දහස් ගණන් අමාරුවේ දැමු රට රස්සා ජාවාරම

172

‘‘වෙනුෂ් ලැන්ග්වේජ් ඇකඩමි” කුරුණෑගල මල්කඩුවාව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන විදේශ සේවා ආයතනයකි. මෙහි කළමනාකාරිය වශයෙන් කටයුතු කරන්නේ ස්ත‍්‍රියකි. අපි ඇය කුමාරි ලෙස හඳුන්වන්නෙමු. මිනිසුන් විදේශීය රටවලට යනවාට වඩා ඇයගේ එකම උත්සාහය වනුයේ ඔවුන් රවටා වංචනික ලෙස මුදල් ලබාගැනීමයි.

මෙම විදේශ සේවා ආයතනය මගින් ජපන් උපකාරක සේවා පන්තියක් පවත්වාගෙන යයි. ඔවුන් එලෙස එම පන්තිය පවත්වාගෙන යන්නේ ජපන් යෑම සඳහා අවස්ථා ඇති බව පවසමින්ය. ඒ අනුව එම උපකාරක පන්තිය සඳහා බොහෝ පිරිස් සහභාගි වෙති. එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන්ට එලෙස රැකියා නොමැත.

කුමාරි නමැති එම ගැහැනිය සිදු කරන්නේ එලෙස ජපන් රැකියා අවස්ථා ඇති බව පවසමින් මිනිස්සුන් රවටා වංචනික ලෙස මුදල් ඉපයීමයි. ඇය එලෙස මිනිසුන් රවටා ලක්ෂ ගණන් වලින් මුදල් උපයයි. වසර ගණනක සිට ඇය මෙම ජාවාරම සිදු කර ගෙන ගියාය. සමහරු ඇයට මුදල් ලබා දුන්නේ ගෙවල් දොරවල් පවා උගස් කරමින්ය.

සපත් බණ්ඩාර දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු ජපන් යෑම සඳහා මෙම විදේශ රැකියා ආයතනයට ලක්ෂ 8 ක මුදලක් බැඳ තිබුණි. ඒ මාස කිහිපයකට ඉහතදීය. එහෙත් ඔහුට ජපන් යෑමට අවස්ථාවක් නොලැබුණි. ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදීම ඇය කුමාරි නමැති ගැහැනියගෙන් ඒ පිළිබඳව විමසුවේය. එහෙත් ඇය කුමන හෝ බොරුවක් පවසමින් එය මඟ හැරියේය. අවසානයේ බැරිම තැන ඔහු එම ස්ත‍්‍රියට මෙලෙස පැවසුවේය.

‘‘මිස් මම දැන් සල්ලි බැඳලා මාස අටක් වෙනවා. තවම මගේ වැඬේ හරි ගියේ නැහැ නේ.”

‘‘ඔයා සල්ලි බැඳලා මාස අටයි. අවුරුදු ගණන් සල්ලි බැඳපු අය ඉන්නවා යන්න බැරිව.”

‘‘ඒකට කමක් නැහැ මගේ සල්ලි ටික ආපහු දෙන්න.”

‘‘එහෙම සල්ලි දෙන්න බැහැ. අපි ඩොකියුමන්ට් හදලා ජපන් වලට යවලා තියෙන්නේ. එහෙන් තමයි ප‍්‍රමාද වෙලා තියෙන්නෙ.”

‘‘මිස් හැමදාම ඔය කතාවනේ කියන්නේ.”

‘‘ඒක තමයි ඇත්ත කතාව.”

‘‘නැහැ මම හොයලා බැලූවා. මිස් මෙතන සල්ලි බැඳපු හැමෝටම කියන්නේ ඔය කතාව.”

‘‘එහෙම කොහොමද ඔයා කියන්නේ. මම කීදෙනෙක් ජපන් යවලා තියෙනවද. ඔය බොරු වලට රැවටෙන් නැතුව තව ටිකක් ඉවසන්න.”

‘‘මට තවත් ඉවසන්න බැහැ. මගේ සල්ලි ටික මට දෙන්න. මට ජපන් යන්න ඕනෙ නැහැ.”

‘‘ඔයා එහෙම කියන්න එපා දැන්. ඩොකියුමන්ට් හදන්නම විශාල

ගාණක් අපි වියදම් කරලා තියෙන්නේ.”

‘‘කරන්න දෙයක් නැහැ. මම දැන් යන්නේ නැහැ. ඒ සල්ලි ගත්තෙ ගේ උගස් තියලා. මාස අටක් තිස්සේ පොලී බේරුවා. තවත් මට මේක කරන්න බැහැ.”

‘‘අපිට ඒවයින් වැඩක් නැහැ. දැන් ඔයාව රෙජිස්ටර් කරල තියෙන්නෙ. ඒක නිසා සල්ලි දෙන්න විදිහක් නෑහැ. වීසා එනකං තව මාසයක් දෙකක් බලාගෙන ඉන්න.”

විදේශ ආයතනයේ හිමිකාරිය එලෙස පැවසුවාය. එහෙත් සම්පත් පුන පුනා ඇයගෙන් තම මුදල් ආපසු ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ඇය එයට කැමති වූයේ නැත. අවසානයේ ඔහුට තර්ජනය කර පැවසුවේ ‘‘සල්ලි දෙන්නේ නැහැ පුළුවන් දෙයක් කරන්න” කියාය.

සම්පත් එයින් සැළුනේ නැත. මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ පිළිබඳව පැමිණිලි කළේය. ඒ වන විටත් මෙම විදේශ සේවා ආයතන සහ ස්ත‍්‍රිය පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි රාශියක් ලැබී තිබුණි.

තවද මෙම කාන්තාව කැනඩා, ඉතාලි ආදී යුරෝපා රටවල් වලටද යවන බව පවසමින් මිනිසුන් රවටා වංචනික ලෙස මුදල් ලබාගෙන තිබුණි. ඒ පිළිබඳව ද පැමිණිලි රාශියක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබිණි. මේ සියලූ කරුණු කාරණා ගොනු කර ගත් එම කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගිය දිනක මෙම විදේශ රැකියා ආයතනය වැටළුවේය.

එම වැටලීමේදී සැකකාර කාන්තාව ළඟ තිබී විදේශ ගමන් බලපත‍්‍ර පිටපත්, විදේශ රැකියා ලබාදීමට බව පවසා මුදල් ලබාගත් ලේඛන, කැනඩාවේ රැකියා ලබාදෙන බවට පවසා සැකසූ ලේඛන ඇතුළු තවත් ලිපිගොනු රැසක් සොයා ගැනීමට හැකි වූහ.

අත්අඩංගුවට පත් වුවත් එම කාන්තාව කිසිදු බියක් සැකක් නොමැතිව එම නිලධාරීන් සමග තමන් නිර්දෝෂී යැයි ප‍්‍රකාශ කිරීම සඳහා විවිධ තර්ක ඉදිරිපත් කළාය. එහෙත් පලක් වූයේ නැත. අවසානයේ ඇයව කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කළාය. එහිදී ඇයව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ තවමත් සිදුකරමින් පවතී.

‘‘වෙනුෂ් ලැන්ග්වේජ් ඇකඩමි” යන විදේශ සේවා ආයතනයේ මහ මොළකාරිය ලෙස හැඳින්වෙන මෙම කාන්තාවට විරුද්ධව මෙවැනි වංචනික ක‍්‍රියා සම්බන්ධයෙන් කුරුණෑගල අධිකරණයේ නඩු විසිහතරක් විභාග වෙමින් පවතී. එලෙස නඩු පැවතියදීත් නීතිය තඹ සතේකටවත් මායිම් නොකර කිසිදු බියක් සැකක් නොමැතිව මැය මෙවැනි වංචනික ක‍්‍රියා සිදු කරන්නේ එවැනි ක‍්‍රියාවලට ලැබෙන නීතියේ දඬුවම් මදි නිසා වන්නට ඇත.

විදේශ රැකියා ප‍්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නගේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන අංශයේ මෙහෙයවීමෙන් නීති ක‍්‍රියාත්මක කිරීමේ නිලධාරීන් වන කපිල කරුණාරත්න, සරත් විමලවීර, කළමනාකරණ සහකාර අමිල පෙරේරා සහ අචිනි නිරෝෂා විසින් මෙම මෙහෙයුම සිදුකළහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment