දෙවනගල දෙවනත් කළ ‘රයිනි’

402

ධම්මික හේවාවසම්
 
බල්ලා යනු මිනිසාට නිර්ව්‍යාජව ආදරය කරන සමීපතම සත්ත්වයාය. ඒ ලෙන්ගතුකම් කොතෙක් දැයි කිවහොත් ‘‘බල්ලා තම ස්වාමියා යහපත් වැඩක නියැළී ආවද වලිගය වනයි.’’ යනුවෙන් කියමනක් ද නිර්මාණය වී ඇත. එසේ වීමට හේතුව උගේ අවංක ආදරය තම හිතෛෂීන්ට පාන්නේ කොන්දේසි විරහිතව වීමයි. අපට ඇතිදා මෙන්ම නැතිදාත් අපගේ සැපේදී මෙන්ම දුකේදීත් ඌ වලිගය වනමින් අපේ දෙපා ලෙවකන්නේ එකම ආකාරයටය.
 
 අප අතර සිටින උසස් බුද්ධියක් ඉහළ මට්ටමේ ඉවක් මෙන්ම මතක ශක්තියක් ඇති එමෙන්ම ඉක්මනින් යමක් හුරුපුරුදු කිරීමේ සුවිශේෂී දක්‍ෂතාවයකට හිමිකම් පෑම නිසා ආරක්‍ෂක අංශවල නිලධාරීන් සමඟ සේවයට එකතුව මිනීමැරුම්, මත්ද්‍රව්‍ය වැටලීම්, විවිධ සොරකම් ආදියෙහි සුලමුල සොයන්නට ගොස් මිනිසුන් වෙනුවෙන් දිවිපිදූ සුනඛයන් ද අනන්ත අප‍්‍රමාණය.
 
 බටහිර රටවල පාර මාරුවීමට බලා සිටින සුනඛයකු දුටු තැන තම වාහනය නතර කර බල්ලාට පාර මාරුවීමට ඉඩ දෙන්නට තරම් උගේ වටිනාකම අවබෝධ කරගත් මිනිසුන් සිටින අතර බෞද්ධ අප රටේ බල්ලන්ගෙන් වෛරය පිරිමසන නොසන්ඩාල පුද්ගලයෝ ඕනෑ තරම් සිටිති. අනන්ත අප‍්‍රමාණ ලෙස රටේ නන් දෙස මෙවැනි පව්කාරකම් සිදුවුව ද මාධ්‍යයට වාර්තාවන්නේ ඉතා අඩුවෙනි. ඒ අතර පසුගිය වසරේ තාප්පයකට මුත‍්‍රා කිරීම හේතුවෙන් වෙඩි පහර කා මියගිය සුනඛයා ද පසුගියදා හාම්පුතා සමග‘ පැවති පැරණි කෝන්තරයක් පිරිමසන්නට එම පුද්ගලයාගේ නිවසෙහි ඇතිදැඩිවූ සුනඛයාගේ පාදයක් කපා ඉවත්කර හිසට දරුණු ලෙස තුවාල සිදුකළ නරුමයකු ගැන ද අපට අසන්නට ලැබිණි. නමට මනුෂ්‍ය ආත්ම ලබා තිරිසන් ගති විදහාපාන සමහරු බල්ලන්ට එසේ සැලකුවත් බල්ලන් කිසි දිනක අපට එලෙස සලකන්නේ නැත. ඒ තමන් ඇති දැඩි කරන අයට ඌ දක්වන අවංක ආදරය නිසාමය.
 
 සුනඛයකු විසින් එකී සත්‍යය නැවත වතාවක් අපට ඔප්පුකර පෙන්වූ හද කම්පා කරවන අනුවේදනීය පුවතක් පසුගිය 5 දා උදෑසන මාවනැල්ල දෙවනගල ප‍්‍රදේශයෙන් වාර්තා විය. රට තුළ අධික වර්ෂාවත් සමඟ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අරණායක ප‍්‍රදේශයේ නොසිතූ ලෙස සිදු වූ නායයෑමකින් වටිනා මිනිස් ජීවිත කිහිපයක් ඒ මොහොතේ පස්යට සැඟවිණි. දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද ප‍්‍රදේශවාසීන් මෙන්ම හමුදා නිලධාරීන් වහ වහා ක‍්‍රියාත්මක වී ඒ මහා පස් කන්දට යටවූවන් සොයන්නට දැඩි කැපවීමෙන් ක‍්‍රියාකරන අතරතුර ප‍්‍රදේශවාසීන් ‘රයිනි’ නමින් හඳුන්වන සුනඛයකු විලාප තබමින් දැඩි කලබලයකින් යුතුව ඒ මේ අත දුවමින් නාය ගිය පස් තම උපරිම ශක්තිය යොදා ඉදිරිපස අත්වලින් පසුපසට කරන ආකාරය ඒ අවස්ථාවේ හැටියට කරදරයක් වුවද එතැන මෙකක් හෝ රහසක් සැඟව තිබෙන බව ඒ වනවිට රැස්ව සිටි පිරිස අවබෝධ කරගෙන තිබිණි.
 
 ගතවූයේ විනාඩි කිහිපයකි. රයිනිගේ ඉව ඔස්සේ මෙන්ම ‘රයිනි’ වේගයෙන් පහුරු ගෑ ස්ථානයේ පස් යට රයිනිව ආදරයෙන් ඇතිදැඩි කළ එකම පවුලේ සාමාජිකයන් හතරදෙනාගේ සිරුරු මතුවිය. ඒ අවස්ථාව වනවිට ඔවුන් මෙලොවින් සමුගෙන තිබුණ ද තම ආදරණීයයන් මෙලොවින් සමුගත් බව පිළිනොගත් ‘රයිනි’ එම සිරුරු ලෙවකමින් විලාප තබමින් දේහයන් වටා දිව්වේ ඔවුන් දැන් නැගිට රයිනි යැයි තමන් අමතනු ඇතැයි යන වැඩි විශ්වාසයෙන් විය යුතුය.
 
 තමන් ඇතිදැඩි වූ නිවසේ සියලූදෙනා වෙනදා මෙන් තමාගේ හඬ නවත්වන්නට අණ නොකිරීමේ වෙනස දරාගන්නට බැරිව හැඟුම්බරව හැසිරෙන රයිනිව මහත් පරිශ‍්‍රමයක් දරා කීකරු කරගත් කෑගල්ල දෙවනගල හමුදා කඳවුරේ නිලධාරීන් එතැන් සිට රයිනිගේ භාරකාරත්වය දරන්නට තම සේවා කඳවුරට ගෙන ගියේ සුනඛයන්ගෙන් මනුෂ්‍යයන්ට හිමිවන අව්‍යාජ කොන්දේසි විරහිත ආදරය සියැසින් දැකගන්නට උදා වූ ශෝකජනක අවස්ථාවකට මුහුණදීමත් සමඟය.
 
 මෙතැන් පටන් රයිනිට බොහෝ පිරිසකගේ ආදරය ලැබෙන අතර ඒ ආදරය විඳිමින් රයිනි අලූත් තැනක අලූත් ජීවිතයකට හුරුවනු ඇත. එහෙත් තමාගේ පැරණි හාම්පුතුන් ගැන මතකය ඒ දයාබර සිතෙන් ඈත් වේද යන්න සැක සහිතය. ඒ සමහර මිනිසුන්ට වඩා කෙළෙහිගුණ මෙන්ම හොඳ ගතිගුණ බල්ලන් ළඟ තිබෙන බැවිනි.
 
 අවාසනාවකට මේ ගුණයහපත් සත්ත්වයා හඳුන්වන ‘බල්ලා’ යන නාමය මේ සමාජයේ අධම, නීච, පහත් වැඩකරන පිරිස් හඳුන්වන්නට අප පෙළඹී ඇති මුත් එසේ කිරීම නවත්වන්නැයි ‘රයිනිට’ කථා කරන්නට පුළුවන්නම් මේ මොහොතේ අපට කියාදෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment