බට්ලර් සහ හේල්ස් ඉන්දියාව හඬවා එංගලන්තය අවසන් තරගයට ගෙනයති

331

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක ඕනෑම කඩුල්ලක් සඳහා ඉහළම සම්බන්ධතාවය (170) වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඊයේ (10 වෙනිදා) කඩුලු 10ක ජයග්‍රහණයක් වාර්තා කළ එංගලන්තය 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය වූ ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස්ගේ හයේ සහ හතරේ පහර වරුසාවකින් ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් පිටිය වර්ණවත් වෙද්දී ඊට රැස්ව සිටි ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ මුහුණු අඳුරු කරමින් එංගලන්තයට ජයග්‍රහණය හිමි විය.

ඉන්දියාව විසින් ලබාදුන් ලකුණු 169 ඉලක්කය පන්දු වාර 16ක් තුළදී කිසිදු කඩුල්ලක් නොදැවී ඉක්මවා යෑමට එංගලන්තය සමත්වූ අතර ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජොස් බට්ලර් ලකුණු 80ක් ද, ඇලෙක්ස් හේල්ස් නොදැවී ලකුණු 86ක් ද රැස්කර ගත්හ.

බට්ලර්ට වඩා වේගවත් පිතිහරඹයක නිරත වූ ඇලෙක්ස් හේල්ස් පන්දු 47කට පමණක් මුහුණ දෙමින් ලකුණු 86ක් වාර්තා කර ගත් අතර ඊට හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. ජොස් බට්ලර්ගේ ලකුණු 80 සඳහා හතරේ පහර 9ක් සහ තරගය ජයග්‍රහණය සලකුණු කිරීම පිණිස පන්දු රකින්නා ගේ හිසට ඉහළින් එල්ල කළ හයේ පහර ද ඇතුළුව හයේ පහර 3ක් ඔහුගේ ඉනිමට අන්තර්ගත විය.

එංගලන්ත ඉනිමේ එකොළොස් වැනි පන්දු වාරය වන විට ඔවුන් ලකුණු 100 සීමාවට අවතීර්ණ වූ අතර ඒ වන විටත් ඉන්දියාවෙන් තරගය ගිලිහී ගොස් තිබිණි.

ඔවුන් දෙදෙනා එක්ව ඇඩිලේඩ් පිටියේ ඊයේ වාර්තා කළ 4 පහර සංඛ්‍යාව 13ක් සහ හයේ පහර සංඛ්‍යාව 10ක් විය. ඒ අනුව එංගලන්තය ලබාගත් ලකුණු 170න් ලකුණු 112ක්ම හතරේ සහ හයේ පහරවල්වලින් ලබාගත් ඒවා විය.

ඒ අනුව එංගලන්තය ලබන 13 වෙනිදා පකිස්තානය සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

එම කණ්ඩායම් දෙක ප්‍රතිවාදීන් ලෙස අයිසීසී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙය වන අතර 1992 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේදී ඔවුහු එකිනෙකා මුණගැසුණහ.

එහි ජයග්‍රහණය පාකිස්ථානයට හිමිවිය.

එංගලන්ත නායක ජොස් බට්ලර් තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට පිරිනැමූ අතර ඒ අනුව පිතිහරඹයේ නිරත වූ ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.

ඉන්දීය කණ්ඩායමේ අවසන් පන්දු වාර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දික් පාන්ඩයා පන්දු 33කදී ලකුණු 63ක් ලබා ගත් අතර ඇඩිලේඩ් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ හයේ පහරවල් පහක් ද ඊට ඇතුළත් විය.

පාන්ඩයාගේ ප්‍රහාරාත්මක වේගය 190 ඉක්මවූ අතර පන්දු 29කදී ඔහුගේ අර්ධ ශතකය වාර්තා විය. ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවට පාන්ඩයා හිට් විකට් ආකාරයෙන් දැවී ගිය අතර එම පන්දුවට ද ඔහු එල්ල කළ පහර හතරේ සීමාව ඉක්මවා යනු දක්නට ලැබිණි.

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 75 ක් වනවිට දැවී ගොස් තිබූ අතර විරාත් කෝලි හා එක් වූ පාන්ඩයා 4වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනැඟුවේය.

විරාත් කෝලි පන්දු 40කදී ලකුණු 50ක් ලබාගත් අතර එම ලකුණු 50 කරා ගිය

ගමනේදී සිය 20-20 ලකුණු 4000 ඉක්මවා ගිය කෝලි එවැනි දස්කමක් කළ පළමු පිතිකරුවා බවට පත්වූයේය.

නායක රෝහිත් ශර්මා ලකුණු 27ක් ලබාගත් අතර සූර්යකුමාර් යාදව්ගේ ඉනිම ලකුණු 14කට සීමා විය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්දාන් කඩුලු 3ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් සහ අඩිල් රශීඩ් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

කසුන් රණවීර ඔස්‌ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment