අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා රිටිගල ජනතාව මොරගොඩ බීට්ටු වනජීවී කාර්යාලයට කඩාපනිති

127

දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස ඒරුවැව සිට හුරුළුවැව මැදගල දක්වා ඉදිකිරීමට යෝජිත විදුලිවැට කඩිනමින් ඉදිකර දෙන ලෙසට බල කර සිටිමින් අනුරාධපුර රිටිගල වනජීවී කලාපයට අයත් ගම්මාන රැසක ජනතාව පෙරේදා (22) වනජීවී දෙපාර්තමේන්තුවේ මොරගොඩ බීට්ටු වනජීවී කාර්යාලය තුළට කඩා වැදී විරෝධතාවක නිරත වූහ.

මීට වර්ෂ කීපයකට පමණ පෙර යෝජිත විදුලි වැට ඉදිකිරීමට අවශ්‍ය කරන උපකරණ ගෙනැවිත් මොරගොඩ බීට්ටු වන ජීවි කාර්යාල භූමිය තුළ ගොඩ ගසා තිබුණද එම විදුලි වැට ඉදි කිරීම පසෙකලා එම උපකරණ වෙනත් ස්ථානයක විදුලි වැටක් ස්ථාපනය කිරීමට රැගෙනයෑමේ උත්සාහයක් පවතින බවත් විරෝධතාකරුවෝ චෝදනා කර සිටිති.

රිටිගල වනජීවි කලාපයේ මොරගොඩ, වන්නම්කුලම, කවරක්කුලම හා මානන්කට්ටිය ඇතුළු ගම්මාන රැසක ජනතාව මෙම විරෝධතාවයට එක්වූහ.

ජාතික ගොවිජන එකමුතුව සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් යෝජිත විදුලි වැට ඉදි කරන නිශ්චිත දිනයක් වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගෙන් දැන ගැනීම සඳහා එහි ගිය අතර වනජිවී කාර්යාලයේ බීට්ටු වනජීවී නිලධාරියා නිවාඩු ලබා තිබීම නිසා ඒ වෙනුවට එම කාර්යාලයේ සිටි වැඩබලන නිලධාරියාගෙන් සිය ගැටලුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් විරෝධතාකරුවන්ගේ විරෝධතාවය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්හ.

මේ අතර යෝජිත විදුලිවැට ඉදි කිරීමට රුපියල් ලක්ෂ ගණනක් වැය කොට ගෙනැවිත් බීට්ටු වනජීවී කාර්යාල භූමියේ විදුලි වැටට සවිකරනු ලබන කළු තෙල් ගැල්වූ දැව කණු තොගයක් ගොඩ ගසා තිබෙන අයුරු දක්නට ලැබිණි.

මේ අතරතුර එම ස්ථානයට පැමිණි මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විරෝධතාකරුවන් පාලනය කිරීමට ගත් උත්සාහයේදී පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූහ. අනතුරුව විරෝධතාකරුවන් වනජීවි කාර්යාල භූමියෙන් පිටව ගොස් කැකිරාව ගලෙන්බිඳුණුවැව ප්‍රධාන මාර්ගය අවහිර කිරිමට උත්සාහ කළ මුත් පොලිස් නිලධාරින් විසින් එය වැළැක්වීමට පියවර ගත්හ.

ඉන්පසු නැවතත් බිට්ටු වනජීවී කාර්යාල භූමියට ගිය විරෝධතාකරුවන් සහ වනජීවි නිලධාරින් අතර උණුසුම් සංවාදයක් පැවති අතර එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැමිණ තමන්ට යෝජිත විදුලි වැට ඉදි කරන දිනයක් දැනුම් දෙනතුරු ඉන් පිටව නොයන බවයි.

පසුව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට දුරකථන ඇමතුමක් ලබා ගත් අතර එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ අදාළ ගැටලුවට ඉදිරියේ කඩිනම් විසඳුමක් ලබා දෙන බවයි. අනතුරුව විරෝධතාවය නතර කොට විරෝධතාකරුවන් ඉන් පිටව ගියහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment