ඔන්න ඕක තමයි ඇත්ත කතාව…

1124

වව්නියාවේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එහි කඩාවැදුණු කඩු පොලු රැගත් පිරිසක් සාදයේ සිටි පිරිසට පහරදී එම පිරිස ගෙතුළ සිරකොට දොරවල් වසා ගේ ගිනි තබා ඇත. මෙහිදී 21 හැවිරිදි තරුණියක් මියගොස් තිබේ. සෑහෙන පිරිසක් තුවාල ලබා ඇත. කට්ටියක් රෝහලේය. තවත් කට්ටියක් බෙහෙත් සාප්පුවෙන් බෙහෙත් දමාගෙන ගෙවල්වලට ගොස් මර බයේ සැඟවිලාය.

අවුරුදු තිහක යුද්ධයෙන් පසු 2009 දී ප්‍රභාකරන් මරා දැමීමෙන් අනතුරුව උතුර ක්‍රමයෙන් සන්සුන් වන්නට පටන් ගත්තේය. එම සන්සුන් බව පැවතියේ දහ අවුරුද්දක කාලයක් පමණි. ඉන්පසු ආවා නමැති කල්ලියක් උතුරෙන් බිහිවිය. අඩි හතර පහ දිග කඩු සහ මන්න පිහි සමග ගෙවල්වලට කඩා පිනූ ඔවුහු තම විරුද්ධවාදීන් කපමින් හා කොටමින් ඉතාම බිහිසුණු සර්කස් එකක් පෙන්වන්නට පටන් ගත්හ. ඉතා කෙටි කලක් තුළ ආවා කල්ලිය under ground යැවීමට ආරක්ෂක අංශ සමත් වූහ. මෙහිදී under ground යනුවෙන් අප හඳුන්වන්නේ අපාය හෝ යම ලෝකය නොවේ. ආවා කල්ලියේ මිනී මරු තරුණයන් සැඟවුණු බවය. මේ කඩු සෙල්ලම අදත් ඒ විදිහට පවතී. ඒ අතරම උතුරෙන් විවිධාකාරයේ දේශපාලන නොවන ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමට පටන්ගෙන ඇත. උතුරේ තත්ත්වයද දකුණේ තත්ත්වය හා සමාන වී තිබේ. පුද්ගලයන් පැහැරගෙන යෑම, ගහමරා ගැනීම්, වෙඩි තැබීම්, අත් කකුල් කපාගෙන යෑම් යනාදිය දකුණේ පවතින්නේ යම් සේද එය උතුරටත් ඒ ආකාරයෙන්ම බෝවී ඇත. මෙයින් හැඟී යන්නේ ලංකාවේ උතුර හා දකුණ යන කොටස් දෙකම නැවත වතාවක් යථා තත්ත්වයට පත්ව තිබෙන බවය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැය 48 ක ඉන්දියානු සංචාරයක නිරත වන්නේ මේ රටේ උතුර හා දකුණ ඉතාම සමාන ලෙස එක් අංශයකින් හෝ අංශ කිහිපයකින් යථා තත්ත්වයට පැමිණ ඇති මෙවැනි මොහොතකය. තමා හමුවට පැමිණි රාජ්‍යය අමුත්තා වෙතින් නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉල්ලීමක් කර තිබේ. ඒ වූකලී මේ රටේ සිටින දෙමළ ජනයාගේ ආත්ම ගෞරවය රැකෙන පරිදි සහ උසස්වන පරිදි කටයුතු කරන ලෙසය. අවුරුදු 30 ක පමණ යුද්ධය නිසා මේ රටේ සිංහල සහ දෙමළ ජනයා අතර ලොකු අනවබෝධයක් හටගෙන තිබිණ. යුද්ධයෙන් පසු ගතවුණු කාලය තුළ එම අනවබෝධය සම්පූර්ණ වශයෙන්ම පාහේ තුරන්ව ගොස් තිබේ. මේ වෙලාවේ අනවබෝධයක් පවතින්නේ දෙමළ සහ සිංහල යන ජන කොටස් දෙක අතර නොව දෙමළ සහ සිංහල දේශපාලනඥයන් අතර. මේ පාර්ශ්ව දෙකම ස්වකීය ඡන්ද පදනම රැක ගැනීම සඳහා විවිධ කාරණා සම්බන්ධයෙන් බොරුවට බුරා හැලෙති. උතුරේ විහාරස්ථානයකට දෙමළ මිනිසකුගෙන් කිසියම් බලපෑමක් වූහයි කී සැණින් දකුණේ සිංහල බෞද්ධ දේශපාලනඥයෝ සිරුරේ පශ්චාත් භාගයෙන් දුම් දමමින් එයට එරෙහිව හඬ නගති. එමතුදු නොව හැකි නම් උතුරට ටි්‍රප් එකක්ද යති. එම දේශපාලනඥයන් ආපසු කොළඹ ඒම සඳහා බස්වලට ගොඩවූ සැණින් දෙමළ දේශපාලනඥයෝ එහි දිව යති. ඉන්පසු ඔවුන් කතා කරන්නේ දකුණේ සිටින සිංහල බෞද්ධ ආණ්ඩුව උතුරට සලකන්නේ නැත යන මාතෘකාව යටතේය. මේ රටේ උතුරු දකුණු ප්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලනඥයන් මේ රටෙන් තුරන් කිරීමෙන් පමණි. ඔවුන් ජාතිය සහ ආගම විකුණන්නේ රට දැය කෙරෙහි තිබෙන ඇම්මක් නිසා නොව බඩ වඩාගැනීම පිණිස තමන්ට ඇති එකම මාර්ගය එය නිසාය. කෙසේ වුවද ජාතිවාදී දේශපාලනය සහ ආගම්වාදී දේශපාලනය පසුගිය අවුරුද්දක පමණ කාලය තුළදී යම් ප්‍රමාණයකට පසුබැස්සේය. කොරෝනා විපත්තියෙන් පසු කන්න නැතිවූ කල්හි ජනතාව කල්පනා කළේ මුලින්ම කළ යුත්තේ දේශපාලනය නොව ජීවත්වීම බවය. ඒ අතර අගමැති මෝදි රනිල් වික්‍රමසිංහ වෙතින් තවත් ඉල්ලීමක් කළේය. එනම් 1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ යෝජනා කරන ලද දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලගන්වන ලෙසය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු මේ රටේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල පළාත් සභාවලට බෙදාදීම සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද්දකි. ඉඩම් බලතල සහ පොලිස් බලතල යන දෙක පළාත් සභාවලට බෙදා දීමද 13 වන සංශෝධනයට අයත්ය. මෙතැන් සිට මධ්‍යම රජය රූකඩයක් බවට පත්වන අතර ඒ ඒ පළාත්වලට තම තමන්ගේ තරාතිරමේ හැටියට ස්වයං පාලන රටාවක් පවත්වාගෙන යෑමට පුළුවන. අගමැති මෝදි මේ ඉල්ලීම තනිකරම කරන්නේ දෙමළ ජනතාව වෙනුවෙනි. නරේන්ද්‍ර මෝදි දෙමළ ජාතිකයෙක් නොවේ. ඔහු දැඩි මතධාරී හින්දුවරයෙකි. ඔහු 13 වන සංශෝධනය බලගන්වන ලෙස ඉල්ලන්නේ තමිල්නාඩුවේ දෙමළ දේශපාලනඥයන්ගේ පීඩනය මතය. අගමැති මෝදිට තමිල්නාඩුව තුළ විශාල ඡන්ද පදනමක් තිබේ. ඔහුගේ අගමැතිකම ඉවර කිරීමට හෝ දීර්ඝ කිරීමට මේ ඡන්ද පදනමට හැකිය. ඒ නිසා අගමැති මෝදිගේ ඉල්ලීම ටිකක්වත් වැරදි නැත. ඔහු දේශපාලනඥයෙකි. ඔහු ඔහුගේ පක්ෂයේ හින්දු දේශපාලන බලයට වගඋත්තර සැපයිය යුතුය.

මීට අවුරුදු 10 කට පමණ පෙර සිංහල භාෂාවට අලුත් වචනයක් පහළ විය. ඒ වූකලී සංහිඳියාවය. ඉංග්‍රීසියෙන් මෙයට Reconciliation යනුවෙන් කියනු ලැබේ. මීට අවුරුදු 15 ට පමණ පෙර ශ්‍රී ලංකාව ෆෙඩරල් ක්‍රමයකට යායුතු බවට මතවාදයක් පහළ විය. එවිට ප්‍රභාකරන් සිටියේ පීක් එකේය. ඊළම දිනාගැනීමට බැරි වුණොත් උතුරු හා නැගෙනහිරට හෙවත් මේ රටේ දෙමළ බස කතා කරන ජනයා බහුලව සිටින ප්‍රදේශවලට ඊළම ලබා ගැනීමටත් එය අසාර්ථක වුණොත් අඩුම ගණනේ ෆෙඩරල් බලතලවත් ලබාගැනීමට ප්‍රභාකරන් සැලසුම් කර තිබිණ. සංහිඳියාව යන වචනය සිංහල භාෂාව තුළ ගිලී තිබෙන්නට ඇති නමුදු brand new වචනයක් ලෙස එළියට එන්නේ මේ කියන ෆෙඩරල් සීන් එකත් සමගය. ෆෙඩරල් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක්ම යුරෝපයේ සිට ලංකාවට පැමිණ කාර්යාල විවෘත කරගෙන තිබිණ. සංහිඳියාව යනු ඉතාම හොඳ දෙයකි. භාෂා සහ ආගමික වෙනස්කම් සහිත ජන කොටස් අතර සමගි සන්ධානයක් ඇතිකර ඔවුනොවුන් අතර ඇති වෙනස්කම් මගහරවා සියලු දෙනාම එක තලයකට ගෙන ඒම සංහිඳියාවේ අරමුණය. මේ රටේ සිටින ඇතැම් අන්තවාදී දේශපාලනඥයන් සහ අන්තවාදී දෙමළ දේශපාලනඥයන් නොසිටියානම් සංහිඳියාව ඉබේම ඇති වන්නේය. එවිට සංහිඳියාව ඇතිකළ යුතු යැයි කිසිවකු අපට බලකළ යුතු නැත. අගමැති මෝදි විසින් දැනගත යුතු ඉතා වැදගත් කාරණයක් තිබේ. සිංහල සහ දෙමළ ජනතාව අතර සංහිඳියාවක් ඇතිවනවා දැකීමට මේ රටේ සිටින ඇතැම් අන්තවාදී දේශපාලනඥයන් මෙන්ම ඉන්දියාවේ සිටින ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ද කැමති නැත. මන්ද සංහිඳියාව නැති තැන මේ අන්තවාදී දේශපාලනඥයන්ට සිය බිස්නස් එක කරගෙන යා හැකිය. සැප කාර්වල යෑම ගමේ සහ නගරයේ ගෙවල් මිලට ගැනීම අධ්‍යාපනය සඳහා දූ දරුවන් පිට රට යැවීම යන සියල්ලට මුදල් ලබා ගැනීමට සංහිඳියා ප්‍රශ්නය යොදාගත හැකිය. ඔන්න ඕක තමයි ඇත්ත කතාව. හැබැයි කොරෝනා සමයේදී ඉන්දියාව අපට කළ උදව් මොහොතකටවත් අමතක කිරීමට තරම් අපි ගුණමකු නොවෙමු. අගමැති නරේන්ද්‍ර මෝදි නොසිටින්නට ඒ වෙලාවේදී අප වැටෙන්නේ මාර වළකටය.

advertistmentadvertistment
advertistmentadvertistment