රිෂාඩ්ගේ නිවසේදී මෙහෙකාරියන්ට දසවධ දීලා – නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් – කෑමට දුන්නේ ඉතුරු වුණු ඉඳුල් ආහාර

312

නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක කෲරත්වයට හා දාසභාවයට පත්කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිවුදෙනා ඇපමත මුදාහරින ලෙසට විත්තිය කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

ජූඞ් කුමාර් ඉෂාලිනි නමැති එම දැරියගේ මරණය හා දූෂණයට ලක්වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර ඉදිරි නඩු දිනයේදී අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙසට එහිදී පොලිස්පතිවරයාට නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය අධිකරණයට වාර්තා කිරීමට පෙර එකී විමර්ශන සම්බන්ධ තොරතුරු මාධ්‍යයට අනාවරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසටද පොලිස්පතිවරයාට නියෝග කළාය. එකී විමර්ශන ඉතා සංකීර්ණ විමර්ශනයක් බවත් ඒ සම්බන්ධයෙන් අනාවරණය වන ඉතා සංවේදී තොරතුරු පවා අධිකරණයට වාර්තා කොට අවශ්‍ය නියෝග ලබාගැනීමට පෙර පොලිස් මාධ්‍ය ඒකකය හා වෙනත් අංශ විසින් මාධ්‍යයට අනාවරණය කිරීම විමර්ශනවලට බාධාවක් වන බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

විමර්ශන නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සඳහා තම අධිකරණයෙන් ලබාගන්නා නියෝග කි‍්‍රයාත්මක කිරීමටත් පෙර ජනමාධ්‍ය මගින් ප‍්‍රචාරය වීමෙන් විමර්ශනවලට ඉතා අප‍්‍රතිකාරී හානියක් සිදුවන බවට පැමිණිල්ල දක්වන කරුණු තම අධිකරණයද පිළිගන්නා බවත් එමගින් අදාළ සැකකරුවන්ට පොලිසියෙන් වසන්වීමට මඟපෑදෙන බවත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය. එවැනි ඉතා සංවේදී තොරතුරු වින්දිත දැරියගේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව ප‍්‍රචාරය කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුවේ දෙවන හා තෙවන සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇති බවත් ප‍්‍රමාණවත් සාක්‍ෂි ඇති දැයි තීරණය කළ යුත්තේ අධිකරණය මිස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නොවන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

මාධ්‍යවේදීන් අධිකරණයට පැමිණ විවෘත අධිකරණය හමුවේ සියලූ පාර්ශ්ව දක්වන කරුණු වාර්තා කිරීම වෙනුවට එක් පාර්ශ්වයක් පමණක් දක්වන කරුණු උපුටා දැක්වීම මගින් අනෙක් පාර්ශ්වවලට අගතියක් වන්නේ යැයිද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකුගේ දුරකථනවලට අදාළ විශ්ලේෂණ වාර්තා අධිකරණයේ අවසරයකින් තොරව හා අධිකරණ නියෝගයක් නොමැතිව අදාළ දුරකථන සමාගම්වලින් විත්තිය ලබාගැනීමෙන් මෙන්ම එකී මරණයෙන් පසුව පොලිස් නිලධාරීන් යොදවා අගතියට පත් පාර්ශ්වයට විත්තිය බලපෑම් කර ඇති බවට තම අධිකරණයට පෙනී යන්නේ යැයි අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

විමර්ශන අවසන්වීමට පෙර විශේෂයෙන් එකී මරණය සම්බන්ධයෙන් සිදුකළ දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අධිකරණයට ලැබීමට පෙර සැකකරුවන්ට ඇප ලබාදුනහොත් ඔවුන් සතු දේශපාලන සමාජීය හා ආර්ථික බලය අනුව ඉදිරි විමර්ශනවලට හා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩකඩ පවතින බව පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු තම අධිකරණයට ප‍්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් නොමැති බවද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

ජීවත්ව සිටි ඉෂාලිනි දැරියට වඩා මියගිය ඉෂාලිනි දැරිය බලවත්වී ඇතැයි පෙන්වා දෙමින් කරුණු දැක්වීම ආරම්භ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇය මුහුණ දුන් එකී අවාසනාවන්ත ඉරණම තවත් අයකුට සිදුවීමට ඉඩනොතබන පරිදි ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම සියලූ දෙනාගේම වගකීම හා යුතුකම වන්නේ යැයිද පෙන්වා දුන්නේය.

බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි ඇයව එදින පෙ.ව. 11.20 ට පරීක්‍ෂා කළ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රාථමික ප‍්‍රතිකාර අංශයේ වෛද්‍යවරයකු ඇය මනා සිහිබුද්ධියෙන් සිටින බවට ඇදහිසපත් වාර්තාවේ සඳහන් කර ඇතත් ඔහුට පෙර ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් තිදෙනාම සඳහන් කර ඇත්තේ ඇය රෝහලට ඇතුළත් කළ එදිනම නම පමණක් ප‍්‍රකාශ කළ හැකි තත්ත්වයෙන් පසුවූ බව යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එබැවින් මේ වන විට විදේශගතවී ඇති එම වෛද්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර වැඩිදුර විමර්ශන සිදුකිරීමට පියවර ගන්නා බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම දැරිය රෝහල්ගතව සිටියදී එකී ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට පොලිස් මූලස්ථානයේ කොවිඞ් මර්දන අංශය භාර ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලෆාර් නමැත්තා විවිධ බලපෑම් කළ බවට පෙනී යන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී දැරිය පිළිස්සීම සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් විමර්ශන ආරම්භ කළ බොරැුල්ල පොලිසියේ නිලධාරීන් රිෂාඞ් බදුර්දීන් පවුලේ සාමාජිකයන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ඇත්තේ ඔවුන් පොලිසියට කැඳවා නොව එම නිවසට ගොස් වන්නේ යැයි අධිකරණයට පෙන්වාදුන් දිලීප පීරිස් මහතා එකී ප‍්‍රකාශ සටහන් කරණා අවස්ථාවේදීද පෙර කී ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා එම නිවසේ සිට ඇති බවත් අධිකරණයට පෙන්වා දුන්නේය.

එමෙන්ම සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් පසුගිය 8 වැනිදා ප‍්‍රකාශයක් සටහන් කර ඇති බවත් මෙම නඩුවේ හතරවන සැකකාර කිදර් මොහොමඞ් සියාබ්දීන් ඉස්මත් යන අයට එරෙහිව ස්ත‍්‍රී ¥ෂණයක් සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී ස්ත‍්‍රී ¥ෂණය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී. යන්ත‍්‍ර වලට සම්බන්ධ ඞී වී ආර් යන්ත‍්‍රය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කොට එහි අන්තර්ගත දර්ශන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මියගිය දැරිය නැවතී සිටි රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ කාමරයක තිබියදී ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත මහත්මිය විසින් සොයාගත් අඟල් 2 ක් පළල අඩි තුනයි අඟල් අටක් දිග නිල් තැඹිලි කොටු සහිත රෙදි පටිය හා එයට සමාන සරමක් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර කැඳවූ රස පරීක්‍ෂක වාර්තා මේ දක්වා ලැබී නොමැති බවද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ඞී වී ආර් යන්ත‍්‍රය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර පැමිණිල්ල විසින් ඉල්ලා ඇති ප‍්‍රශ්නාවලියේ සඳහන් ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන ලෙසට අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය එහිදී නියෝග කළාය.

එම නඩුවේ සැකකරුවන් වන පොන්නයියා බණ්ඩාරම් හෙවත් සංකර්, අලි ඉබ‍්‍රාහිම් සායිබු කිදර් මොහොමඞ් සිහාබ්දීන්, කිදර් මොහොමඞ් සියාබ්දීන් අයිසා සහ කිදර් මොහොමඞ් සියාබ්දීන් ඉස්මත් යන සැකකරුවන් නිරෝධායනයට ලක්කර ඇති බැවින් ඔවුන් ඊයේ (09දා) අධිකරණයට ඉදිරිපත් කොට නොතිබිණි.

රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ සේවය කළ මෙහෙකාර දැරියන්ට ඔහුගේ බිරිඳ වන තුන්වන සැකකාරිය සලකා ඇත්තේ මනුෂ්‍යකුට නොගැළපෙන ආකාරයෙන් බවත් ඔවුන්ට ආහාර වශයෙන් ලබාදී ඇත්තේ ඉතුරු වන පරණ ආහාර බවත් එයට බෙදාදෙන ප‍්‍රමාණය හැර ඊට අමතරව ආහාරයට ගැනීමේ අවසරය ඔවුනට නොතිබූ බවත් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයන්ට එරෙහිව නඩු පැවරීමට තරම් චෝදනා නොමැති බවත් පැමිණිල්ල දක්වන ලද බොහෝ කරුණු සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි නොමැති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් සැකකරුවන්ගේ නීතිඥවරුන් ඔවුන් ඇපමත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

හතරවන සැකකරුට එරෙහිව ස්ත‍්‍රී ¥ෂණයක් සම්බන්ධයෙන් නඩු පැවරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි හෝ පරිවේෂණීය සාක්‍ෂි නොමැති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රජයේ අධිනීතිඥ එස්. නාරංගොඩ මෙනවිය රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවීය. ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment