‘චටස්’ සහ ‘ඩෝං’ – (ඝාතන වර්ග දෙකකදී නැගෙන ශබ්ද වර්ග දෙකක්)

945

පසුගිය දිනවල මේ රටේ ජ්‍යෙෂ්ඨ සංඝයා වහන්සේලා පිරිසක් ශුද්ධෝත්තම දලයි ලාමා තුමා ඉන්දියාවේදී හමුවී ශ්‍රී ලංකාවේ සංචාරයක් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. බුදු දහමේ ජීවමාන මුදුන් මල්කඩක් සේ සැලකෙන ශුද්ධෝත්තම දලයිලාමා තුමාගේ පරම සතුරා චීනය වේ. චීනය විසින් මෙයට දශක කීපයකට පෙර දේශසීමාවේ පිහිටි තිබ්බතය ආක්‍රමණය කර එරට අල්ලා ගැනීමත් සමගම දලයි ලාමා තුමා ඉන්දියාවේ ධරම්සාලා නගරයට පැන විත් ජීවිතය බේරා ගත්තේය. ඉන්දියාව ද දලයි ලාමා තුමාට තම රටේ වාසය පිණිස ඉඩ දෙන්නේ චීනයට රිදවීම සඳහාය. චීනය ඉන්දියාවට ණය නැත. ඉන්දියාව ද චීනයට ණය නැත. මේ නිසා මේ පාර්ශ්ව දෙක අතර තිබෙන ආරවුලෙන් පාර්ශ්ව දෙකටම ලාභයක් හෝ පාඩුවක් නැත. එහෙත් දලයි ලාමා ලංකාවට එනවාට චීනය එකහෙළාම විරුද්ධ ය. එයට හේතුව චීනය විසින් තිබ්බතය තුළ දැනට පවත්වාගෙන යන කොමියුනිස්ට් ද වන, කොමියුනිස්ට් ද නොවන පාලනයට දලයි ලාමා තුමා දැඩි සේ විරුද්ධ වීමය. මේ නිසා තම අත යට සිටින රටවල් විසින් දලයි ලාමා තුමාට සංචාරක වීසා නිකුත් කරනවාට චීනය තරයේම විරුද්ධ ය. ශ්‍රී ලංකාව යනු යම් ප්‍රමාණයකට චීන කොලනියකි. චීනය මේ කොලනිය තුළ විශාල වශයෙන් ආයෝජන සිදුකර ඇති අතර අපේ කට්ටියට ද අමාරු අවස්ථාවලදී නොමිලේම වාගේ කෑම බීම ද ලබාදී ඇත. පසුගිය දවස්වල චීනය විසින් මේ රටේ ගොවීන් සඳහා ඉන්ධන විශාල තොගයක් නොමිලේ ප්‍රදානය කළේය. චීනය සහ අප අතර තිබෙන ණයකරුවා සහ ණය හිමියා නමැති සාධකය සලකා බැලූ මේ පුවත්පත දලයි ලාමා තුමාගේ ශ්‍රී ලංකා ගමනට චීනය විරුද්ධ වනු ඇතැයි කල්තබාම අනාවැකියක් පළ කළේය. දැන් එම අනාවැකිය සැබෑ වී ඇති අතර දලයි ලාමා තුමා ලංකාවට වැඩම කරනවාට සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා වැඩබලන චීන තානාපතිවරයා විසින් මල්වතු අස්ගිරි නා හිමිවරුන්ට බදඑසජැ එකක් යවා ඇත. දලයි ලාමා තුමාගේ සංචාරයෙන් චීනයට කිසිම හානියක් සිදුනොවන බව අපේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා විසින් දැනටමත් ප්‍රකාශ කර තිබේ. උන්වහන්සේලා කියන්නේ චීනය හා ශ්‍රී ලංකාව අතර අවුරුදු 1600 ක් පරණ සම්බන්ධයක් පවතින බවය. ඒ සම්බන්ධය කුමක් වුවත් එක්දහස් හාරසිය ගණන්වලදී කෝට්ටේ රාජධානියට කඩාවැදුණු Zheng He නමැති චීන අද්මිරාල් කෙනෙක් කෝට්ටේ රජතුමාට කනට ගසා චීනයට කුදලාගෙන ගිය බව අප අමතක නොකළ යුතුය. අවසන් වශයෙන් අපට කීමට ඇත්තේ චීනය කිසි විටකත් දලයි ලාමා තුමාට සංචාරක වීසා ලබා දීමට ලංකාවට ඉඩ නොදෙන බවය.

දැන් අපි අපගේ ප්‍රධාන මාතෘකාව වෙත යොමුවෙමු. ඒ වූකලී දැනට රට තුළ පැතිර යමින් පවත්නා මිනීමැරුම් රැල්ලය. මේ දවස්වල සිවිල් ජනයා පුදුම විදිහට මිනී මරති. පසුගිය දිනවල සිදු වූ මනුෂ්‍ය ඝාතනවලින් වැඩි හරියක්ම කරන ලද්දේ අවුරුදු තිහට අඩු තරුණ කොටස් විසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ උගත් තරුණියක් එම පීඨයේම උගත් සිය පෙම්වතා අතින් මැරුම් කා ඇත. කොල්ලා කෙල්ලට අනින ලද්දේ පිහියකිනි. කොළඹ තුරඟ තරග පිටියේදී මේ ඝාතනය සිදුවිය. ඉන්පසු ලේ තැවරුණු බෑගයක්ද රැගෙන මිනීමරු තරුණයා පාර දිගේ දිවයනු සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇත. පෙර කී තරුණයා සිය පෙම්වතිය කෙරෙහි සැකයකින් පසු වූ බවත් ඇය වෙනකකු සමග සම්බන්ධයක් පවත්වන බව හෝ සම්බන්ධයක් පැවැත්වීමට ඉඩ ඇති බව සැකකරමින් කටයුතු කළ බවත් පසුව වාර්තා වූ තොරතුරු මගින් පැහැදිලි වෙයි. මිනීමැරුම සිදු වූ දා තරුණයා පිහියක්ද බෑගයේ දමාගෙන දෙකෙන් එකක් බේරා ගනිමියි සිතා තරුණිය වෙත පැමිණෙන්නට ඇත. එම පිහිය ඔහු විසින් ගෙනවිත් ඇත්තේ අඹ කපන්නට නොව තරුණිය කෙරෙහි ඇති සැකය තහවුරු වුණොත් ඇය ඝාතනය කිරීමට ය. පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත් තරුණයා ගඟකට ද පැනීමට සූදානම් වී ඇත. ඔහු තුළ තිබූ මානසික ප්‍රතිරෝධය ඉතා දරුණු බව එයින් පැහැදිලි වේ. අපගේ සුද්ද සිංහල වැටහීම නම් මෙවැනි අඤ්ඤ මඤ්ඤ කට්ටිය love නොකළ යුතු බවය. එවැනි අය love කළ විට එම love එක තනිකරම මිනීමැරුම් නඩුවක් බවට පත්වෙයි. මිනීමැරීම හරිම පහසු දෙයක් බවට පත්ව ඇති බව පෙනෙයි. මෝටර් සයිකලයකින් පැමිණි තරුණයකු ගෙයකට ඇතුළු වී වෙඩි කිහිපයක් තබා මිනිසකු ඝාතනය කර ඔහු පැමිණි මෝටර් සයිකලයේම නැගී පිටත්ව යන අයුරු පසුගියදා රූපවාහිනී චැනලයක පෙන්වන ලදි. මිනිසුන් මැරීම සහ මදුරුවන් මැරීම අතර වැඩි වෙනසක් නැති බව අපට හැඟී ගොස් තිබේ. මදුරුවකු ඇඟේ වැසූ විට ‘චටස්’ ගා පහරදී ඌ මරනු ලැබේ. මිනිසුන් දෙදෙනකු අතර ආරවුලක් හටගත් විට ‘ඩෝං’ ගා වෙඩි තබා මරනු ලැබේ. පොලිසිය ද මේ දිනවල ඈලි මෑලි දුබල ගතිය සහිත ලෑලි කෑල්ලක් බවට පත්ව තිබේ. භයානක මිනීමරුවකු සහ කුඩු වෙළෙන්දකු වන කන්ජිපානි ඉම්රාන් ඇප ලැබී පැය 24 ක් ඇතුළත ලංකාවෙන් පැන ගියේය. මෙබඳු අපරාධකරුවන් ගැන පොලිස් ආවේක්ෂණයක් (surveillance) තිබිය යුතුය. අපේ වැටහීම නම් කන්ජිපානි ඉම්රාන් ඇප ලැබුණු පසු පොලිසිය ඔහුගේ ගෙවල් පාරෙන්වත් යන්නට නැති බවය. අවසන් වශයෙන් මෙසේ කියමු. කෙල්ලගේ දුක අවසන්ය. කොල්ලාගේ දුක පටන් ගත්තා පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment