.

“බලා නැකැත් ළිප ගිනි මොළවන් නේ
බලා නැකැත් අහර උයන් නේ
බලා නැකැත් ඉවු අහර බුදින් නේ
බලා නැකැත් වැඩපල අල්ලන් නේ”

අවුරුදු මාලය කියවන නූතන පාඨකයකුට මේ ජාතික සංස්කෘතියෙහි විචිත්‍රත්වය මෙන්ම ආඪ්‍යත්වය ද පසක් වනු නිසැකය. නූතන කවියන් හා ගීත රචකයන් විසින් ද අවුරුදු ගී රැසක් අපට පිරිනමනු ලැබ ඇත. අමරදේවයන් ගයන, මහගමසේකරයන් විසින් ලියන ලද ‘නීල කොබෙයි රෑන ඇදී වී අහුලන ඉපනැල්ලේ’ ගීතය මෙන්ම මොහිදින් බෙග් ගයන ‘ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා’ (කරුණාරත්න අබේසේකර) අදත් විද්‍යුත් මාධ්‍යවලින් අපට ඇසෙයි. මෙබඳු ගී හා කවි තවත් සිය දහස් ගණනක් තිබෙන බව පමණක් සඳහන් කරමු.

කෙසේ හෝ මෙම අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍ර නැකතකට සිදුවීමත් විශේෂයෙන් එකම වේලාවක ළිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම සමාජ විද්‍යාඥයන් විසින් දක්වනු ලබන්නේ කිසිදු මානව සංස්කෘතියක එබඳු සාමූහික සම්මුතියක් නොමැති බවය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එළැඹීම අවුරුද්දේ ආරම්භයයි. වේලාසනින් ළිප නිවූ ගෘහණිය යළිත් ළිප බැඳ නැවුම් හැළියක කිරිබත් පිසීම අකුරට නැකතටම සිදු කරන්නකි. මෙය ගම් නුවර හැම තැනකම ඒ ආකාරයෙන්ම සිදු කිරීම අදත් දැක ගත හැකිය. මෙබඳු පොදු ක්‍රියාකාරකම් අද අභාවයට යමින් ද තිබේ. එසේම සිංහල බෞද්ධයන් මෙන් දෙමළ හින්දූන් අවුරුද්ද උත්සවාකාරයෙන් සැමරීමක් නැති බවද කියති. සිංහල අවුරුද්ද සිංහල හින්දු අවුරුද්ද යන යෙදුම යටත් විජිත පාලකයන්ගේ නාමකරණයක් ලෙස ද සඳහන් වේ. මේ විවාදාත්මක කරුණු වෙනම සාකච්ඡා කළ යුතුය. කුමක් වුවත් සිංහල අවුරුද්ද සශ්‍රිකත්වයේ හා සංස්කෘතික ආඪ්‍යත්වයේ සංකේතයකි. දෙමළ හින්දූන් සමග මේ සංස්කෘතික සැණකෙළිය සිදු කිරීමේ කිසිදු බාධාවක් ද නැත. එහෙත් ජාතිය, ආගම මිනිස් සිත් තුළ වෛරය හා කෲරත්වය තීව්‍ර කරන දේශපාලනඥයන්ට නම් එය ගැටලුවක් විය හැකිය.

කෙසේ හෝ මේ එළැඹෙන අලුත් අවුරුදු උත්සවය ජනතාවට සිත් සේ සතුටු විය හැකි අවස්ථාවක්ද? දැනට වසර දෙක තුනක්ම විවිධ හේතු නිසා අවුරුදු උත්සව සිදු වුවද ඒ ඉතා අඩුවෙනි. ගොවියන්, කම්කරුවන් මෙන්ම වෘත්තිකයන් ආර්ථික අර්බුදයක හිරවී සිටින පසුබිමක අවුරුදු උත්සවය ද අභියෝගයකි. ඒකපුද්ගල ආදායම රු. 18350ක් ලෙස ගණනය කර තිබේ. භාණ්ඩ මිල ද පහළට එන බව කියනු ඇසෙයි.

සංස්කෘතික මංගල්ලයකට උචිත මානසිකත්වය ද බොහෝ අයට නැත. අත මිට හිඟය. ජීවන රටාව අභියෝගයකි. එසේම බතක් නොඉදෙන පැල් පමණක් නොව, මධ්‍යම පන්තිය ද සිනා පොදක් නැති පසුබිමක එව, කව, බොව යන තෙපුලෙන් පිරුණු අවුරුද්දක් කෙසේ පතමුද? දේශපාලනඥයන් විසින් මේ ජාතික සංස්කෘතික ආඩම්බරය සුරැකීම සඳහා කටයුතු කළ යුතුය. අවුරුදු සිරිතක් ලෙස එන බතින් බුලතින් සංග්‍රහ කිරීම ගැනත් එයට පිටුපෑම ගැනත් ජනකවියා ලියූ මේ කවියට වඩා වෙන සඳහනක් තිබිය නොහැක.

හානා හීය පානා අඬහැරෙන් දැනේ
ගහේ කැපුම ගහයට පෑදුමෙන් දැනේ
මිනිහා නොමිනිහා යන ගමනින්ම දැනේ
අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment