අඳුරු ලොව එළිය කරන භාවනා – (01)

464

මානසික සුවය සඳහා මෙන්ම නිරෝගී මනසක් ලැබීම සඳහාත් අපිරිසිදු වූ සිත පිරිසිදු කර ගත යුතුය. නිතර අපවිත්‍ර වන ශරීරය හා ඇඳුම් පැළඳුම් අප පිරිසිදු කර ගන්නේ නෑමෙන් හා සේදීමෙන් ය. එමෙන්ම ශාරීරික දුර්වලතා හා ලෙඩ රෝග සුවකර ගැනීමට ව්‍යායාම ක්‍රීඩා හා වෛද්‍ය ප්‍රතිකාර උදව් වේ. ඇඳුම් පැළඳුම් ආදිය මෙන් සිත ද නොයෙකුත් හේතු නිසා අපිරිසිදු වෙයි. සිත අපිරිසිදු වන්නේ වෛරය හා ක්‍රෝධය හා පළිගැනීම වැනි අකුසල් සිතුවිලි නිසා ය. අපිරිසිදු සිතුවිලි ඇති වූ විට හොඳ වැඩ කිසිවක් කළ නොහැකිය. අපිරිසිදු සිතින් කරන හා කියන සෑම දෙයක්මත් අපිරිසිදු ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මපදයේ චිත්ත වග්ගයේ ගාථාවන්ගෙන් මිනිස් සිතේ ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත වටහා ගත හැකි වේ.

“දුර ගමන් කරන, තනිව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන සිත දමනය කර ගන්නා තැනැත්තා මාරයාගේ බැම්මෙන් මිදෙත්.”

පුද්ගලයාගේ සිත බොහෝ දුර ගමන් ගන්නා එකකි. දුර බැහැර සිට පැමිණි කෙනෙකුට කවර ස්ථානයක සිටිය ද හදිසියේම පෙර සිටි ස්ථානයට සිතින් යා හැකිය. එසේම සිත ගමන් කරන්නේ තනිවම ය. ඒ ගමනට කිසිවකුට එක්විය නොහැකිය. ශරිරය නමැති ගුහාවක වාසය කරන සිතට ඔබ මොබ ගමන් කිරීම සඳහා ශරීරයේ ආධාරය අවශ්‍ය නොවේ. සියල්ල මෙහෙයවන්නේ සිත බැවින් එය දමනය කර ගැනීමෙන් මාරයාගේ ග්‍රහණයෙන් මිදීමට හෙවත් සසර දුකින් මිදීමට හැකි යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සිත කිලිටි කරන අකුසල් සිතුවිලි පහළවීම මිනිස් සිතේ ස්වභාවයයි. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් සිතුවිලි සත්ත්වයා දුකට හෙළන, සංසාර ගමන දිගු කරන, කෙලෙස් ය. මෙම කෙසෙල් සිතුවිලි මැඩපවත්වා කුසල් සිතුවිලි උපදවා ගැනීමට සිත පුරුදු පුහුණු කිරීම භාවනායි. මෙම කෙලෙස් සිතේ පවත්නා අවස්ථා තුනක් තිබේ.

01 තුඹසක නිදා සිටින නාගයෙකු මෙන් සිත තුළ කෙලෙස් නිදා සිටින අවස්ථාව අනුසය අවස්ථාවයි. එය ලෝභය, කෝපය වැනි අකුසල් සිතුවිලි සිත තුළ ඇති බවත් පුද්ගලයාට නොදැනෙන අවස්ථාවකි.

02 නිදා සිටි නාගයා තුඹසින් මතුවන්නාක් මෙන් සිත තුළ පවත්නා කෙලෙස් මතුපිටට පැමිනෙන අවස්ථාව පරියුට්ඨාන නම් වේ. මෙහිදී අකුසල් සිතුවිලි සිතට නැගෙන අන්දම දැකගත හැකිය. පහරදීම, බැන වැදීම, සොරකම් කිරීම ආදී වැරදි කිරීමට සිතෙන්නේ එවිටය.

  1. නාගයා පෙනය පුප්පා දෂ්ඨ කරන්නාක් මෙන් සිත තුළ පවත්නා කෙලෙස් ක්‍රියාත්මක වන අවස්ථාව වීතික්කම නම් වේ. කෙලෙස් සිතුවිලි අනුව අකුසල් කෙරෙන්නේ මෙම අවස්ථාවේදී ය.

සෑම බෞද්ධයෙකුගේම අවසාන අපේක්‍ෂාව නිවන් අවබෝධයයි. ඒ සඳහා ශික්‍ෂණ මාර්ගයක් තිබේ. සීල, සමාධි, ප්‍රඥා යන තෙවදෑරුම් ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි. සීලයෙන් කය වචනය යන දෙකෙහි සංවරය ඇති වේ. සමාධියෙන් සිත එකඟතාවට පත්කර ගැනීම සිදු වේ. ප්‍රඥාවෙන් සත්‍යාවබෝධය වේ. මෙසේ සිත එකඟ කර ගැනීමටත්, නුවණ දියුණු කර ගැනීමටත් ප්‍රගුණ කළ යුතු වන්නේ භාවනාවයි. භාවනාව මගින් ඇති කරගන්නා සමාධිය නිවනට මුල් වෙයි.

පන්සිල්, අටසිල්, ආදී සීලයන්ගෙන් කෙරෙන්නේ කය, වචනය, සංවරවීමෙන් තාවකාලිකව කෙසෙල් යටපත් කිරීමයි. කෙලෙස් සම්පූර්ණ ලෙස ඉවත් කිරීමට නම් භාවනාවෙන් සමාධිය හා ප්‍රඥාව දියුණු කළ යුතුයි. සිත හික්මවා ගැනීම මෙන්ම නුවණ දියුණු කර ගැනීම සඳහා කළ යුතු භාවනා දෙකක් තිබේ.

  1. සමථ භාවනාව

2 විදර්ශනා භාවනාව

සමථ භාවනාව යනු සිත යහපත් අරමුණක පිහිටුවාගෙන ඒ අනුව හික්මීමයි. ඒ සඳහා බුද්ධානුස්සති, ආනාපානසති, මෛත්‍රී ආදී කමටහන් හතළිහක් තිබේ. චිත්ත භාවනාව, සමාධි භාවනාව යනුවෙන් ද සමථ භාවනාව හඳුන්වයි. නිවන් මඟ අහුරන, නිවනට බාධා ගෙන දෙන කෙලෙස් පහක් පුද්ගල මනසෙහි තිබේ. ඒවා පංච නීවරණ නම් වේ. සමථ භාවනාවෙන් එම කෙලෙස් තාවකාලිකව යටපත් කළ හැකිය.

  1. කාමච්ඡන්ද – කම්සැප විඳීමේ කැමැත්ත
  2. ව්‍යාපාද – කෝපය හෙවත් තරහව
  3. ථීනමිද්ධ – උදාසීන බව හා අලකම
  4. උද්ධච්ඡ, කුක්කුච්ඡ – සිතේ නොසන්සුබව හා පසුතැවිලි වීම.
  5. විචිකිච්ඡාව – තෙරුවන් පිළිබඳ සැකය.

සමථයෙන් සිත ධ්‍යාන නමින් හැඳින්වෙන මනසේ දියුණු අවස්ථාවට පත්කළ හැකිය. ධ්‍යාන ශක්තිය හීන වී යෑමෙන් නැවත කෙලෙස් ඉස්මතු වීමට ඉඩකඩ වැඩිය. සමථය සමාධියට මඟ සාදයි. විදර්ශනා භාවනාව, ප්‍රඥා භාවනාව නමින් ද හඳුන්වයි. නුවණ දියුණු කරන භාවනාවකි. පංචස්ඛන්ධය දෙස ගැඹුරින් බැලීම විදර්ශනා භාවනාවයි. ලොව අන් කිසිම ආගමක දක්නට නැති මෙම භාවනාව සංසාර දුකින් මිදීමට මාර්ගය වෙයි. අනිතය, දුක්ඛ, අනාත්ම වශයෙන් ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගැනීමයි. එනිසා මෙය ත්‍රිලක්‍ෂණ භාවනාව යනුවෙන් හඳුන්වයි. පුද්ගල සිතෙහි පවත්නා සියලුම කෙලෙස් සම්පූර්ණයෙන් ම සිඳලන භාවනාව මෙයයි. පුද්ගලයා හා ලෝකය දෙස යථා තත්ත්වයෙන් බැලීම මෙම භාවනාවෙන් සිදු වේ. නුවණ දියුණු කරන අතර සිත කිළිටි කෙරෙන හ සත්ත්වයා සසරට බැඳ තබන කෙලෙස් සම්පූර්ණයෙන් ම නැතිකොට සෝවාන් ආදී මගඵල නිවන් සුව අත්කර දෙයි.

භාවනාව ලෝකෝත්තර සැප සඳහා පමණක් ඉවහල් වන්නක් නොවේ. මිනිසාගේ දෛනික ජීවිතය යහපත් අතට යොමුකර ගැනීමට ද ඉවහල් කර ගත හැකිය. භාවනාවෙහි ආනිසංස රාශියක් ඇත. ආශාව, කෝපය, රාගය වැනි කෙලෙස් නිසා ඇති වන මානසික අසහනය නැති වෙයි. ධාරණ ශක්තිය දියුණු වෙයි. එදිනෙදා ඇති වන විවිධ ගැටලු පිළිබඳව නිරවුල් අවබෝධයක් ඇති වෙයි. නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ද මේ නිසා වැඩි වෙයි.

සුවසේ නිදා ගැනීමට මෙන්ම අවදි වීමට ද, නපුරු සිහින නොපෙනීමට ද භාවනාව හේතු වේ. භාවනා කරන තැනැත්තා සුහදශීලී කරුණා භරිත හදවතක් ඇත්තකු වන බැවින් මිනිසුන්ට ප්‍රියමනාප වේ. දෙවියන්ගේ පවා ආරක්‍ෂාව ලබන්නෙක් වෙයි. ගින්නෙන්, වස විසවලින්, ආයුධවලින් පවා හානි වීම වළකයි. සිහි මුලාවෙන් තොරව මියයෑමට ද භාවනාව හේතු වෙයි. සුගතියෙහි ඉපදීමේ හැකියාව ද උදාවන අතර කෙලෙස් දුරුවීමෙන් සසර දුකින් මිදීමටත් නිවන් අවබෝධකර ගැනීමටත් භාවනාව ප්‍රයෝජනවත් වේ.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

දඩල්ල, වාලුකාරාම වෙහෙර වැසි
● ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment