800ට 8ක් මෙපිටින් තරගය අරඹා ‘800’න් සිනමාපටයට ගිය මුරලි

317

ඒ 2010 වසරේ ජුලි මස 22 වැනිදාය. මුළු ක්‍රිකට් ලෝකයේම ඇස් මේ පුංචි දිවයිනේ පිහිටි ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙසට යොමු වී තිබුණි. එදින එම ක්‍රීඩා පිටියේ විශේෂ දෙයක් සිදුවනු ඇතැයි ඒ හැමෝම බලාපොරොත්තුවෙන් සිටියහ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගයේ අවසන් දිනය එදින ක්‍රියාත්මක වෙමින් තිබිණි. පන්දුවට පහර දෙමින් සිටියේ ඉන්දීය කණ්ඩායමේ අවසන් පිතිකරු යුගළයයි. ඒ ඉශාන්ට් ශර්මා සහ පර්ග්‍යාන් ඕජාය.

ක්‍රිකට් පිටියේ තියුණුම දෑසකට හිමිකම් කියන අයෙක් ඒ කඩුල්ල දෙස මහත් ගිජු බවින් බලාගෙන සිටියේය. සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ පමණක් නොව සමස්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේම අමරණීය කඩඉමක් අභිමුවයි ඔහු ඒ වනවිට සිටියේ. ඒ ඉන්දීය පිතිකරුවන් දෙදෙනාගෙන් අයකුගේ කඩුල්ල දවාගෙන ලෝක ක්‍රිකට් පිටියේ කිසිදු ක්‍රීඩකයකු ළඟා නො වූ සන්ධිස්ථානයකට පිය මැනීම ඔහුගේ ඒ බැල්මේ අරමුණ විය.

ඒ අතරතුර වෙනත් අයකු ට එම කඩුල්ල හිමි වේදැයි පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් ඔහු සමග අනෙක් අන්තයෙන් පන්දු යවමින් සිටි සිය දඟ පන්දු සගයා වූ රංගන හේරත් පන්දු යැව්වේ පිතිකරුවා දවා නොගැනීමේ අරමුණෙනි. කඩුලු දවා නොගැනීමේ අරමුණෙන් පන්දු යැවීම වෙනමම ප්‍රගුණ කළ යුතු හැකියාවකි. එවන් අවස්ථාවන් ඉතා විරලය. ටෙස්ට් කඩුලු 433 ක් දවා ගෙන සිය ටෙස්ට් ක්‍රිකට් චාරිකාව නිමා කළ රංගන එදින කිසිදු කඩුල්ලක් දවා ගත්තේ නැත. එහෙත් පන්දු වාර 27 ක් ක්‍රියාත්මක කළේය. ඔහු ගේ පන්දු එදින පිතිකරුවාට හානි දායක නොවිණි. බොහෝ ඒවා නිදැල්ලේ ගියේය.

එහෙත් පිපිතිකරුවකු දැවී යා හැකි තවත් අවස්ථාවන් වේ. එසේ උදා වූ එක් අවස්ථාවක දී ඉෂාන්ට් ශර්මා දුවද්දී දැවී නොගොස් බේරීම මුරලිගේ වාසනාවට හේතු විය. පහරක් එල්ල කර දුවන්නට ගොස් ආපසු හැරී එද්දී කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන කඩුල්ල බිඳ දැමුව ද තෙවැනි විනිසුරුගේ පුනරූපනවල දක්නට ලැබුණේ ශර්මා යාන්තමින් කඩුල්ල රැක ගෙන ඇති බවයි. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ප්‍රාර්ථනාව තවදුරටත් ඉතිරි විය. මුරලි වාසනාවන්ත විය.

එම ටෙස්ට් තරගය තමාගේ අවසාන ටෙස්ට් තරගය බව ශ්‍රී ලංකාව ලොවට බිහි කළ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් ඊට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණි. එම තරගයට එද්දී මුරලි හිටියේ කඩුලු 792ක් දවා ගෙනය. කඩුලු 800 සීමාවට අවතීර්ණ වීමට ඔහුට තවත් අවශ්‍ය වූයේ කඩුලු අටක් පමණි. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වතාවක් කඩුලු 5 ක් හෝ ඊට වඩා දවාගත් ක්‍රීඩකයා ලෙස “කප්” ගසා සිටි මුරලි එම තරගයේ පළමු ඉනිමේද කඩුලු 5ක් දවා ගෙන එම වාර්තාව තවත් එක් අගයකින් ඉහළ ට ගෙන ඒමට සමත් සිටියේ ය. ඒ අනුව මුරලිට දෙවැනි ඉනිමේදී අවශ්‍යව තිබුණේ තවත් කඩුලුරෑ තුනක් පමණි. කඩුලු 797 ක් දවාගෙන සිටි මුරලිට මේ කඩුලු 3 දවා ගැනීම එතරම් අපහසු නොවනු ඇතැයි මුරලි මෙන්ම ඔහුට පෙම් බැඳි රසිකයන්ගේද මහත් විශ්වාසය වී තිබුණි.

එහෙත් ඉන්දීය දෙවෙනි ඉනිමේ ඒ වන විට දැවී ගොස් තිබූ කඩුලු 9 න් මුරලිට හිමිව තිබුණේ කඩුලු දෙකක් පමණි. ඒ කියන්නේ ඉතිරිව ඇත්තේ එක් කඩුල්ලකි. ඒ කඩුල්ල ද වෙනත් අයකුට හිමි වුවහොත් මුරලි ට 800 නැති වී 799 න් නවතින්නට සිදුවනු ඇත. ගාල්ල ක්‍රිකට් පිටිය මහත් උණුසුම් වන්නේ එලෙසය. ඉෂාන්ට් ශර්මා සහ පර්ග්‍යාන් ඕජා මුරලිගේ මේ කඩුලු 800 ජවනිකාවේ ප්‍රතිවාදීන් දෙදෙනාය. ඉන්දීය ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ආරම්භ වුණේ 100 වැනි පන්දු වාරයේ තුන්වැනි පන්දුවේ සිටය. එතෙක් ඉන්දියාවට සහනයක් ගෙන දෙමින් මුරලිගේ වාර්තාව ඈතට ගෙන යමින් සිටි වී. වී. එස්. ලක්ශ්මන් ඉන්දීය දෙවෙනි ඉනිමේ දෙවෙනියට වැඩිම ලකුණු ලාභියා ලෙස දැවී ගියේය. ලකුණු 69 ක් ලබා සිටියදී පන්දු යවන්නකුට කඩුල්ල හිමි නොකර ඕජා ගේ ඉනිම ආරම්භයට පෙර පන්දුවේදී ලක්ශ්මන් දුවද්දී දැවී ගියේය.

එතැන් පටන් මුරලි සහ ශර්මා අතර මෙන්ම මුරලි සහ ඕජා අතරද සටන ඇරැඹිණි. ඉන්දීය පිටියේ නොව ලෝක ක්‍රිකට් පිටියේද දැවැන්තයකු වූ ටෙන්ඩුල්කාර් ගේ කඩුල්ල ද ඒ වනවිට 13 වතාවක් දවා ගත් මුරලිට ඕජා මොන කජ්ජක්දැයි ඇතැමෙකුට සිතෙන්නට ඇත. ටෙන්ඩුල්කාර් මුරලිට වඩා දැවී ගොස් තිබුණේ බ්‍රෙට් ලී හමුවේය. එහෙත් ක්‍රිකට් අවිනිශ්චිතය. එසේම මුරලි ගේ 800 ද අවිනිශ්චිත තත්ත්වයට පැමිණියේය. ඕජා සහ ශර්මා ට මාරුවෙන් මාරුවට මුරලි පන්දු යැව්වද ඔවුහු අමාරුවෙන් කඩුල්ල රැක ගත්හ. ඔහු ඒ වනවිට පන්දු වාර 44 ක් සහ පන්දු දෙකක් ක්‍රියාත්මක කර යම් වෙහෙසකටද පත් වී තිබුණි. ගාල්ලේ කාලගුණය ද ඒ දිනවල හොඳ නොවිණි. තරගයේ දෙවෙනි දිනය සම්පූර්ණයෙන්ම අහිමිව ගියේ වර්ෂාව හේතුවෙනි.

එහෙත් ඕජා සහ ශර්මා අතර එම අවසන් කඩුල්ලේ සම්බන්ධතාවයේ 92 වැනි පන්දුවේදී ඕජා දැවී ගියේය. 799 න් 800 කරා පියමන් කළ මුරලි ක්‍රීඩා පිටියෙන් ඉවත් වූයේ සහෝදර ක්‍රීඩකයන්ගේ කර මතිනි.

මුරලි තම ක්‍රිකට් ඉතිහාසයේ යැවූ එම විශිෂ්ටතම පන්දුවට ඕජා එල්ල කළ පහර නතර වූයේ මහේල ජයවර්ධනගේ ගේ සුරක්ෂිත දෑත් අතරේය. කිසිදා බිඳ වැටෙනු ඇතැයි සිතිය නොහැකි තරමේ වාර්තාවක් ක්‍රිකට් ලෝකයේ ස්වර්ණමය අකුරින් එදින මුරලිගේ නම ඉදිරියේ ලියැවිණි. මුරලි අමරණීය විණි.

සහෝදර ක්‍රීඩකයන්ගේ කර මතින් ගාලු ක්‍රීඩාංගණයේ ඔබ මොබ ගිය මුරලි ශ්‍රී ලංකාව වෙත ගෙන දුන් කීර්තිය අපමණය. එය මුරලිගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ අවසානය වුවද මුරලිගේ “800”ට නම් අවසානයක් නොවේ. එම වාර්තාව හැමදාම කියැවේ. ක්‍රිකට් පිටියේ මතු නොව එම “800” දැන් සිනමාවටද එක් වී ඇත. මුරලි ගේ කඩුලු වික්‍රමය වන “800” නමින් සිනමා ලෝකයට බිහි වන එම චිත්‍රපටියේ පෝස්ටරය පසුගිය දා එළියට ආවේය. ඒ මුරලි ගෙවූ 51 වෙනි උපන් දිනය යෙදී තිබූ පසුගිය 17 වැනිදා දිනයේය. තවත් නොබෝ කලකින් එනම් එළැඹෙන නොවැම්බර් මාසයේ දී චිත්‍රපටිය තිරගත වීමට ද නියමිත බව ඉන්දීය ආරංචි මාර්ගවල දැක්වේ.

මුරලි ගේ “800” චිත්‍රපටයේ මුරලිගේ භූමිකාවට රඟ දෙන්නේ මධූර් මිට්ටාල් ය. ඊට පෙර එම චරිතය සඳහා විජේ සේතුපති තෝරාගෙන තිබුණි. එහෙත් එල්ටීටීඊ යුද්ධය පිළිබඳව මුරලි එකල කර තිබූ ඇතැම් ප්‍රකාශවලට තමිල්නාඩුවේ ජනතාව ප්‍රදර්ශනය කළ විරෝධතා වැඩි විය. ඒ හේතුවෙන් සේතුපතිට වෙනත් සාධාරණ “හේතුවක්” නැතිවම චිත්‍රපටයට සමුදෙන්නට සිදු විණි. සේතුපතිට තමිල්නාඩුවෙන් ආ විරෝධතා සුළු ජාතිකයකු වුවද කිසිදු දිනෙක මෙරට මහා ජාතියෙන් මුරලිට එල්ල නොවිණි. ඔහු සිංහල දෙමළ ජාතීන් එක් කළ පුරුකක් මිස ඔහුගෙන් මේ ජාතීන් දෙකට සිදුවූ නපුරක් නම් නොවේ. එහෙත් සේතුපතිට “මුරලි” වෙන්නට එපා යැයි තමිල්නාඩු වැසියෝ බහුතරයකින් නැඟුණු හඬ විය. සේතුපතිට සිනමා පටයෙන් යන්නට කිව්වා මෙන් මුරලිව ද ක්‍රිකට් පිටියෙන් පල නොකියා පළා බෙදා එළවා දමන්නට තැත්කළ විජාතික පිරිසක් වූහ. ඒ අතර ඔස්ට්‍රේලියා විනිසුරුවරු වන ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් අංක එකේ වෙති. මුරලි ගේ “800” සිනමාපටය එවැනි සිද්ධි දාමයකින් සහ මුරලිගේ කඩයිම් බොහෝ ප්‍රමාණයකින් සන්නද්ධ වී තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ සහ එංගලන්තයේ ද චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කර තිබේ. වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ජීවන තොරතුරු තේමාව කරමින් එතෙක් මෙතෙක් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන විශිෂ්ටතම සිනමා නිර්මාණය එය වනු ඇත. ප්‍රධාන වශයෙන් දෙමළ බසින් නිෂ්පාදනය වන ‘800’ හින්දි සහ තෙළිඟු බසින් දෙබස් කවා එකවර මුදාහැරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර සිටී. “800” ජනප්‍රිය දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ එම්. එස්. ශ්‍රීපති ගේ නිර්මාණයකි.

2010 වසරේ ජූලි මස 22 වැනිදා එසේ ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් මුරලි ක්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ 1992 වසරේ අගෝස්තු මස ඔස්ට්‍රේලියාවට එරෙහිවය. ඒ වසර 20කට ආසන්න කාලයේ මුරලි පෑ දස්කම් එක චිත්‍රපටයකින් නම් ගොණු කරන්නට නොහැක. එවැනි චිත්‍රපට සියයක්වත් ඔහු ගේ දස්කම් ලොවට කියන්නට ඕනෑ වනු ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment