ජලය පානයෙන් කොලෙස්ටරෝල් පාලනය වේ

4991

අප බොහෝ දෙනා ජලය පානය කරන්නේ තිබහ ඇතිවූ විටදීය. තම සිරුරේ නිරෝගී බව රැකගැනීමේ අරමුණින් දිනපතා ජලය නිසි ප්‍රමාණයට පානය කරන පිරිස ඇත්තේ සුළු ප්‍රමාණයකි.

● ජලය පානයේ වැදගත්කම

ජලය යනු අපෙග් සිරුරට වැදගත් පානයකි. වකුගඩු මගින් හොඳින් මුත්‍රා පෙරී යෑමට, රුධිර සංසරණය නිසි ලෙස පවත්වාගෙන යෑමට, මළපහ හොඳින් සිදුවීමට, සිරුර විජලනයෙන් වළක්වා ගැනීමට, සම වියළීම වළක්වා ගැනීමට ජලය පානය අවශ්‍යය.

ඒනිසා තිබහ නැතිකර ගැනීමට පමණක් ජලය පානයට යොමු නොවිය යුතු බව මින් අප වටහාගත යුතුය.

ජලය පානය සම්බන්ධව වර්තමානයේ හඳුනාගෙන ඇති නවතම තොරතුරු අනුව දිනපතා නිසි ලෙස ජලය පානය කරන්නේ නම් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වන බව තහවුරු වී ඇත.

● දිනකට ජලය පානය කළ යුතු ප්‍රමාණය

වැඩිහිටි පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 2ක් පමණ පානය කළ යුතුය. ඒ සඳහා ඇති පොදු සමීකරණය අනුව පුද්ගලයකුගේ සිරුරේ බර කිලෝග්‍රෑම් එකකට ජලය මිලිලීටර් 35ක් පානය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ඒ අනුව සිරුරේ බර කිලෝග්‍රෑම් 50ක් සහිත පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 1 1/2කට වැඩි ප්‍රමාණයක් (1.75L) පානය කළ යුතුය.

මෙහිදී අප ගනු ලබන දියරමය පානයන් ද මේ සඳහා ඇතුළත් වේ. එනම් තේ, කෝපි, බීම වර්ග, කැඳ වර්ග ආදී දියරමය පානයන් අප දිනකට ගනු ලබන ජලය ප්‍රමාණය අතරට එක්වේ. එනිසා එවැනි පාන වර්ග ගන්නා විට ජලය පමණක් වෙනම ලීටර් දෙකක් පමණ ප්‍රමාණයක් පානය කළ යුතු නැත.

● විජලනයට පත්වීම

අප දිනකට ගතයුතු ජලය ප්‍රමාණය ඉතා අඩු වනවිට සිරුර විජලනයට පත්වේ. මෙය දීර්ඝ කාලයක් පැවතීමෙන්, වකුගඩු මගින් මුත්‍රා පෙරීමේ කටයුතු සඳහා බාධා ඇතිවේ. එවිට මුත්‍රා සාන්ද්‍රණය ඉහළ යෑම නිසා මුත්‍රා දැවිල්ල හටගනී. වකුගඩුවල ගල් ඇතිවිය හැකිය.

සම වියළී ගොස් පැහැපත් බව අඩුවේ. මළ බද්ධය හටගනී. ඇඟපත තෙහෙට්ටු බවක් දැනේ. මස්පිඬු වේදනාව හටගනී.

● කුඩා දරුවන්ට

වයස අවුරුදු 18 දක්වා දරුවන්ට ඔවුනගේ බර අනුව දිනකට ගතයුතු ජලය ප්‍රමාණයක් ඇත. එය කිලෝග්‍රෑමයකට මිලිලීටර් 30ක් (1kg:30ml) ලෙස පවතී.

මෙය වැඩිහිටියන්ට මෙන් නොව නිසි අවධානය යොමුකර ලබාදීමට පියවර ගැනීමෙන් දරුවන්ගේ වර්ධනයට උපකාරීවේ. නිතර ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩුකර ගත හැකිය.

එබැවින් ජලය පානය තිබහට පමණක් සිදු නොකර සිරුරේ නිරෝගී සෞඛ්‍යය පවත්වාගෙන යෑම සඳහා සිදුකිරීමට අප අවධානය යොමු කළ යුතුය.

ජලය පානයෙන් කොලෙස්ටරෝල් පාලනය වේ

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂණවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විශේෂ වෛද්‍ය සනත් සේනානායක

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment