සයිබර් අපරාධ පැමිණිලිවලට රට වටා සීඅයිඩී ඒකක 9ක්

274

සමාජජාලා වෙබ් අඩවි සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පරිගණක අපරාධ විමර්ශනය සඳහා දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක නවයක් ස්ථාපිත කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැලසුම් කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පරිගණක අපරාධ ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසා මෙම විශේෂ ඒකක පිහිටුවීමට පියවර ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙම ක්‍රියාවලිය ආරම්භ කරමින් මුල්ම පොලිස් ඒකකය වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් වාරියපොළ පොලිසියේ ස්ථාපිත කිරීමට නියමිතය.

දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි මෙම විශේෂ පොලිස් ඒකක පිහිටුවීමෙන් පසු කොළඹ පිහිටි අපරාධ පරීක්‍ෂණ මූලස්ථානය වෙත පැමිණීමෙන් තොරව මෙම ඒකක වෙත තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

අන්තර්ජාලය ඔස්සේ සහ විවිධ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තරුණියන්ගේ නිරුවත් ඡායාරූප පළ කිරීම, ඒ හරහා විවිධ කප්පම් මුදල් සහ ලිංගික අල්ලස් ලබාගැනීම, විවිධ පුද්ගලයන්ගේ චරිතයට හානි වන නොයකුත් වදන් පළ කිරීම ඇතුළු පරිගණක අපරාධ සම්බන්ධයෙන් පවතින සියලු දේ මෙම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක වෙත පැමිණිලි කළ හැක.

පරිගණක අපරාධ සම්බන්ධයෙන් ඇති පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ඉතාම දුරබැහැර ප්‍රදේශවල සිට කොළඹට පැමිණීමට ඇති අපහසුතාව නිසාම වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment