ආසියානු යොවුන් කුසලාන තරගාවලිය: ඉන්දීය ආධිපත්‍යය බිඳ වැටේ

646

එක්සත් අරාබි එමීර් පළමු වරට අවසන් සටනට

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ හෙට (17 වැනිදා) පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය සමත් විය.

ඒ අනුව ආසියානු කුසලාන වයස අවුරුදු 19 න් පහළ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාවට මෙවර පළමු වරට නොහැකි විය.

මෙතෙක් පැවැති ආසියානු කුසලාන 19 න් පහළ තරගාවලි 9 න් 8 කම ශූරයන් බවට පත් වූ ඉන්දියාව 2013 වසරේ පමණක් අනුශූරයෝ වූහ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු වරට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මෙවර සමත් විය.

තරගාවලියේ අවසන් පූර්ව වටය යටතේ ඊයේ (15දා) බංග්ලාදේශය සමග පැවැති තරගයේදී කඩුලු 4 ක පරාජයක් ලබමින් ඉන්දියාවට අවසන් මහා තරගය අහිමි වී ගියේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 42.4 කදී ලකුණු 188 කට දැවී ගිය අතර බංග්ලාදේශය පන්දු වාර 42.5 කදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අරිෆුල් ඉස්ලාම් ලකුණු 90 ක් ලබා ගත්තේය.

ඉන්දියාව ලකුණු 188 කට සීමා කිරීමට බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමක නිරත වූ මරුෆ් රිදා කඩුලු 4 ක් ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා විය.

මුරුගන් අභිෂේක් එහිදී ලකුණු 62 ක් ද, මුෂීර් ඛාන් ලකුණු 50 ක් ද ලැබීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයේ පළමු කඩුලු 3 ලකුණු 34 ක් තුළ බිඳ දමන්නට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූවද අරිෆුල් සහ අහරාර් අමින් 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පකිස්ථානය අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණු අතර එහිදී ලකුණු 11 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට එමීර් ක්‍රීඩාකයෝ සමත් වූහ.

පකිස්ථානයේ උබයිඩ් ෂා කඩුලු 4 ක් දවා ගත් අතර එමීර් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය නායක ආයන් අෆ්ශල් ඛාන් ගේ පිත්තෙන් වාර්තා වූයේය.

ලකුණු සාරාංශය

ඉන්දියාව 188/10 (42.4)
බංග්ලාදේශය 189/6 (42.5)
එ.අ.එමීර් රාජ්‍යය 193/10 (47.5)
පකිස්ථානය 182/10 (49.3)

advertistmentadvertistment
advertistmentadvertistment