ජනතාවම ෆ්ලැට් ඒත් අනුමතයි වැට්!

434

වැට් බදු වදියි හැම දේටම හතර වටේ
බේරා ගත හැකිද ගොවියගෙ අමුඩ කොටේ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කරන ලද 2024 අයවැය සම්බන්ධ විවාදය ඇල්මැරුණු ස්වරූපයක් ගත් බව මෙන්ම එයට පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ අවධානයක් යොමු නොවූ බව ඉකුත් සතියේ බදාදා ලියැවිල්ල තුළින් ද අපි පෙන්වා දුන්නෙමු. ජනාධිපති රනිල් ද ඒ අදහස තහවුරු කරනු ලැබ ඇත. ඒ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ උත්සවයකට එක්වෙමිනි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අයවැය විවාදයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට එහිදී ප්‍රමුඛතාව ලැබුණු බවය. එසේම විපක්ෂයට අයවැය සම්බන්ධයෙන් විවේචනයක් නොවූ බව හැඟී යන්නේ යැයි ද ජනාධිපතිවරයාගේ අදහස විය. එයින් ජනාධිපති අඟවන්නේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය මනා ලෙස සැකසුණු සාධනීය ආර්ථික යෝජනාවලියක් බවය. එහෙත් අපි ඒ මතය සමග එකඟ නොවන්නෙමු. එය කිසිසේත්ම මේ රට මුහුණ දී සිටින උග්‍ර ආර්ථික අර්බුදයට සාධනීය විසඳුම් දෙන්නක් නොවේ. ජනාධිපති රනිල් ඇතුළු ඔහුගේ ඇමැතිවරුන්ගේ උද්දාමයට හේතු වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබෙන බව තහවුරු වීමය. අප තේරුම් ගත් ආකාරයට නම් රටේ ආර්ථික අර්බුදය යළි උඩට එමින් තිබේ.

ජනාධිපති රනිල් ආර්ථිකය තුළ යම් ප්‍රමාණවත් වෙනසක් සිදු කළ හැකි අයෙක් පමණක් නොව, ජාත්‍යන්තරව ප්‍රබල චරිතයක් ලෙස ඔහුගේ සමීපතමයන් විසින් කරන ලද අතිශයෝක්තියට බර වර්ණනා දැන් බිඳවැටී තිබේ. ඒ අදහස පිළිගත් සෑහෙන සංඛ්‍යාවක් ද වූහ. ජනාධිපති රනිල් පවා වැඩිපුරම ජප කළ මන්තරය වූයේ පළමුවත් ආර්ථිකය, දෙවනුව හා තෙවනුවත් ආර්ථිකය යන්නය. ඔහු ආර්ථිකය පෙරට දමා රටේ දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට යන මාර්ගයක් තෝරාගත් බව අද ඔහුට තිබෙන ප්‍රධාන විවේචනය ද වේ. ඇත්ත වශයෙන්ම දැන් ඔහු එදා පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ සමාජය සමග සතුරු වී සිටියි. විධායක බලය වෙනුවට ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමට ඉදිරිපත් වූ ව්‍යාපාර සමග එක්වූ රනිල් අද විධායකය සීමා කිරීමට සම්මත කරගත් සංවරණ හා තුලන සිද්ධාන්තය නොඉවසයි. ඔහුගේ ද දායකත්වයෙන් සම්මත වූ 21 වැනි සංශෝධනය අද ඔහු සලකන්නේ රට ඉදිරියට ගෙන යෑමට හරස් වී තිබෙන බාධකයක් ලෙසය.

ජයවර්ධනගේ විධායක ක්‍රමයේ විෂ හා සැර බාල කිරීමට ඉදිරිපත් වූ වැදගත්ම යෝජනාව 17 වැනි සංශෝධනයයි. සිවිල් සංවිධාන ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ ව්‍යාපාර එක්ව එම යෝජනාව සම්මත කළේ 2001 දීය. රාජ්‍ය ආයතන, අධිකරණ පත්වීම්, ස්වාධීන කොමිසම් ආදිය තනි පුද්ගල අභිමතයකට යටත් කිරීමට තිබුණු විධායක බලය එයින් සීමා විය. රාජපක්ෂවරුන් විසින් විධායක බලය අතට ගත් ආකාරයත්, එයින් සිදුවූ අයහපත් ක්‍රියාකාරකම් ආදියත් අපට මතකය. ඒ සංශෝධනය අවලංගු කළ ඔවුන් 18 වැනි සංශෝධනය බලාත්මක කරමින් ගෙනගිය පාලනය දැඩි ප්‍රශ්නකාරී එකක් විය. 19 වැනි සංශෝධනය යළි සම්මත වුවත් ගෝඨාභය 20 වැනි සංශෝධනයෙන් එය ද ආපස්සට හැරවීය. 21 වැනි සංශෝධනය ලෙස යළි ව්‍යවස්ථා සභාව බලාත්මක වන්නේ ඉන්පසුවය. මේ සිදුවීම් දාමය විමසා බලන ප්‍රබුද්ධ පුරවැසියකුට පැහැදිලි වන එක් දෙයක් ඇත. එනම් බලකාමය, අධිපතිවාදී මානසිකත්වය අත්හැරීම වෙනුවට ඒ බලයෙන් මත්ව වැජඹීමට ඇති වන ගිජුකම හා මුග්ධත්වයයි.

කුමක් වුවත් මෙරටේ විධායකය, ව්‍යවස්ථාදායකය වැනි ගෞරවනීය ආයතන පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මෙන්ම සදාචාර මූලධර්මයන් පවා බරපතළ කඩාවැටීමකට ලක්ව තිබෙන බව නම් නිසැකය. විධායකය සම්බන්ධයෙන් තිබෙන විවේචන, චෝදනා වුව ද නොතකා හැරිය නොහැක. නීතිඥ සාමූහිකය හා සිවිල් සංවිධාන විසින් විධායකය සම්බන්ධයෙන් කෙරෙන විවේචන නොතකා හැරිය හැකි දේවල් නොවේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකය යටකර ගෙන අධිපතිවාදී මනසකින් ක්‍රියා කරන බවත්, ව්‍යවස්ථා සභාව වැනි ස්වාධීන ආයතන නොරුස්සන බවත් ප්‍රබල චෝදනාවකි.

ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් තිබෙන විවේචන ද බැරෑරුමය. විශේෂයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොනිසි ලෙස භාවිතා වන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙමින් තිබේ යැයි ද කියනු ඇසෙයි. පසුගිය දිනවල සිදුවූ මන්ත්‍රීවරුන්ගේ ගැටුම් හා ආන්දෝලනාත්මක හැසිරීම් දෙස ජනතාව බලා සිටියහ. මේවා සමාජ මාධ්‍යවල ද වීඩියෝ ලෙස සංසරණය විය. මන්ත්‍රීවරයකුට හෝ මන්ත්‍රීවරියකට ‘ගරු’ යන විශේෂණය යොදන්නේත්, විශේෂ වරප්‍රසාද ලබා දෙන්නේත් ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල ලෙස සැලකෙන පාර්ලිමේන්තුව තුළ ගරු ගම්භීර අයුරින් හැසිරීමටත් ජනතා පරමාධිපත්‍ය සුරැකීමටත්ය. එහෙත් ඇතැම් හැසිරිම් පමණක් නොව ඇතැම් අයගේ වාග් විලාශය පවා ජුගුප්සාජනකය. දේශපාලන වේදිකාවට ගැළපෙන වාචාල කතා පාර්ලිමේන්තුවට නිගාවක් බව මොවූහු නොදනිත් ද? මෙයට තිබෙන විසඳුම නාමල් මන්ත්‍රීවරයා යෝජනා කරන පාර්ලිමේන්තු කටයුතු සජීව ලෙස විකාශය නොකිරීම ද? එසේ නැතහොත් සමාජ මාධ්‍ය වාරණය ද?

මේ පරිහානිය තුළින් අපට එළැඹිය හැකි නිගමනය කුමක්ද? මහජන මන්ත්‍රීවරුන් ලෙස පත් කර ගත යුතු අය සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් නැති බවය. මේ පාර්ලිමේන්තුවේ ද විනයගරුක සංවරශීලී සාරධාර්මික අය සිටිති. බොහෝ විට පක්ෂවල වල්ගා ලෙස හැඳින්විය හැකි අයට මේ සාර සම්ප්‍රදායයන් තබා ආචාරශීලීත්වයක් හෝ නොමැති බව තහවුරු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ ජනතා නැගිටීම් දෙකේ දෙකේ පොලුවලින් මර්දනය කළ යුතු යැයි මුග්ධ ප්‍රකාශ කරන අය ද සිටිති. එහෙත් අද ඉදිරියට එමින් තිබෙන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ හා සමාජ වෙනසක් යන ජනහඬය. එහෙත් ඒ ජනතා අභිලාෂය යටපත් කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබේ.

ජනාධිපති රනිල් විධායක බලය සියල්ලටම උඩින් තබා ගැනීමේ මානසිකත්වයකින් කටයුතු කරන අතරම පොහොට්ටුවේ ඔළුගෙඩි යොදාගන්නේ ද තම අභිමතය බලාත්මක කිරීමටය. හමුදාව හා පොලිසිය ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කිරීමට ඇති ප්‍රබල සාධකය වුව ද මහපොළොවේ දේශපාලනය එයට වෙනස් එකක් බව ද ආණ්ඩුව දනී. ජනාධිපති රනිල් 2024 මැතිවරණ වසරක් ලෙස ප්‍රකාශ කිරීම තුළින් පැහැදිලි වන එක් දෙයක් ඇත. එනම් අලුත් ජනවරමක් නොමැතිව තවදුරටත් රට ගෙනයෑමට නොහැකි බව ඔහු වටහාගෙන ඇති බවය. විශේෂයෙන් රටේ ආර්ථිකය කඩාවැටීමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරුන් ප්‍රමුඛ කණ්ඩායම නම්කර තිබීම බරපතළ තීන්දුවක් බව ජනාධිපති රනිල් ද දනී. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කොන්දේසි විරහිතව ස.ජ.බ., ජා.ජ.බ. පමණක් නොව රාජපක්ෂ කඳවුරට එරෙහි සියල්ලෝම එක්විය යුතු වෙති යන අලුත් තේමාවක් ද මතුවෙමින් තිබේ.

ගෝඨාභයට විධායක පුටුව අහිමි කරමින් එදා 2022 දී කූටප්‍රාප්තියට පැමිණි ජනතා අරගලය යළි ආපස්සට හරවමින් වැඩවසම් හා ගතානුගතික ප්‍රභූ තන්ත්‍රය යළි බලය අත්කර ගත් බව සැබෑය. එහෙත් අද එහි පැවැත්ම අභියෝගයට ලක්ව තිබේ. ඒ ජන අරගලය නායකත්වයක් නොමැති කවන්ධයක් වීම සාම්ප්‍රදායික දේශපාලනයේ නැඟී සිටීමට හේතු වුවත් අද එය අවසන් අදියරට ළඟාවෙමින් තිබෙන බව පැහැදිලිය.

ඉහත සඳහන් කළ පරිදිම ජනාධිපති රනිල් ඒ වනවිට ජනතාව පීඩනයට පත් කරමින් තිබුණු විදුලිය, ඉන්ධන, ගෑස් ඇතුළු අර්බුද සමනය කරමින් කිසියම් බලාපොරොත්තුවක් ද රටට ලබා දීමට සමත් විය. ඔහු සුවිසල් ආර්ථික චිත්‍රයක් පෙන්වමින් දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමා කිරීමට ද සියුම් විය. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණය එහෙමපිටින්ම යටපත් කළ ආකාරය ද අපට මතකය. මේ වනවිට ජනාධිපති රනිල්ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මුහුණ ද ගැලවී ගොස් තිබේ. අද රටත් ජනතාවත් හිරවී සිටින්නේ ඔහු ද වගකිවයුතු ආර්ථික අර්බුදයේය.

ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවේ අදහස මෙන්ම උපක්‍රමය වූයේ ද ආර්ථික අර්බුදයේ පීඩනය සමාජගත කරමින් දේශපාලන ප්‍රතිසංස්කරණ පස්සට තල්ලු කිරීමය. පීඩාකාරී ජීවන රටාව වෙනස් කරමින් ආර්ථික සංවර්ධනයක් ළඟා වන බවට ආණ්ඩුව දැඩි ප්‍රචාරයක් ද ගෙන ගියේය. රටේ දේශපාලන බලය කා අතට පත් වුවත්, මේ දුෂ්කරතාවලින් ජනතාවට නිදහස් නොලැබෙන බව ද ආණ්ඩුවේ අනුගාමිකයෝ ද කීහ. එහෙත් ආණ්ඩුව රටේ ජනතාවගේ පීඩාකාරී ජීවන රටාව කෙරෙහි අසංවේදී, සිත් පිත් නැති පාලක ජුන්ටාවක් බව ජනතාව තේරුම් ගෙන ඇත. මහා පරිමාණ දූෂණ, අක්‍රමිකතා, ගසාකෑම් කිසිදු බාධාවකින් තොරව සිදුවන බව ද ජනතාවගේ චෝදනාවය. දූෂණයට එරෙහි වීම සියදිවි නසා ගැනීමක් බව ක්‍රිකට් අර්බුදය නිසා ඇමැති ධුරය ද අහිමි වූ රොෂාන් රණසිංහ ප්‍රසිද්ධියේම පවසා තිබේ. ජනාධිපති රනිල් ලංකාවේ ක්‍රිකට් ගැන දින කීපයකට පෙර කතා කළත් දුෂණ චෝදනා විමර්ශනයක් ගැන මතක් කළේවත් නැත. දුෂණ විරෝධී පනත සම්මත වුවත් තවමත් එයට අදාළ සාමාජිකයන් පත්කර නැතැයි ද වාර්තා වේ. එය සත්‍යයක් නම් දුෂණ චෝදනා විමසා බැලීමට මේ පාලකයෝ පසුබසිත් ද යන ප්‍රශ්නය අපට ද මතුකළ හැකිය. ඒ මොනවා වුවත් දූෂණ, වංචා සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයන්ට තිබෙන චෝදනා නම් බරපතළ බව ද කිව යුතුය. මහ බැංකු මංකොල්ලය, සීනි බදු, පොහොර හොර හා වෙනත් රාජ්‍ය ආයතනවල දූෂණ ගැන ද අයවැය විවාදය අතර පවා ඇසුණි. ජා. ජ. බ. නායක අනුර කුමාර පාර්ලිමේන්තුවේදීම පැවසුවේ දූෂණ මැඩීමට තමන්ට බලයක් තිබුණේ නම් මේ සභාවේ සිටින සෑහෙන පිරිසක් දැකගැනීමට බන්ධනාගාරයට යෑමට සිදුවනු ඇති බවය. ඒ පොහොට්ටුවේ මහින්දානන්ද දුන් පිළිතුරක් අනුවය.

ජනතාවම ෆ්ලැට් ඒත් අනුමතයි වැට්!

කෙසේ වුව ද ජනාධිපතිවරුන් කිසිවෙක් අඩුම තරමින් මෙම දූෂණ, වංචා, හොර, මගඩි විමර්ශනය කිරීමට උනන්දු නොවූහ. මේ ජනාධිපතිවරයා ද ඒ දුෂ් පිළිවෙතම අනුගමනය කරන්නෙහි ද? අද ඔහුගේ පාලනයේ අතිශය විවාදාත්මක කරුණ වන්නේ ද ඒ සියලු අශ්ලීල දූෂණ ක්‍රියාවලට වන්දි ගෙවීම සඳහා ජනතාව මත බදු බර පැටවීමය. ජීවිත කාලයම රාජ්‍ය සේවයට කැපකර ඉතිරි කරගත් ඊ. පී. එෆ්. සහ ඊ. ටී. එෆ්. විශ්‍රාම මුදල් ප්‍රතිව්‍යුහගතකරණයද මේ අහිංසක ජනතාවට මුහුණ දීමට සිදුවී තිබෙන විපතක් වැන්න. රටක ආර්ථිකයක් විනාශ කළ පාලකයන් හා නිලධාරීන් එබඳු අරමුදල් දෙස බැලීම පවා ලැජ්ජා සහගත මෙන්ම අන්ත අසාධාරණ ක්‍රියාවක් නොවේ ද? ජනතාව එයට බියවීම අසාධාරණ ද? දේශීය බැංකුවලින් කෝටි ගණන්, ණය මුදල් ලබාගත් ඇතැම් ව්‍යාපාරිකයෝ ඒවා ගෙවීම පැහැර හැර සිටිති. ඔවූහු ආණ්ඩුවල ගජමිතුරු සමාගම්ය. එහෙත් සුළු මුදලක් ඉතිරි කරගත් දුප්පතාගේ ගෙල මුලින්ම අල්ලන බදු ක්‍රමවල සදාචාරය කුමක්ද?

පොහොට්ටුවේ ද අනුමැතිය සහිතව ජනාධිපති රනිල් විසින් ක්‍රියාත්මක කරන ලද ආන්දෝලනාත්මක බදු ප්‍රතිපත්තියට එල්ල වූ සියලු විරෝධතා, දුක්ගැනවිලි ආදියට අසංවේදී වූ පාලනයක කූටප්‍රාප්තිය ලෙස ඉකුත් 10 වැනිදා ඉදිරිපත් වූ වැට් බදු සංශෝධන කෙටුම්පත හැඳින්විය හැකිය. ආණ්ඩුව හදිසි පනතක් ලෙස මෙන් සම්මත කර ගැනීමට ඉරිදා (10 දා) දිනයේත් පාර්ලිමේන්තුව කැඳවා තිබිණි. එහෙත් එදින වැට් පිළිබඳ විවාදයට උචිත ගණපූරණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව එම විවාදය 11 වැනි දිනට යොදා ගත්තේය. මෙම විවාදය නියමිත ආකාරයට නොපැවැත්වුණත් ඒ වෙනුවෙන් විශාල මුදලක් (ලක්ෂ 100 කට ආසන්න) අපතේ හැරිම ගැන ජනමාධ්‍යවල ද විවේචනයට ලක්වූවකි. රටක් ආර්ථික අර්බුදයේ පත්ලට වැටී සිටින මොහොතක මෙබඳු දේ සිදුවීම ගැන ගරු මැති ඇමැතිවරු වගකිවයුතු නොවෙත් ද? ඒවා ජනතාවගේ මුදල් බව ද අප පෙන්වාදිය යුතුය. ආණ්ඩු පක්ෂයේ 17 ක් විපක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් පමණක් සභා ගැබේ සිටි බව ද වාර්තා විය. අනේ සාදුයි කීවත් වරප්‍රසාදවලට හසුවිය හැකිදැයි නොදනිමු.

ජනාධිපති රනිල් ආර්ථික විජ්ජාකාරයකු ලෙස සමහරුන් හැඳින්වුවත් මේ වනවිට රටේ සමස්ත ආර්ථික අර්බුදයට අමතරව ගෘහස්ථ ජීවිත බහුතරයක ඉරණම අතිශය ඛේදජනක වී තිබෙන බව එම ක්‍ෂේත්‍රවල විද්වත්හුම පවසති. රාජ්‍ය සේවක වැටුපට රු 10,000 ක් එක්වුවත් වැඩ කරන සෙසු කොටස්වලට හා විරැකියා මෙන්ම ස්ථිර ආදායමක් නොමැති අයගේ ඉරණම දුක්මුසුය. ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල ඔවුන්ට දරාගත නොහැකි විය. විකිණිම, පෞද්ගලීකරණය නිසා සිදුවිය හැකි විපත්වලට අමතරව වැට් බද්ද හැම කෙනකුගේම ජීවිත අවදානමකට යොමු කරවන්නකි. ජීවන වියදම ඉහළ යන ඉලක්කම ආණ්ඩුව දක්වන සීමාව තුළ ස්ථාවරව පවතින්නේ ද නැත. වැට් බද්ද සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තේ සිට බලන කිසිවකුට සතුටු විය නොහැක. පොහොට්ටුවේ නාමල් ද ඒ නිසා මෙයට විරුද්ධ වන බව ප්‍රකාශ කර තිබිණි. එසේ වුව ද ඔහු වීරයකු වන්නේ මෙයට එරෙහිව සිය කණ්ඩායම සමග අරගලයක් කළේ නම් පමණි. ඒ නිසා ඔහුගේ පතෝල විරෝධය අරුත්සුන් බව පමණක් කිව යුතුය.

මෙම වැට් බද්ද අනුමත කර ගත්තේ පොහොට්ටුවේ බහුතරය නිසාය. විපක්ෂයට විවාදයක් නොලැබුණු අතර ඒ සඳහා වූ ඡන්දයෙන් ද ආණ්ඩුව වැඩි ඡන්දයෙන් ජය ගත්තේය. වැට් බද්ද නිසා ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල ගණන් ඉහළ යෑමේ විපාක පමණක් මෙතෙකැයි කිව නොහැක. භාණ්ඩ 90 කට ආසන්න ප්‍රමාණයක මිල ගණන් ද අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇත. පොහොරවලට වැට් බද්ද බලපෑම නිසා ගොවි ජනතාවම අසරණ වනු ඇත. ඩීසල් මිල පොදු ප්‍රවාහනයට අමතරව ධීවර බෝට්ටු සඳහා සෘජුවම බලපාන බව ද නිසැකය. ඇත්ත වශයෙන්ම මේ වැට් බද්ද දරාගත හැකි කීයෙන් කී දෙනාට ද? බුලත් විට පවා ඉහළ දැමීමට සිදුවනු ඇත. විපක්ෂනායක සජිත් කියන පරිදි වැට් බද්ද භූමදානයට හා ආදාහනයට ද බලපාන කතාව අතිශයෝක්තියක් විය නොහැක. සාමාන්‍ය ජනතාව මේ පිළිබඳව පළ කරන විරෝධය පාර්ලිමේන්තු සභා ගර්භයේ වාග්මාලාව තුළ ද කාවැදී තිබිණි. මෙයට පක්ෂව ඡන්දය දෙන අයට හෙණ ඉල්ලුවේ ද ශ්‍රීලනිපයේම මන්ත්‍රීවරයෙකි. ඒ දයාසිරි බව මගේ මතකයයි. ඇත්තටම රටම ෆ්ලැට් වුවත් ආණ්ඩුව වැට් බර ජනතාවට පටවා තිබේ. ඊට වඩා යමක් කීමට අවශ්‍ය ද නැත.

මෙම අයවැය තුළ ආණ්ඩුවට මැතිවරණ ක්‍රියාදාමය ද සිහිපත් වූ බව පෙනේ. වතුකරයේ ජනතාවට පමණක් නොව තවත් ජන කොටස්වලට ප්‍රතිලාභ ලබාදීමට යෝජනා කර ඇත්තේ ඒ නිසා විය යුතුය. ගොවි පවුල්වලට ඉඩම් හිමිකාරත්වය, මහල් නිවාස අයිතිය වැනි දේවල් ආකර්ෂණීය පොරොන්දුය. එබඳු ඇඟවීම් තිබුණත් මේ වැට් බද්ද බලාත්මක වීමෙන් පසු සමාජය තුළ ඇති විය හැකි කම්පනය කෙබඳු එකක් වනු ඇත්දැයි පුරෝකථනය කළ නොහැක. එදා වේල සොයා ගත නොහැකි ජනතාව පමණක් නොව දැනටමත් බදු පීඩනයෙන් හෙම්බත්ව සිටින වෘත්තිකයන්ට ද මේ වැට් බද්ද මාරක අභියෝගයකි. මේ වෙනුවෙන් පෙනී සිටි කවරකුට වුව ද ජනතාවගේ ප්‍රසාදයක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක. මේ සමාජ දේහපාලන කැලඹිල්ලට ආණ්ඩුව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද? අලුත් මහජන වරමක් ලබා ගැනීම හැර අද රටට වෙනත් විකල්පයක් නැතැයි ඇතැම් සමාජ, දේශපාලන විචාරකයෝ ද පවසති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment