දිවයින පුරා දරුවන් පන්සීයකගෙන් ඊ පොත් පන්සීයක්…

ස්වාධීන දරුවෙකු තැනෙන්නේ පොතපත කියවීමෙන් පමණයි..

මේ ඵල දරන්නේ මහ ලේකම් සෙනෙවිරත්න විද්වතුන්ගේ මනෝරාජ්‍යයයි..

දරුවන්ගේ ඊ පොත් එළි දැක්මට ආරාධනා කළත් අධ්‍යාපන බලධාරීන් කිසිවෙකුත් සහභාගි වූයේ නැහැ

අර කටා මේ කටා කරන කුඩු ජාවාරම්වලට ඉඩ දෙන මාධ්‍ය වේදිකාව දරුවන්ගේ ආකල්ප සංවර්ධනයට ඉඩක් දෙන්නේ නැත්තේ ඇයි….?

“මධ්‍යම පළාතේ අධ්‍යාපනය පළාත් අතර ඇත්තේ අට වැනි ස්ථානයේ… මේ තත්ත්වයන් ගොඩගන්න විෂයානුබද්ධ අධ්‍යාපනයට පමණක් බැහැ… දරුවෙකුගේ ආකල්ප සංවර්ධනය වගේම ස්වාධීන චින්තන හැකියාවක් ඇති කිරීම ඔස්සේ අධ්‍යාපනය ඉහළ තැනකට ගෙන එන්නට පුළුවන්.

පොතට නැවත දරුවා ළං කිරීම තුළින්, දරුවාගේ භාෂා කුසලතාව සංවර්ධනය වීමත් අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයත් ලේඛන හැකියාව තුළින් දැනුම උකහා

ගැනීමට අවධානය යොමුවීමත්, සාරධර්ම ඉහළ තලයකට ගෙන ඒම සේම සමාජය කැඩපතක් ලෙස තබා ගනිමින් දරුවා සමාජයේ අතරමං නොවී ස්වාධීනව ඉදිරියට යෑමට මාර්ගය සැකසීමට ඉවහල් වන බවත් මතක් කළ යුතුමයි…,”

පාසල් දරු දැරියන් පොත් ලිවීමට හුරු කරවීමේ නූතන පියා ලෙස හැඳින්විය හැකි මහලේකම් මුදියන්සේලාගේ සෙනෙවිරත්න ගුරු මහතා මධ්‍යම පළාත් දරු දැරියන් පන්සියයකගේ ැ-ඉදදන හෙවත් විද්‍යුත් පොත් පන්සියයක් සයිබර් අවකාශයට මුදා හැරීම නිල වශයෙන් සිදුකළ උත්සව අවස්ථාවට සහභාගි වෙමින් කියා සිටියේය.

උත්සවය පැවැත්වූයේ මහනුවර මහාමායා බාලිකා විදුහල් ශාලාවේදීය. ඒ සෙනවිරත්න මහතා මහමායා විදුහලේ ගුරුවරයකු වීම නිසාය. විද්‍යුත් පොත් හාරසිය තිහක් ලියා තිබුණේ මහමායා බාලිකාවන්ය. සෙසු පොත් හැත්තෑව ලියා තිබුණේ දිවයින පුරා සෙසු පාසල්වල දරු දැරියන්ය. අනුරාධපුරයේ කොළඹ ගම්පහ දරු දැරියන් ඒ අතර විය.

“දිවිය දිනන විද්‍යුත් පොතක්” යන්න තේමා කර ගනිමින් පාසල් සිසු දරුවන් ගේ නිර්මාණය ඇතුළත් මේ ආකාර ග්‍රන්ථ සංඛ්‍යාවක් එකවර සයිබර් අවකාශයට මුදා හැරුණේ ලොව ප්‍රථම වතාවට ය. එබැවින්ම එය ලෝක වාර්තාවකි.

එහිදී වැඩිම විද්‍යුත් ග්‍රන්ථ සංඛ්‍යාවක් හෙවත් පොත් 13 ක් එකවර ලියමින් දිවිය දිනන විද්‍යුත් පොතක් වැඩසටහනේ ප්‍රමුඛත්වයලා අභිමන් ලැබුවේ මහාමායා බාලිකා විදුහලේ පස්වන වසරේ අධ්‍යාපනය ලබන අස්මි නෙතුසරී බණ්ඩාර සිසුවිය ය. තවත් සිසුවියන් කිහිපපොලක්ම පාහේ පොත් පහකට ආසන්න සංඛ්‍යාවක් ලියා තිබිණි. තවද එකම පවුලේ සහෝදරියන් තිදෙනකු දෙදෙනකු ට පොත් ලියා ැඉදදන වැඩසටහනට දායක වී තිබිණි.

පොත් එළි දැක්වීමේ අවස්ථාව ආගම් ජාතීන් අතර සහජීවනය ද මතුකර පෙන්නන්නක් විය. මේ ලියූ සමස්ත පොත් සියල්ල එකම භාෂාවකින් නොවීමත් එකම ආගමකට නතු නොවීමත් සුවිශේෂී කාරණාවක් විය. දරු දැරියන් පොත් ලිවීමේදී සියලු ජාතීන් නියෝජනය කිරීම මතුකරමින් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පොත් ලියා තිබීම රටේ අනාගතය සාමූහිකත්වය සහජීවනය පෙරදැරි කොටගෙන යන ගමනක ආරම්භය සනිටුහන් කරන්නක් සේය. කන්ද උඩ අවසන් රාජධානියේ වත්මන් දරු පරපුර අනාගත සුබසිද්ධිය උදෙසාත් යහපත් ආකල්ප සංවර්ධනය උදෙසාත් නිරවුල් මනසකින් යුතුව කටයුතු කිරීම අගය කළ යුතුය.

මහලේකම් සෙනවිරත්න ගුරු මහතා මෙයට පෙර අවස්ථා කිහිපයකදී ද ලෝක වාර්තා තබා ඇත. ඒ මධ්‍යම පළාතේ දරු දැරියන් පන්දහස් තුන්සිය දහ නව දෙනෙක් පොත් ලියා මුද්‍රණය කොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපති උපුල් බී දිසානායක මහතාගේ සහභාගිත්වය ඇතිව මහාචාර්ය ජේ. බී. දිසානායක විද්වතානන්ගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේදී එළිදැක්වූ අවස්ථාවේ දීය.

කොරෝනා සමයේ රටම දැනුවත් කොට රටේම දරුවන් සමඟ පොත් ලියා මුද්‍රණය කරන්නට ගිය මහලේකම් සෙනවිරත්න මහතා සමග එක්කෝ දරුවන් හතළිස් එක් දහසක ගේ පොත් මුද්‍රණය කොට තවත් ලෝක වාර්තාවක් තබන්නට ගිය ද කුහක දේශපාලනය මැදිවී ඒ වෑයම සුණු විසුනු කොට දියාරු කළේය. දියාරු කොට කාබාසිනියා කළා පමණක් නොව මේ පොත් හතළිස් එක් දහස ලියැවීමේ සිහිනය තමා ගුවන් යානයක ගමන් ගනිද්දී සිතෙහි උපන් සිතිවිල්ලක් යැයි අධ්‍යාපන අමාත්‍යවරයෙක් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කරමින් අමුතුම වාර්තාවක් ද තැබුවේය. දේශපාලනය තුළ සංකල්ප මංකොල්ලකෑම සුලභ වුවත්, මෙවන් සද්කාර්යයභාරයකදී, ඊට පෙර අවස්ථා ගණනාවකදී දරුවන් සමග පොත් ලියූ ගුරුවරයකුගේ සංකල්පය සොරා ගැනීම විලි වසා නොගැනීම තරම් ලැජ්ජාශීලීය.

මෙවර .“..දිවිය දිනන විද්‍යුත් පොතක්..” මැයෙන් වූ විද්‍යුත් පොත් පන්සියය සයිබර් අවකාශයට මුදා හැරී මොහොතේ දේශපාලනඥයනට නොදෙවෙනි වෙමින් අධ්‍යාපන බලධාරීන් සිය නොහැකියාව ප්‍රදර්ශනය කළහ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට පහළට සෑම බලධරයෙකුටම මෙම අවස්ථාවට සහභාගි වන්නයි ආරාධනා කර තිබුණද ඒ කිසිවෙකුත් දරුවන්ගේ හැකියාව අගය කරන්නට පැමිණ සිටියේ නැත. වෙනකක් තබා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හෝ නුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවත් මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන් තැබූ ලෝක වාර්තාව බලන්නට අගයන්නට දිරිමත් කරන්නට පැමිණ සිටියේ නැත. ඒ මේ රටේ හැටිය. මෙම උත්සව අවස්ථාවට දේශපාලඥයෙක් පැමිණියේ නම් සියලුම අධ්‍යාපන බලධාරීන් පැමිණ සිටිනු නියතය.

පැමිණ සිටියේ එදා සිට අද දක්වාම මෙම කාර්යය අංගය කරමින් දිරි දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ 2014දී පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ලෙස ක් වර්තමානයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර අධ්‍යක්ෂිකාව ලෙසත් කටයුතු කරන ජයනි තිලකරත්න මහත්මිය පමණි.

මහනුවර මහාමායා බාලිකා විදුහලේ විදුහල්පතිනිය ශෂිකලා සේනාධීර මහත්මියගේ මග පෙන්වීම හරහා 2023 සාහිත්‍ය මාසයට සමගාමීව සංවිධානය කරන ලද මෙම විද්‍යුත් පොත් රචනා කිරීමේ වැඩසටහන සඳහා දිවයිනේ සෙසු පාසල් වල දරු දැරියන් ද එක්ව සිටියහ. මෙම වැඩසටහන සඳහා ඔවුනට සහභාගි වන්නැයි ආරාධනා කළ මොහොතේ සිට පොතක් ලිවීමේ නොතිත් ආශාවෙන් කටයුතු කළ සිසුන් බොහොමයක් සිටි බව සෙනවිරත්න ගුරු මහතා අපට කීවේය. මෙම කටයුත්ත සඳහා මහමායා බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියද ආචාර්ය මණ්ඩලයද සහතික පත්‍ර මුද්‍රණය උත්සව සංවිධානය ආදී කටයුතු සඳහා දෙමව්පිය පිරිස ද නොමද සහයක් ලබා දී තිබිණි.

ලෝකය තනි යායකි. ලොවම එක මිටට ගන්නා දවසක් උදා වන බව අපි දැන සිටියෙමු. අද වන විට තත්ත්වය උදාව ඇත්තේ සයිබර් අවකාශය ඔස්සේය. අන්තර්ජාලය හරහා ලෝකයේ සෑම රටකටම අසුරු සැණෙකින් ඇතුළත් වීමේ අයිතිය අපට ලැබී තිබේ. මැද රට සිසු දරුවන් එළිදැක්වූ පොත් සියල්ල ම ලෝකයේ ඕනෑම පාඨකයෙකුට elibrary.mahamayagirlscollege.lk ඔස්සේ කියවා රස විඳිය හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අන්තර්ජාල සම්බන්ධතාව සහිත උපාංගයක් පමණි.

මහමායා සිසු දරුවෝ එදින පොත් දහයක් මුද්‍රණද්වාරයෙන් එළි දක්වා දළදා වහන්සේට පූජා කළහ. අනතුරුව මහමායා විදුහල් ශාලාවේදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජගත් පිටවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොත් සමූහය සයිබර් අවකාශයට මුදාහළහ.

අතේ පොතක් නැතිව පොත් එළිදැක්වීමක් පාසල් දරුවන් සමූහයක් හමුවේ සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය.

ඉන්න ටිකක්…මැදරට පාසල් දරුවන්ගේ ඊ- පොත් මිටිය දිගහරින තෙක්…

“තාක්ෂණයේ නව දියුණුවත් සමඟම අනාගත දරුවන්ට පරිගණකය ජංගම දුරකථන tab, notepad හෝ ඕනෑම device එකක් නැතිනම් උපාංගයක් ඔස්සේ තමන්ගේ නිර්මාණය පාඨකයන් අතරට යොමු කිරීමේ අවස්ථාව සැලසී තිබෙනවා. මේ ඉතා හොඳ ප්‍රවණතාවක්. නමුත් බොහෝ දරුවන් මේ උපාංග හරහා අද වන විට සිදුකරන්නේ අයහපත් ක්‍රියාවන්. මා එය දකින්නේ වැඩිහිටියන් දරුවන්ට මේ උපාංග වලින් කළ හැකි උසස් ගණයේ ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකොට නැති බවයි. ජංගම දුරකථනයක් හෝ වෙනත් උපාංගයක් දරුවන්ට ලබාදෙන අවස්ථාවේදී ඔස්සේ සිදු කළ හැකි දියුණු යහපත් ක්‍රියාවන් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ නම් දරුවන් ඒ ඔස්සේ ලෝකය පුරාම සැරිසරනු ඇතැයි මගේ විශ්වාසයයි. දිවිය දිනන විද්‍යුත් පොතක් ලෙස මේ දක්නට ලැබෙන්නේ එවන් යහපත් මග පෙන්වීමක්…..” මහාචාර්ය ජගත් පිටවල මහතා දරුවන් හමුවේ එසේ කියා සිටියේය.

මෙයට පෙර ද මහාමායා බාලිකාවියන් පොත් එළිදැක්වීමක් සිදු කළහ. ඒ හිටපු විදුහල්පතිනිය වන විතානාච්චි මහත්මිය විශ්‍රාම ගත් 2017 වසරේ දීය. පන්හිඳෙන් උපහාර ලෙස නම්කර තිබූ එම උත්සවයේ දී පාසල් සිසුවියන් විසින් ලියන ලද ග්‍රන්ථ 150 ක් එළිදක්වනු ලැබුවේ මුද්‍රණාද්වාරයෙනි. තවද සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2564 ගතවීම සිහිකර මහාමායා විදුහලේ 89 වැනි සංවත්සරය නිමිත්තෙන් සිසුදරුවන් පොත් 2564 ක් ලියා පළකරනු ලැබුවේ 2021 වසරේදී ය. එය එදා සිදු කෙරුනේ පින්කමක් ලෙසය. එවැනි අත්දැකීම් සමූහයක් සමඟ පොත් ලිවීමේ පරිණත බව අත්විඳ තිබූ බාලිකාවියන්ට මෙවර සිය පොත්පත් ලොවටම මුදා හැර ගත් කතුවරියන් ලෙස සමාජගත වී ඇත.

මහලේකම් සෙනෙවිරත්න යනු මේ සමස්ත ක්‍රියාදාමයේ මඟ පෙන්වන්නාය. දරුවන් සමඟ පොත් හෙළි දැක්වීමේ මේ ක්‍රියාදාමය ඔහු අරඹන්නේ අද ඊයෙක නොවේ. හතර කෝරලයේ කෙහෙල්පන්නල ග්‍රාමයේ උපන් සෙනෙවිරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය කෙහෙල්පන්නල ප්‍රාථමික පාසලෙන් ලබමින් ගම්පල වික්‍රමබාහු මහ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ලැබූ අයෙකි.

දරුවෝ එක්ක කතා කරන වෙලාවක පොරමඩුල්ල ජාතික විද්‍යාලයේ හයේ පන්තියේ දරුවන් දෙදෙනෙක් වන අසාන් වීරසිංහ සහ උදය රුවන්ට යන දරුවන් දෙදෙනා ම ලියන්න බොහොම දක්ෂයි. මේ දරුවන්ගෙන් එක දරුවෙක් පුංචි සිදුවීමක් අල්ලලා වුණත් කවි ලියනවා ඔහු ළඟ මේ විදිහට ලියපු කවි බොහෝමයක් තිබුණා. මේ කවි ටික එකතු කරලා අපි පොතක් එළි දක්වමු කියලා මම අසාන්ට කිව්වා. ඔහුත් ඒකට බොහොම කැමති වෙලා කවි ටික එකකරලා පොතක් හැදුවා. උදය රුවන් ඔහු ලියපු පුංචි කතා එකතු කරලා පොතක් හැදුවා. ඒ දවස්වල ඉස්කෝලේ පුංචි උත්සවයක් තියලා අත්තනායක එම් හේරත් කථිකාචාර්යවරයා ගෙන්වලා පොත් එළිදැක්වුවා. ඒ දරුවෝ එතැනින් ලොකු පන්නරයක් ලැබුවා. අදටත් මේ දරුවො ලිවීම අත ඇරලා නෑ.

අධ්‍යාපන අමාත්‍යංශයෙ පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජයනි තිලකරත්න මහත්මිය මේ කටයුත්තේ වටිනාකම අවබෝධ කරගනිමින් අමාත්‍යාංශ මට්ටමෙන් මට අවසරය ලබා දුන්නා. රාහුල විද්‍යාලයේ එවකට විදුහල්පති වීරකෝන් මහතා පාසලේ එකසිය විසි පස් වැනි සංවත්සරයට පොත් එළි දැක්වීමේ උත්සවයක් පැවැත්වීමට අවසර ලබාදුන්නා. ඒ අනුව අපිට පොත් එකසිය විසි පහක් ලියන්ට සැලසුම් කළත් දරුවෝ පොත් දෙසිය හයක් ලිව්වා. එතනදිම අපි අවබෝධ කරගත්තා ළමයින්ට තියෙන උනන්දුව. ළමයි ලියන්න කියන්න හිතන්න කැමතියි. ඒ සඳහා යොමු කිරීමයි අත්‍යවශ්‍ය. රාහුල උත්සවයට ශාන්ත අන්තෝනි බාලිකාවේ එවකට සිටි විදුහල්පතිනිය පැමිණියා.

ඇය මේ වැඩසටහනට බෙහෙවින්ම ඇලුම් කළා. ඇය මට ආරාධනාවක් කළා ශාන්ත අන්තෝනි බාලිකාවේ හැත්තෑ නව වැනි වසර පිරීම නිමිත්තෙන් ම පැවැත්වෙන උපහාර උත්සවයට දරුවන් සමඟ එක්ව පොත් ලියන ලෙස. ශාන්ත අන්තෝනි දරුවෝ 266 දෙනෙක් පොත් ලිව්වා. ඒ පොත් නියම ප්‍රමිතියට එළි දක්වන්න අපිට හැකි වුණා.

ඉන්න ටිකක්…මැදරට පාසල් දරුවන්ගේ ඊ- පොත් මිටිය දිගහරින තෙක්…

රාහුලෙන් මට මාරුවීම ලැබුණේ මහාමායා බාලිකා විද්‍යාලයට. ඒ 2017. එවකට මහමායා විදුහල්පතිනිය වූ විතානාච්චි මහත්මිය විශ්‍රාම යෑමේ උත්සවය අළලා උපහාරයක් ලෙස දරුවන් සමඟ පොත් එකසිය පනහක් ලියන්න හැකි වුණා. එහි විශේෂත්වය වුණේ උපහාර උත්සවය සඳහා විතානාච්චි විදුහල්පතිනියත් පොතක් එළි දැක්වීමයි.

එතනින් එහාට මේ වැඩේ මහනුවර කලාප මට්ටමෙන් ගෙනියන්න මම උත්සාහ කළා. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා. එවර පොත් 1319 ක් කලාප මට්ටමෙන් මුද්‍රණය කරගන්න අපට හැකි වුණා. එතනින් එහාට පළාත් මට්ටමේ පොත් 5319 ක් මුද්‍රණය කරමින් ජාතික තලයේ උත්සවයක් පවත්වා ලෝක වාර්තාවක් තැබිය හැකි උත්සවයක් දක්වාම වැඩසටහන දියත් කරන්න හැකිවීම ඇත්තෙන්ම භාග්‍යයක්.

මධ්‍යම පළාතෙන් දිවයින පුරා පොත් ලිවීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන මොහොතේ රටපුරා කොරෝනා වසංගතය පැතිරුණ. නමුත් අපි පසුබට නොවී ගෙදර ඉඳන් පොත් ලියමු කියලා දරුවන්ට පණිවිඩ යවලා පොත් ලියෙව්වා. ඒ සිදුවීම හරිම කනගාටුදායකයි. කොරෝනා කාලෙ ලංකාවේ දරුවෝ හතළිස් එක්දහසකට වැඩි සංඛ්‍යාවක් ලියපු පොත්වල අත්පිටපත් මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාමරයක ගොඩගහලා තියෙනවා. ඒවා මුද්‍රණය කරන්න තරම් අධ්‍යාපන අමාත්‍යාංශයට වුවමනාවක් නැහැ.

ඇත්තෙන්ම මම හතළිස් එක්දහසක පොත් ලියපු දරුවන්ගෙන් සමාව ඉල්ලනවා. මට තනියම ඒ ටික කරන්න බැරි කමයි තියෙන්නේ. නැතිනම් මං ඒ දරුවන්ව, දරුවන්ගේ ලියවිල්ලක් කවදාවත් මුල්ලට තල්ලු කරන්නේ නෑ. මම තවම වැඩේ අත ඇරලා නෑ. තනි තනිවම හරි මේ පොත් හතළිස් එක මුද්‍රණය කරන්න මම උත්සාහ කරනවා.

දරුවෝ එක්ක පොත් ලියන කටයුත්තෙන්ම මම බලාපොරොත්තු වෙන එකම සැනසිල්ලක් මේ දරුවෝ දක්ෂතා එක්ක ඉදිරියට යන එක විතරයි. හිතේ සැනසිල්ලේ අධ්‍යාපනය ලබන්න පුළුවන් පසුබිමක් ඇති කරගන්න එක විතරයි. දරුවන්ගේ මනස නිදහස් කරන එක විතරයි. එහෙම නැතුව මේ රට පාලනය කරන මිනිස්සු වගේ හොර රහසින් බඩ වඩා ගන්න මට වුවමනාවක් නැහැ…

මේ ලංකාවේ දරුවො දක්ෂයි. ඒ දක්ෂතා සංයමයෙන් එළියට මතු කරගන්න දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගන්න ගුරුවරු විදිහට අපිට හරි පසුබිමක් සකසන්න ඕනේ පොත් ලියවිල්ලෙන් සිද්ධ වෙන්නේ ඒකයි…..”

පොත් අපේ නෙත් වගේ…. ලෝකය දකින්නේ මනසින්.. මැවෙන හොඳ නරක සිතිවිලි අකුරු මතින් කොළයක් මත අකුරු ලෙස ලියවෙයි නම් එය ඉතිහාසගතවන බව අමතක නොකරමු. කොළේකින් එහා ගිය විද්‍යුත් අවකාශයේ අකුරු කරන්නට තරම් දියුණු ලෝකයක ජීවත්වන අපි ප්‍රායෝගිකව අත්විඳිමින් ඉදිරියට යන්න වෙර දරමු. අධ්‍යාපනයේ හරි අගය නොදත් අධ්‍යාපනයක් හරිහැටි නොලැබූ පාලකයන්ගේ මැදිහත්වීම් නොතකා තනිව නැගී සිටින්නට වෙර දරමු… පොත් ලියූ නොලියූ අනාගත දරුවන්ට දිය හැකි එකම පණිවිඩය එය යැයි සිතමි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment