අළු ගසා දමා රටක් ලෙස යළි නැගිටින්න ජනතා විශ්වාසය දිනා ගත් නව පාලනයක් ඕනෑ – ඉමිතියාස් බාකීර් මාකර්

62

වත්මන් පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පැරණි රාජපක්ෂ පාලනයේම දිගුවක් බැවින් රටක් ලෙස අළු ගසා දමා යළි නැගිටීමට නම් ජනතා විශ්වාසය දිනාගත් ජනවරමකින් යුත් නව පාලනයක් බිහි කර ගත යුතු බව සමගි ජන බලවේගය මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

මේ පාලනය ගැන ලෝකයේ විශ්වාසයක් නැහැ. රටේ ජනතාවගේ විශ්වාසය නැහැ. ජනවරමකුත් නැහැ. ලෝකය දකින්නේ මෙම පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පැරණි පාලනයේම දිගුවක් ලෙසයි. වත්මන් පාලකයාද ලිබරල් ආර්ථික දැක්මක් ගැන කතාකරමින් ෆැසිස්ට් මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන විට එවැනි පාලනයකට ලෝකයේ විශ්වාසය දිනාගන්න පුළුවන්ද? ජනතා අභිලාෂයන් තේරුම් නොගෙන ඒවාට ගරු නොකරමින් මර්දනයෙන් පමණක් සිය පැවැත්ම රැකගන්න උත්සාහ කරන පාලනයක් ස්ථාවර පාලනයක් යැයි ලෝකය විශ්වාස කරයිද?

රටත් ලෝකයත් විශ්වාස නොකරන අස්ථාවර පාලනයක් ඇති රටකට ආයෝජන ගෙන එන්නට ආයෝජකයන් ක්‍රියා කරාවි යැයි විශ්වාස කරන්නට පුළුවන්ද? මේ තත්ත්වය

ගැන අපි කවුරුත් අවංකවම තේරුම් ගත යුතුයි. රටක් හැටියට අපි අළු ගසා දමා යළි නැගිටින්නට නම් ජනතා විශ්වාසය දිනාගන්නා ජනවරමකින් යුතු පාලනයක් ඇති කර ගත යුතු වෙනවා. ඡන්දයකින් ඒ වරම ලබාගන්නා රජයකට රටේ ජනතාවගේ විශ්වාසයත් ලෝක ප්‍රජාවගේ විශ්වාසයත් දිනාගන්නට පුළුවන්. මේ තිත්ත ඇත්ත අපි කුමන පැත්තේ සිටියත් තේරුම් ගත යුතුයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment