නිව්යෝක් නුවර පාස්කු ඉරිදා විරෝධතා

415

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ යම් යෝජනා මහත් ආන්දෝලත්මකය. අපේ‍්‍රල් 21, 2019 එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත වූ ජනාධිපති කොමිසම සම්පාදනය කළ වාර්තාව දේශපාලන බෝම්බයකි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයට මහත් හිසරදයකි. එම කොමිසමේ සංයුතිය ප‍්‍රබලය. කිසිවෙකුට ප‍්‍රශ්න කළ නොහැක. ඇමෙරිකාවේ ජිවත්වන ශ‍්‍රී ලාංකිකයන් සහ ඇමෙරිකානු පුරවැසිභාවය හිමි ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක පොලිස් පරීක්ෂණ සහ නීතිමය කටයුතු අභියෝගයට ලක්කරමින් පසුගිය 22 වැනිදා උදේ නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට නුදුරින් කළ විරෝධතාවය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එම විරෝධතාවය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ පාස්කු ප‍්‍රහාරයේ මහා මොළකරුවන් තවමත් නීතිය ඉදිරියට පමුණුවා නැති බවට මෑතකදී ඉතාලියේ සහ ප‍්‍රංශයේ සංවිධානය කළ උද්ඝෝෂණ වලට ද අවධානය යොමු කරමිනි.

රජයට එරෙහි විරෝධතා සමාජ මාධ්‍ය ජාලා හරහා ජනතාව අතරට ගෙන යෑමට එම විරෝධතා සංවිධානය කළ කණ්ඩායම සමත් විය. බෞද්ධ සහ කතෝලික පැවිද්දන් ද 22 වැනි දින පැවති විරෝධතාවයට සහභාගී විය.

විරෝධතාකරුවන් අවධාරණය කළේ ජනාධිපති කොමිසම් වාර්තාව වහාම ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. එම වාර්තාවේ යෝජනා ක‍්‍රියාත්මක කළ නොහැකිද ? ක‍්‍රියාත්මක නොකිරීමට සාධාරණ නීතිමය හේතු තිබේද? නීතිපති සංජේ රාජරත්නම්ගේ තීරණය කුමක්ද ? ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ වගවීමේ ක‍්‍රියාවලියක සිරවී ඇති අවස්ථාවක පාස්කු ප‍්‍රහාරය ද ජාත්‍යන්තරයට ගෙනයෑම මගින් ඇති කරන තෙරපුම කෙතරම් අහිතකරද?

නිව්යෝක් නුවර පාස්කු ඉරිදා විරෝධතා

අතුරු වාර්තා දෙකක් (2019 දෙසැම්බර් 20 සහ 2020 මාර්තු 2) ඉදිරිපත් කළ එම කොමිසම, අවසන් වාර්තාව 2021 පෙබරවාරි 1 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දුන්නේය. අවසන් වාර්තාව සම්බන්ධයෙන් යම් ඉඟියක් අතුරු වාර්තාවල සඳහන් වූවාදැයි අපි නොදනිමු. නමුත් අවසන් වාර්තාව දේශපාලනික වශයෙන් මහත් ආන්දෝලනාත්මක බව කිව යුතුමය. ඇත්ත වශයෙන්ම එම වාර්තාව රජය බරපතළ අර්බුදයකට ලක්කර ඇත.

රාජරත්නම්ට පෙර නීතිපති වූ දප්පුල ද ලිවේරා විශ‍්‍රාම යෑමට පෙර පාස්කු ප‍්‍රහාරය මහා කුමන්ත‍්‍රණයක් යැයි ප‍්‍රකාශ කළේය. දෙදෙනාම ජනාධිපති නීතිඥවරුය. නමුත් යමක් අවධාරණය කළ යුතුව ඇත. පාස්කු කොමිසම තම අවසන් වාර්තාවෙන් ප‍්‍රශ්න කළේ නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත රජයේ නීතිඥ මලික් අසීස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වගකීම් විරහිත ලෙස ක‍්‍රියාකිරීම තුළ සහාරන් හෂීම්ට පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට ඉඩ සැලසූ ආකාරයයි (අවසන් පාස්කු වාර්තාවේ පළමුවන වෙළුම , 329 වැනි පිටුව). සමස්ත නීති පද්ධතියම අභියෝගයට ලක්වන බව පෙන්වා දිය යුතුය. මෙවැනි තත්ත්වයක් යටතේ දේශීය යාන්ත‍්‍රණ ජාත්‍යන්තරය හමුවේ අනිවාර්යෙන්ම අභියෝගයට ලක්වේ. බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සැප්තැම්බර් 6 සහ 12 පිළිවෙලින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට පැන නැටූ කොටි නැටුම වර්තමාන රජය මහත් උජාරුවෙන් ප‍්‍රකාශ කරන ‘එක රටක් එක නීතියක්’ පොරොන්දුව විහිළුවක් බවට පත් කළේය. එය සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විශ‍්‍රාමික විනිසුරුවරයෙකු පත් කිරීම සමස්ත රජයම අපකීර්තියට පත්කරවන බව වගකිව යුත්තෝ තේරුම් ගත යුතුය.

එලෙසෙම ප‍්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයටම කිසිසේත් බැහැර කළ නොහැකි අනතුරු ඇඟවීමක් එම වාර්තාව කර ඇත. දේශපාලන නායකයන්ට තම පක්ෂ ක‍්‍රියාකාරිත්වය නැවත හැරී බැලීමක් කිරීමට බලකර ඇත. ජනාධිපති කොමිසම කළ යෝජනා සලකා බැලීමට පෙර, එම කොමිසමේ සාමාජිකයින් හඳුනා ගනිමු. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, ඇපෑල උසාවියේ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ‍්‍රාමික ඇපෑල උසාවියේ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. එම්. අධිකාරී එම කණ්ඩායමට අයත්ය. හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එම කණ්ඩායම පත් කළේ 2019 සැප්තැම්බර් 22 දිනය. එම පත්කිරීමට ප‍්‍රධානම හේතුව වුයේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහු නායකත්වය දුන් ශ‍්‍රීලනිපය එවකට කථානායක කරු ජයසූරිය පාස්කු ප‍්‍රහාරය විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව සාධාරණ නොවන ප‍්‍රකාශ කළ වාතාවරණයක් තුළය.

නිව්යෝක් නුවර පාස්කු ඉරිදා විරෝධතා

පාස්කු ප‍්‍රහාරයේ චුදිතයන්ට තරාතිරම නොබලා ද`ඩුවම් දෙන බවට 2019 ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පොරොන්දු විය. කතෝලික පල්ලිය එම පොරොන්දුව පිළිගත්තේය. පාස්කු ප‍්‍රහාරය ප‍්‍රධාන විපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසට බරපතළ බලපෑමක් එල්ල කළේය. කතෝලික පල්ලිය දේශපාලන මෙහෙයුමක යෙදෙන බවට සජිත් පිළේ හරින් ෆර්නැන්ඩු මන්ත‍්‍රීවරයා දිගින් දිගටම යෝජනා කළේය. එම චෝදනා කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ට එල්ල විය. පාස්කු ප‍්‍රහාරය සජිත් පේ‍්‍රමදාසගේ පරාජයට ප‍්‍රබල හේතුවක් විය.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද එම පාස්කු කොමිසම පිළිගත්තේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කාදිනල්තුමාගෙන් කොමිසමේ සංයුතියේ යම් වෙනසක් අවශ්‍ය දැයි විමසූ බව රහසක් නොවේ. නමුත් උන්වහන්සේ කිසිදු වෙනසක් අවශ්‍ය නොවන බව ප‍්‍රකාශ කළ අතර කොමිසමේදී කතෝලික පල්ලිය නියෝජනය කිරීමට නීතිඥ සහය පැතීය. ජනාධිපති නීතිඥ ෂමිල් ජෝශප් පෙරේරා එම කටයුත්ත මෙහෙයවිය. මහජන මුදල් වැය විය. පිටු දහස් ගණනකින් යුත් අවසන් වාර්තාව දේශපාලන නායකත්වයට ලැබී ඇත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙන්ම සමගි ජන බලවේගයටද පාස්කු වාර්තාව අභියෝගයකි. පොලීසිය සම්බන්ධයෙන්ද කීමට ඇත්තේද එයමය. නීතිපති දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්ද බරපතළ ගැටලූකාරී තත්ත්වයක් මතුකර ඇත. මෙම වාර්තාව නොසලකා හැරිය හැකිද ?

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස ප‍්‍රකාශයට පත් කළ කොමිසම ඔහු සම්බන්ධයෙන් නීතිපතිවරයට ඉදිරිපත් කර ඇති යෝජනාව ඇත්ත වශයෙන්ම පැති බෝම්බයකි. නැතහොත් කවුරුත් දන්නා පරිදි ‘ක්ලේමෝ ‘ බෝම්බයකි. කොමිසම අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන තම රාජකාරි සහ වගකීම් බරපතළ පැහැර හැර ඇති බවය . එම තත්ත්වය සාමාන්‍ය ‘සිවිල් නොසැලකිලිමත්’ බවට එහා තත්ත්වයක් බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වේ (අවසන් වාර්තාවේ පළමුවන වෙළුම , 263 වැනි පිටුව)

කොමිසම නීතිපතිවරයට මෛත‍්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් අපරාධ නඩු ක‍්‍රියාමාර්ගයක් ගතයුතු බවත් දණ්ඩ නීති සංග‍්‍රහයේ සුදුසු ප‍්‍රතිපාදන යටතේ ක‍්‍රියාත්මක විය යුතු බවත් අවධාරණය කර ඇත (අවසන් වාර්තාවේ පළමුවන වෙළුම , 265 වැනි පිටුව)

මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රීලනිප නායකයාය. පොළොන්නරුවෙන් පත්වූ මහජන නියෝජිතයෙකි. ගැටලූව ශ‍්‍රීලනිපය 2020 අගෝස්තු මහා මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ හරහා වීමයි. පාර්ලිමේන්තුවේ සිටින ශ‍්‍රීලනිප කණ්ඩායම 14 ක් ය. එම කණ්ඩායමේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු 13 දෙනෙකුම පොහොට්ටු ලකුණින් පත්වීම් ලබා ඇත. එවැනි වාතාවරණයක් යටතේ පාස්කු කොමිසමේ වාර්තාව ක‍්‍රියාත්මක කිරීම සැබවින්ම අභියෝගයකි. කතෝලික පල්ලිය සහ වර්තමාන රජය අතර ගැටුම මෙයයි. වතිකානය මෙම ගැටුමට මැදිහත්වී ඇත. එක්සත් ජාතීන්ගේ අත පෙවීම සම්බන්ධයෙන් විමසා බැලිය යුතුව ඇත්තේ ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ගොන්නම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි. තත්ත්වය අතිශයින්ම ව්‍යාකූලය.

හිටපු නීතිපතිවරයෙකු සහ අග‍්‍රවිනිශ්‍යකාරයෙකුවූ මොහාන් පීරිස් එහි සිටින ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාය. ගෝලීය සමුළුව කොවිඩ් වසංගතය දෙස වැඩි අවධානය යොමු කළත්, ශ‍්‍රී ලංකාව, ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ මැදිහත්වීමෙන් ක‍්‍රියාත්මක යුද අපරාධ චෝදනා විභාගය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතුය. ජිනීවා මෙහෙයුම නිව්යෝක් හිදී අමතක කර දැමිය නොහැක. ජිනීවා මෙහෙයුම් නිව්යෝක් අවසරය පිට ක‍්‍රියාත්මකය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අතිශයින්ම දේශපාලනිකය. එසේ නොවන්නේනම් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසියේ අත්අඩංගුවට ගත් හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා පිළිබඳව එක්සත් ජාතීන්ගේ ව්‍යුහය තුළ ප‍්‍රශ්න කරන්නේ නැත. එලෙසෙම පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක ආකාරය එක්සත් ජාතීන්ට මාතෘකාවක් වන්නේද නැත.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා සහ ජනාධිපතිවරයා අතර හමුව වැදගත්ය. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව සංහිඳියාව ඇති කිරීමට ශ‍්‍රී ලංකාව ගත් පියවර සම්බන්ධයෙන් මහා ලේකම්වරයාගේ අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබිණි. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ද්‍රවිඩ ඩයස්පෝරාව සමඟද තමන් සාකච්ඡුා කිරීමට සූදානම් බවය. නමුත් එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක කර ඇති අහීලාචාර ක‍්‍රියාදාමය ආපසු හැරවිය හැකිද? දකුණු කොරියානු ජාතික බැන් කී මුන් 2009/2010 ක‍්‍රියාත්මක කළ මෙහෙයුම බටහිර ජාතීන්ගේ පාර්ශවයෙන් බලන විට ඵල දරා ඇත. එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාවට කළ පහර දීම වැළැක්වීමට ලංකාව අනුගමනය කළ ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණවත් වුයේ නැත.

ඉන්දියාව ත‍්‍රස්තවාදය ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත කිරීම සහ ත‍්‍රස්තවාදය පරාජය කිරීම නිසියාකාරව නේස්බි සාමිවරයාගේ සහයෝගය ඇතිවත් නිසියාකාරව නොකිරීම සම්බන්ධයෙන් අපි රටක් ජාතියක් ලෙස ලජ්ජා විය යුතුය.

ද්‍රවිඩ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට ඇමෙරිකාව, මහා බි‍්‍රතාන්‍ය, කැනඩාව ඇතුළු බලවේග අවධාරණය කිරීම අසාධාරණ නොවන්නේද?

නමුත් මෙම චෝදනා නිෂ්ප‍්‍රභ කළ හැකි කරුණු කාරණා නිසියාකාරව ඉදිරිපත් නොකිරීමේ පූර්ණ වගකීම ශ‍්‍රී ලංකා රජය ගත යුතුය. රටේ කතාව නිසියාකාරව නොකියනතුරු ශ‍්‍රී ලංකාවට එරෙහි මෙහෙයුම ක‍්‍රියාත්මකය. සැබෑ පසු විපරමක් කළ යුතුමය. මාධ්‍ය සංදර්ශන මහජන මුදල් නාස්තියක් පමණි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment