යතුරුපැදි මුර සංචාරයේ යෙදෙද්දී පස්දෙනකුගෙන් ගුටි කෑ පොලිසියේ තිදෙනා රෝහලේ

41

රාත්‍රී මුර සංචාරයේ යෙදුණු හිඟුරුකඩුව පොලිසියේ නිලධාරීන් තිදෙනකුට හිඟුරුකඩුව උඩඅරාව හංදිය අසලදී සිවිල් වැසියන් පස්දෙනකු විසින් පහරදීමේ සිද්ධියක් පිළිබඳව හිඟුරුකඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

හිඟුරුකඩුව පොලිස් ස්ථානයේ පො.සැ. (60124) ගජනායක, පො.කො. වරුන් වන (66721) අරුණ ලසන්ත, (96042) විජේසිංහ යන නිලධාරීන් තිදෙනා ඉකුත් 27 වෙනිදා රාත්‍රී 8.30 පමණ හිඟුරුකඩුව සිට උඩඅරාව හරහා ලුණුගල ජනපදයට පිවිසෙන හන්දියේ යතුරුපැදි මුර සංචාරයක නිරතව සිට ඇත. එම අවස්ථාවේ උඩඅරාව හන්දියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සිවිල් වැසියන් තිදෙනකු නවතා පරීක්ෂා කර තිබේ. එවිට තවත් යතුරුපැදියක් පුද්ගලයන් දෙදෙනකු සමඟ එම ස්ථානයට පැමිණ ඇත. පසුව ඔවුන් පස්දෙනා විසින් පොලිස් නිලධාරීන් තිදෙනාට පහරදී ඔවුන්ගේ ජංගම දුරකථන දෙකක් රැගෙන ඔවුන් පැමිණි යතුරුපැදි දෙක දමා පළාගොස් ඇත. පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු හිඟුරුකඩුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබේ. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. හිඟුරුකඩුව පොලිස් ස්ථානාධිපති විපුල සෙනරත් බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment