රටේ එක නීතියක් නෑ දූෂිත දේශපාලකයන් නිසා රටම විනාශ වෙනවා – කාදිනල් තුමා

554

“මේ රටේ දූෂිත දේශපාලකයන් නිසා මුළු රටම විනාශ වෙමින් පවතිනවා. අපේ රටේ එක නීතියක් නැහැ. නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. පොලිස් කොස්තාපල්ට එක නීතියක්. පොලිස් අධිකාරි වැනි උසස් නිලධාරීන්ට තව නීතියක්. නඩුවක වැරැදිකරුට දඩයක් නියම කළ විට එය ගෙවන තුරු ඔහුව රිමාන්ඩ් කරනවා. නමුත් සමහර දේශපාලකයන් වැරැදිකරු වූ විට ඔහුට නිදැල්ලේ ගොස් දඩ මුදල හොයා ගැනීමට ඕනෑ තරම් කල් දෙනවා. බරපතළ චෝදනා ලැබූ උසස් නිලධාරීන් කිසිම බාධාවක් නොමැතිව එම තනතුරු දරමින් ඉන්නවා. පසුගිය වසර හැටක පමණ කාලයක් තිස්සේම මේ රටේ අවනීතිය රජකරමින් සිටිනවා” යැයි අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමා පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ ඉකුත්දා පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙව්මැඳුරේ පැවති රන් ජුබිලි මංගල මෙහෙයේ දේශනය පවත්වමිනි.

“ඔබට මෙන්ම ඔබේ අසල්වැසියාටද ප්‍රේම කළ යුතු යැයි ක්‍රිස්තු ධර්මයේ සඳහන් වෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ 273 දෙනාගේ වියෝ දුක අපට ද දැනෙන්ට ඕනෑ. නමුත් සමහර බැතිමතුන් පවා ඕක අපේ මීසමේ සිද්ධ වුණ දෙයක් නොවේ කියමින් මේ භයානක ඛේදවාචකය කිසිම ගණනකට ගන්නේ නැහැ. තැකීමක් නැහැ. ඒක ආගමේ ඉගැන්වීම්වලට විරුද්ධයි. එමෙන්ම බරපතළ පාපයක්” යැයිද කාදිනල් තුමා පැවසූහ. උස්වැටකෙයියාව මීසම භාර අමිල ගෝමස් පියතුමා ප්‍රමුඛ මීසම් කමිටුව සංවිධානය කළ මෙම උත්සවයට බෝපිටිය මීසම භාර නිමල් ජයන්ත පියතුමා සමග විශාල ගිහි පැවිදි ජනකායක් සහභාගි විය.

පමුණුගම – එස්. කේ. ජේ. කුරේරා

advertistmentadvertistment
advertistmentadvertistment