උමා ඔය ව්‍යාපෘතියෙන් ජනතා යහපැවැත්ම අගය කරන නව දේශපාලන සංස්කෘතියට සුවිශේෂී අවස්ථාවක් සැලසෙනවා

32

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ජනතාවගේ යහපැවැත්ම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් ලබාදෙන දායකත්වය අගය කරන නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ආරම්භ කිරීමට සුවිශේෂී අවස්ථාවක් සැලසෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කර සිටී.

එම සම්පුර්ණ නිවේදනය මෙසේය.

උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. කිසිදු ආණ්ඩුවකට මහ පොළවේ යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම මම ජනාධිපති ධූරය දැරූ කාලයේ එකින් එක ඉදිවීමට පටන් ගත් විට එම සාර්ථකත්වයට ඊර්ෂියා කළ පාර්ශවයන් මේ ජයග්‍රහණ හෑල්ලූවට ලක් කිරීම සඳහා මගේ ආණ්ඩුවේ සාමාජිකයන් මේ ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු අසාමාන්‍ය ලෙස වැඩිකොට, එමගින් අයථා ලෙස මුදල් ඉපයූ බවට ප්‍රචාරයක් ගෙන ගියේ ය. මෙවැනි මූල්‍යමය අකටයුතුකම් පිළිබඳ සාක්ෂි කිසිදාක කිසිවෙකුවත් විසින් මහජනතාව ඉදිරියේ ගෙන හැර දක්වා නොතිබුණද, මෙවන් ප්‍රචාර නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන කවුරුන් වූවත් හොරෙකු යැයි විශ්වාස කරන මුළු පරම්පරාවක්ම බිහි වී ඇත. මෙවැනි ප්‍රචාර හේතුකොට ගෙන රටට යමක් කිරීමේ හැකියාව ඇති අය දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසුණු අතර, කයිවාරු ගැසීම, විවේචනය කිරීම හා බොරු කීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැති අය වීරයන් බවට පත් විය.

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ජනතාවගේ යහපැවැත්ම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති මගින් ලබාදෙන දායකත්වය අගය කරන නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ආරම්භ කිරීමට සුවිශේෂී අවස්ථාවක් සැලසේ. 1948 සිට රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක රටේ දැනට පවතින යටිතල පහසුකම් සංවර්ධනයට දායකත්වය ලබා දී ඇත. කෙසේ වෙතත්, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියයි.

අඩසියවසකට වැඩි කාලයක් මුළුල්ලේ සැලසුම් වෙමින් පැවති මෙම ව්‍යාපෘතිය මගේ ආණ්ඩුව විසින් ඉදිකිරීම ආරම්භ කළ විට දේශපාලන විරුද්ධවාදීන් චෝදනා කළේ මගේ ගමේ ඉඩම්වලට ජලය සැපයීමට හම්බන්තොටට ජලය හරවා යැවීම සඳහා උමා ඔය ව්‍යාපෘතිය මම ආරම්භ කළ බවයි.

2005 ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයාය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment