වතුපිටිවල රෝහලේ දරු ප්‍රසූතියකදී අම්මායි බබායි දෙන්නාම නැති වෙලා

561

මරණ සැකයි -ඥාතීහු කියති

වතුපිටිවල මූලික රෝහලේ සූතිකාගාරයේ දී 20 වැනිදා පස්වරුවේ දරුවකු ප්‍රසූත කිරීමේදී එම දරුවා ප්‍රසූතියට පෙර මියගොස් සිටි බවත් ප්‍රසූතියෙන් පැය කිහිපයකට පසුව එම මව ද මියගිය බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ කල්එළිය රත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිම්මි සකුන්තලා නමැති 22 හැවිරිදි මවකි.

මව දරු ප්‍රසූතිය සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 18 වැනිදාය.

මියගිය මවගේ පළමු දරු ප්‍රසූතිය මෙය වන අතර මව එහිදී සිසේරියම් සැත්කමකට භාජන කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මවගේ සහ බිලිඳාගේ මරණය පිළිබඳව තමන්ට සැකයක් පවතින බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදු කළ බවත් ඥාතීහු පවසති.

මේ පිළිබඳව අප කළ විමසීමකදී වතුපිටිවල මූලික රෝහලේ උසස් නිලධාරියකු පවසා සිටියේ මවගේ සහ බිලිඳාගේ මරණය පිළිබඳව සැකයක් පවතින බව කියමින් පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ පැවැත්වීමට විරෝධය පළ කිරීමට ඥාතීන් කටයුතු කිරීම හේතුවෙන් සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද රෝහලකදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවය. ඉන් අනතුරුව මරණයට හේතුව කුමක්ද යන්න කරුණු ඉදිරිපත් කළ හැකි බවත් එම ප්‍රකාශකයා පැවසීය.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment