ඇෆ්ගන්ට එරෙහි සංචිතයට කෝඩුකාරයෝ තුනක්

229

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා කෝඩුකාරයන් තිදෙනකු ඇතුළු 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (31 දා) නිල වශයෙන් එළි දක්වන ලදි. හිටපු නායක දිමුත් කරුණාරත්න කණ්ඩායමේ සිටියදීම පළමුවරට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කෙරුණු මෙම ටෙස්ට් සංචිතයේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරයි.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයන් ලෙස සංචිතයට එක් වූ ක්‍රීඩකයන් තිදෙනා වන්නේ කඩුලු රකින ක්‍රීඩක ලහිරු උදාර සහ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩකයන් වන චාමික ගුණසේකර හා මිලාන් රත්නායක වෙති.

මෙම ටෙස්ට් තරගය හෙට (02 දා) සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

පළපුරුදු ක්‍රීඩකයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සංචිතයට එක්ව සිටින අතර වසර දෙකකට පසු නැවත ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට කමිදු මෙන්ඩිස් ට අවස්ථාව උදාවී ඇත.

වේග පන්දු බල ඇණියේ අත්දැකීම් සහිත ක්‍රීඩකයෝ ලෙස අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත රැඳී සිටිති.

රමේෂ් මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය විශේෂඥ දඟපන්දු යවන්නන් ලෙස සංචිතයට නම් කර තිබෙන අතර නායක ධනංජය ද සිල්වා එම දෙදෙනාට අතිරේක සවියකි.

අදාළ සංචිතය

ධනංජය ද සිල්වා -(නායක), කුසල් මෙන්ඩිස් – (උප නායක), දිමුත් කරුණාරත්න නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලහිරු උදාර, චාමික ගුණසේකර, මිලාන් රත්නායක.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment