ඉන්දියාවේ පිහිටි කයිලාස් මන්දිරය යනු සංචාරකයන් ගේ සිත් දිනාගත් පුදුම වාස්තු නිර්මාණයකි. එල්ලෝර්වල පිහිටා තිබෙන මෙම පූජ්‍ය ස්ථානය තනි කළු ගලෙන් කොටවා තිබෙන්නකි. පිහිටි ගලේම නෙළන ලද එයින් මතු කර ගන්නා ලද එවැනි නිර්මාණයන් ලෝකයේ ඇතොත් ඒ අතළොස්සකි. නැති තරම්ය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ වාස්තු නිර්මාණයන්ද අප රටට ආවේණික වෙයි. කුඩා රටක් වුවද එහි භූමියට සාපේක්ෂකව පිහිටා තිබෙන පුරාණ ගොඩනැඟිලි සංඛ්‍යාව අති මහත්ය. විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පිහිටා තිබෙන වාස්තු නිර්මාණයන් බහුතරයක් බෞද්ධ ස්මාරකයන් වෙති. කාලයේ වැලි තලාවට යට වී නොයෙකුත් ව්‍යාකූලත්වයන්ට අසුවී විනාශ මුඛයට ඇද දමා ඇති මෙම බෞද්ධ ස්මාරකයන් රැක ගැනීමේ වැඩපිළිවෙළක් වර්තමානයේ කිසිම ආණ්ඩුවකට තිබුණේ නැත. ජාතික උරුම විෂය භාර දේශපාලනඥයන් සහ නිලධාරීන් මේ වාස්තු නිර්මාණ පිළිබඳ දක්වන නොසැලකිල්ල සහ උදාසීනත්වය ඇදහිය නොහැකි තරම්ය.

ආනන්ද ශාස්ත්‍රාල භූමියේ පිහිටි මිහිරි ලෙන

මෙම පූර්විකාව ඉදිරිපත් කිරීමට හේතුව ඉන්දියාවේ කයිලාස් මන්දිරය හා සමාන පුරාණ ස්මාරකයක් වර්තමානයේ දී පත්වී තිබෙන ශෝචනීය ඉරණම දක්වන්නටයි. එය පිහිටා තිබෙන්නේ උතුර හෝ නැගෙනහිර හෝ උතුරු මැද පළාතක නොවේ. ලංකාවේ අගනුවර වන කොළඹ සමීපයේය. එසේම කොළඹ කෝට්ටේ ප්‍රසිද්ධ පාසලක ගෙමිදුලේය. මේ නිසාම මේ වාස්තු නිර්මාණය පිළිබඳ දක්වන උනන්දුව ඉතාමත් අල්ප බව කිව යුතුය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය යනු මුල් යුගයේ බිහි කරන ලද ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසලකි. එකල සියලුම බෞද්ධ පාසල් ආරම්භ කරන්නට යෙදී ඇත්තේ විහාරස්ථාන ආශ්‍රිතවයි. විහාරගමේ ඉඩකඩම් වල සුළුවට පටන් ගත් පාසල් ගොඩනැඟිලි පසු කාලයේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව රජයට අයත් විය. කෝට්ටේ රජ මහා විහාරයේ පැරණි පොහෝ සීමාව පිහිටි ප්‍රදේශයේ ආරම්භ කරන ලද මෙම පාසල එලෙසම අද රජයේ පාසලකි. මෙම පාසල ඉදිරිපිට කාලයක් තිස්සේ කොළ රොඩුවලින් පිරුණු කසළ බැහැර කළ ස්ථානයක් විය. ඒ තැන යම් උමගක ද්වාරයක් වැනි විවරයක් ඉහළට එසවී තිබුණි. කෝට්ටේ රාජධානි සමයේ දී පිටකෝට්ටේ සිට කොට්ටේ ඇතුල් නුවරට ගමන් කිරීමට සමත් උමග පිහිටියේ මෙතැන බවට ප්‍රවාදයක් විය. නුමුත් ඒ අදහස මේ වන විට වෙනස් වී තිබේ. 2014 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයේ කරන ලද කැණීම් නිසා මතු කරගත් නශ්ඨාවශේෂ මගින් ලංකාවේ පවතින එකම භූගත බෞද්ධ ස්මාරකය පිළිබඳ තතු හෙළිදරව් වී තිබේ.

මෙම කැණීම මගින් භූගත කුටියක් සහ කුඩා ප්‍රමාණයේ තුන්මහල් පේසාව සහිත ස්ථූපයක් මත කර ගේ ඇත. ස්ථූපයේ විෂ්කම්භය මීටර් 4.50 කි. මෙම ස්ථූපයට වහළක් සවි කර ඇති බව පෙනෙනේ. කුඩා ප්‍රමාණයේ උලු කැට රාශියක් ඒ අවටින් හමුවන බැවිනි. ඊට අමතරව වහලේ කණු රැඳවීමට අවශ්‍ය සිදුරු කීපයක් පේසාවට ඉහළින් පෙනෙන්නට තිබේ. භූගත කුටියට ප්‍රවිශ්ඨ වීමට ඇත්තේ ඒකම දොරටුවකි. දොරටුව ඉදිරියෙන් කබොක් බිත්තියේ කවුළුවකි. මේ කවුළුව භාවිතා කර තිබෙන්නේ පහන් දැල්වීමටයි. පහනෙන් නිකුත් වන ආලෝකය කුටිය තුළට වැටීමට සලස්වා ඇත. කුටිය තුළ මැද සරල කැටයම් සිහිත කබොක් කණුවකි. එක් පුද්ගලයකුට පහසුවෙන් එහි විසිය හැකි වන පරිදි කුටිය නිමවා තිබේ. මෙහි විශේෂය නම් එල්ලෝරයේ කයිලාස් ගොඩනැඟිල්ලේ ඇති අන්දමටම තනි කබොක් පොළවේ කුටිය සහ ස්ථූපය මතු කරගෙන තිබීමයි. මෙවැනි නිර්මාණයක් එනම් කබොක්වලින් නිර්මාණය කරන ලද භූගත ස්ථූපයක් ලෝකයේ කිසි තැනක දක්නට නොමැති බව කිව යුතුය. 2014 -16 දක්වා කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරීන් වන ලක්මාලී වීරසිංහ සහ සේනක චන්ද්‍රකුමාර ඇතුළු පිරිස විසින් මතු කරගත් මෙහි සැබෑ ස්වභාවය තුළ ජල ටැංකියක්ද මෙම භූගත කුටියට බසින පඩිපෙළක්ද හඳුනාගෙන ඇත. චීන පෝසලෙන් භාණ්ඩ සහ විවිධ වර්ගයේ රතු කහ මැටි බඳුන් මෝස්තර සහිත උළු කැට කැබලි සියල්ල මගින් මෙහි ඉතිහාසය විචිත්‍රවත් කිරීමට සාක්ෂි සපයයි. කැණීමෙන් හමු වූ පුරාවස්තු දැනට කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ තැන්පත්ව ඇත.

පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම නිර්මාණයේ වැදගත් කම අගය කළ නොහැකිය. නමුත් මෙහි ඉතිහාසය සොයන්නෙකුට මෙයින් මතු කරගත හැක්කේ වටිනා අපූරු කතාවකි. කෝට්ටේ සයවන පරාක්‍රමබාහු රජුට දාඨාවංශ රන් මැණිකේ කීරවැල්ල නම් අග බිසවක් විය. ඇය ගර්භණී අවස්ථාවේ දී මතු වූ අසාධ්‍ය රෝගයක් විය. ඉන්දියාවෙන් බමුණන් පවා ගෙන්වා ප්‍රතිකාර කළද අසනීපය සුව අතට ආවේ නැත. කෙසේ වෙතත් ඇය අවසානයේ මියයන විට රජුට දරුවකු නොවීය. මෙම රන් මැණිකේ බිසවට බාල තවත් නැඟණියක් විය. ඇය නමින් මධුරා නොහොත් මිහිරි කුමරිය විය. රජුත් ඇයත් අතර විශාල වයස් පරතරයක් තිබුණද දරුවන් හැදීමේ වුවමනාව නිසා මිහිරි දේවිය විවාහ කර ගැනීමට රජුට සිදු විය. මේ විවාහය නිසා ලෝකනාථා දේවිය සහ චන්ද්‍රවතී නම් දියණියන් දෙදෙනකු බිහි විය. චන්ද්‍රවතී කුමරිය බාල වියේ දීම මියගියේය. ඒ අතර මිහිරි දේවියට තවත් දරු සම්පතක් ඇති වන බව නැකත්කරුවන් ප්‍රකාශ කළ අතර ඒ දරුවා පිරිමි දරුවකු බවටද අනාවැකියක් විය. මේ පිළිබඳ රජු ප්‍රීතියට පත් වුවද මිහිරි දේවියගේ එක් දියණියක් බාල වියේදීම මියගිය බැවින් යම් පරිස්සමක් අවශ්‍ය බව රජු කල්පනා කළේය. මීළඟ රාජ්‍ය උරුමය මේ බිහිවන පුත්‍රයා මත පවතින බැවින් වඩාත් පරිස්සම් කළ යුතු විය. ඒ සමයේ විදේශීය ද්‍රවිඩ බලපෑම් දැඩිව එල්ල වූ සමයකි. මේ නිසා රජුගේ අනු දැනුම ඇතිව මිහිරි දේවිය සඟවා තබා දරුවා බිහි කර ගැනීමට උපක්‍රමයක් යෙදිය යුතු විය. ඈත පළාතකට ගෙන ගොස් ආරක්ෂා කළ හැකි වුවද එයටද කාලය හරස් විය. ඒ නිසා රාජධානියේ විවිධ තැන් වල සිටි කබොක් වඩුවන් ගෙන්වා ගත් රජු කෝට්ටේ රජ මහාවිහාරය සමීපයේ භූගත කුටියක් නිමවන ලෙසට අණ කළේය. මිහිරි දේවිය කීරවැල්ලේ කුමරියකි. දළදා වහන්සේ ගේ උරුමය ඇයට තිබේ. මේ නිසා භූගත කුටිය අසලම දළදා වහන්සේ තැන්පත් කිරීමට හැකි ස්ථූපයක් තනවන ලෙසටද රජුගේ අණ විය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අසල මේ නිර්මාණය බිහි වූයේ එලෙසයි. මිහිරි දේවිය මෙම කුටියේ වාසය කරමින් නිති දළදා වන්දනයද කරමින් සුවසේ දරුවා බිහි කළේය. මේ දරුවාට නම් තබන ලද්දේ ශ්‍රී වර්ධන යනුවෙනි. කැකුළන්දොල ශ්‍රීවර්ධන ප්‍රතිරාජ යනුවෙන් රාජාවලියේ දක්වා තිබෙන්නේ මේ කුමරු ගැනයි. එතැන් සිට මිහිරි දේවිය වාසය කළ මේ කුටියට මිහිරි ලෙන යන නාමය යෙදුණේය. පසුව මිරිහාන නාමය භින්න වී ආවේ මේ මිහිරි යහන නිසාය.

ආනන්ද ශාස්ත්‍රාල භූමියේ පිහිටි මිහිරි ලෙන

ලංකාවේ වාස්තු නිර්මාණ සම්ප්‍රදායට අයත් මේ අගනා භූගත කබොක් ස්මාරකය වර්තමානය වන විට පුරාවිද්‍යා සංරක්ෂණයෙන් බැහැරව හුදකලාව පවතී. පාසල ඉදිරිපිට තිබෙන බැවින් පිටස්තර පුද්ගලයන් හට මෙය නැරඹීමට අවස්ථාවක් නැත. එයට බාහිරව පිවිසීමට හැකියාවක්ද නැත. පාසලේ ගේට්ටුව සාදා තිබෙන්නේ එයට යා කරමිනි.

මෙම ස්මාරකයට ඉහළින් පියස්සක් තැනීම පුරාවිද්‍යාවේ කාර්ය භාරයයි. එසේත් නැතිනම් මධ්‍යම සංස්තෘතික අරමුදලේ දායකත්වය ලබා ගත යුතුය. නමුත් එයට වැය කළ යුතු ධනස්කන්ධය සුළු පටු නොවේ. පුරාවිද්‍යා සංරක්ෂණයට අද වන විට වැය කරන රාජ්‍ය මුදල් ප්‍රමාණයන් ඉතාමත් අල්ප වෙති. ඒ නිසා ලෝකයේ නන් දෙස විසිරී සිටින බෞද්ධ පිරිස් මෙම අගනා නිර්මාණය රැක ගැනීමට උනන්දු විය යුතු යැයි සිතමි. මන්ද රටේ ආර්ථිකය නැන්වීමට සංචාරකයන් අද්දවා ගැනීම අනිවාර්ය බැවිනි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment