නියඟයෙන් කුඹුරු අක්කර 51055 කට හානි

92

පවතින නියඟය හේතුවෙන් 22 වැනිදා වනවිට වගා හානි සිදුවී ඇති වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අනෙකුත් භෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70 කි. වී සහ අනෙකුත් භෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89 ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

එම මණ්ඩලය විසින් සකස් කරන ලද වගා හානි තක්සේරු කිරීම් අනුව සකස් කළ දෛනික වාර්තාව ඊයේ (23 දා) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එවනු ලැබ ඇත.

ඒ වාර්තාවට අනුව වගා හානිවලට ලක්වූ වී වගා කරන ගොවීන් සංඛ්‍යාව 45,678 ක් වන අතර, අනෙකුත් භෝග හානි සම්බන්ධව ගොවීන් ප්‍රමාණය 394 ක් වේ. වී සහ අනෙකුත් භෝග වගා හානි සිදුවී ඇති සමස්ත ගොවීන් ප්‍රමාණය 46,072 කි.

ඊයේ (23 දා) දිනය වනවිටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබිණි. ඒ අනුව එය අක්කර 24,647.92 කි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවී ඇති ගොවීන් ප්‍රමාණය 29,472 කි.

දෙවැනිව වැඩිම වගා හානි ප්‍රමාණයක් උඩවලවෙන් වාර්තා වන අතර, එය අක්කර 14,067 කි. ගොවීන් ප්‍රමාණය 5867 කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය 1898.25 ක් වන අතර පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 1787 කි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී වගා කළ කුඹුරු අක්කර 699.75 ක් වගා හානි වී ඇති අතර, පීඩාවට පත් ගොවීන් සංඛ්‍යාව 320 කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 336.20 ක් වගා හානි වීමෙන් ගොවීන් 292 ක් පීඩාවට පත්ව ඇත.

මේ අතර නියඟය හේතුවෙන් ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාවය උදෙසා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමේ අමාත්‍ය මණ්ඩල සටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment