ත්‍රස්තවිරෝධී පනත ගැන කාදිනල් හිමි අනතුරු අඟවයි

244

යෝජිත ත්‍රස්ත විරෝධි පනත හරහා දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමට හැකි බැවින් එය ඉතා භයානක පනතක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ අවධාරණය කළේ, එම කෙටුම්පත පරාජය කිරීමට රට පිළිබඳව හැඟීමක් ඇති සියලුදෙනා එක්විය යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේද පැවසීය. “2023 ත්‍රස්ත විරෝධී පනත පසුගිය මාර්තු 17 දා ගැසට් කරන්න යෙදුනා. ඒකේ අර්තකථනය කිරීමේ බලය ගොඩක් දුරට දීලා තියෙන්නේ පාලනය කරන අයට. මේ පනතේම කොටසක තියෙනවා මිසලේනියස් ඕඩර්ස් කියලා. ඒකෙන් සම්පූර්ණයෙන්ම ජනාධිපතිගේ අතට තමයි නීතියේ බලය දීලා තියෙන්නේ. ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලය එතුමාට පවරලා තියෙනවා. එතකොට දේශපාලන පක්ෂයක් තහනම් කරන්න පුළුවන්. ඒ පක්ෂය ත්‍රස්තවාදී වැඩ කරනවා කියලා මවලා ඒක තහනම් කරන්න පුළුවන්. මේ පනත ගේන්නේ විරෝධතා පාලනය කරන්න කියන එකට තමයි අපිට හිතා ගන්න පුළුවන්. මේ පනත අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම 3.2.F, මහජන සොඛ්‍ය සේවා අනතුරට දැමීම 3.2.H, මහජනතාවගේ ආරක්ෂාවට බාධා කිරීම හා නිත්‍යානුකූල නොවන රැස්වීම් පැවැත්වීම 3.2.L, ත්‍රස්ත ක්‍රියා ලෙස හඳුන්වා තිබෙනවා. රැස්වීම් තියන්න, වර්ජන කරන්න බැහැ එවැනි ක්‍රියා ත්‍රස්තවාදයක්. එලෙසම පළමුවරට මෙවැනි චෝදනාවලට මරණ දඬුවම ලබාදෙන්න පුළුවන් බවට මේ පනතේ පෙන්වා දෙනවා. අපි ඉල්ලා සිටින්නේ. මේ අවස්ථාවේදී රට ගැන කැක්කුමක් තියෙන සියලුදෙනා එකතුවෙලා යෝජිත ත්‍රස්ත විරෝධි පනත පරාජය කරන්න.”

advertistmentadvertistment
advertistmentadvertistment