මධ්‍යම රාත්‍රි අවුරුදු නැකැත් අශාස්ත්‍රීයයි – ඓතිහාසික වරද නිවැරදි කරමු!

1026

සංවාදයට විවෘතයි

කාටත් අපහසු මධ්‍යම රාත්‍රියක ලිප් දල්වමින් කිරිබත් පිසිය යුතුද? මධ්‍යම රාත්‍රියේ කිරිබත් අනුභව කරමින් වැඩ අල්ලා ගනුදෙනු කළ යුතුද? සම්ප්‍රදාය රකිනවා කියා වැරදි සිද්ධාන්ත කරපින්නා නොගෙන නිවැරදි දේ කළ යුතු නොවේද? ආයුර්වේද දින චර්යාව සහ ආහාර රටාවට පවා පටහැනිව මේවා කළ යුතු ද? එයින් ඇතිවන සුගතිය කුමක්ද? අනෙක් අතට නොනගතයක් ඇතුලේ කිසිදු ආහාරයක් නොගෙන සම්පූර්ණයෙන් උපවාස කළ යුතු බවක්වත් සංක්‍රාන්ති සිද්ධාන්තවල නැහැ.

අලුත් අවුරුදු නැකැත් කියලා අපේ රටේ වෙන්නේ 1855 පමණ පටන් ව්‍යාපාරික අවශ්‍යතාවය මත ඇරඹුණු ලිත් සම්ප්‍රදාය රැකීමයි. මුල්වරට අවුරුදු නැකැත් හෝ චාරිත්‍ර ලෙස ලිත්වලින් ඉදිරිපත් වී ඇත්තේ 1863 වසරේ. නොනගතයේ අපර කොටසේ නැකැත් හදාගෙන චාරිත්‍ර කරන්න නියම කළ කිසිම ජ්‍යොතිෂ සිද්ධාන්තයක් සෘෂිභාෂිත මූලාශ්‍රවල නැහැ. මේ ලිත් සම්ප්‍රදාය බිහිවීමට ප්‍රථම ජන සමාජය තුළ පැවති ඉපැරණි අවුරුදු චාරිත්‍ර වගේම අනාදිමත් කාලයක් තිස්සේ සූර්ය වංශිකයින් ලෙස සූර්ය මංගල්‍යය හා බැඳුණු චාරිත්‍රත් නෙවෙයි දැන් මේ ලිත් සම්ප්‍රදාය එක්ක ගොඩනැඟිලා තියෙන්නේ.

නාරද පුරාණය , නාරද සංහිතාව, වශිෂ්ඨ සංහිතාව ආදී මූල ග්‍රන්ථවල සංක්‍රාන්ති ප්‍රකරණ කොටස තුළයි සංක්‍රාන්ති සිද්ධාන්ත පැහැදිලිව ලියැවී තිබෙන්නේ. සංක්‍රාන්ති කාලයක නොනගතය ගණනය කිරීම, පුණ්‍ය කාලය තීරණය කිරීම ආදී ගණිතමය ක්‍රමවේද සෘෂිභාෂිතය අනුව ඒවායේ වඩාත් හොඳින් පැහැදිලි කෙරෙනවා. සිංහලයට පරිවර්තනය වී ඇති මෙකී ග්‍රන්ථවල සදොස් තැන් බහුලයි. ඇතැම් ඒවා පරිවර්තනය වෙලාද යන්නත් සැක සහිතයි. මූල ග්‍රන්ථවල ශ්ලෝකවල ඇති වැදගත් ව්‍යාතිරේක කොටස් අපේ රටේ පරිවර්තනය වූ පොතපතේ නැති තරම්. මූලාශ්‍ර නිවැරදිව අධ්‍යයනය නොකර ලිත් සම්ප්‍රදාය රකින්න නැකැත් හදන රාජ්‍ය නැකැත් කමිටුවේ එක්තරා පිරිසක් මේ ගෙනයන්නේ අත්තනෝමතික වැඩපිළිවෙළක්. කමිටුව ඇතුළෙත් බෙදීම් බොහොමයි. පවතින සම්ප්‍රදාය වැරදි වුණත් ඒකම රැකගෙන ඇත්ත කතා කළොත් සාමාජිකත්වය අහෝසි වේ යැයි සිතා නිහඬ වෙන පිරිසකුත් මේ කමිටුවේ සිටිනවා. වසරක් පාසාම මේ සිද්ධාන්ත වැරදි ලෙස භාවිතාව නිසා කමිටුවේ ඇතැම් අත්තනෝමතික ක්‍රියා කරන අය අපි එක්ක මත ගැටුම් හදාගෙන අපි සංස්කෘතියට විරුද්ධ යැයි වැරදි ප්‍රචාර පවා ගෙන යනවා. පසුගිය අවුරුදුවලත් අපි එළියේ ඉඳන් විකල්ප වේලාවන් පුවත්පත් ඇතුළු මාධ්‍යය මඟින් ලබාදීලා තිබෙනවා මේ ගැටලු නිසාම. ලිත් සම්ප්‍රදාය බිහිවීමට පෙර ඉතිහාසය තුළ රාජකීය නැකත්කරුවන් මෙන්ම ග්‍රාමීයව සිටි නැකත් රාළලා ප්‍රාදේශීය වශයෙන් සූර්යෝදය අනුව ඒ ඒ ප්‍රදේශවලට චාරිත්‍ර ඉටු කිරීමට වේලාවන් නියම කරගෙන කළ නිවැරදි හෙළ සම්ප්‍රදායක් අපට තිබුණා. අපි මේ හඬක් නඟන්නේ ඒ පැරණි සංස්කෘතිය නිවැරදි නිසා. රටටම එකවර චාරිත්‍ර කළ යුතු නම් සංක්‍රාන්තිය මඟ හැර නිවැරදි සිද්ධාන්ත අනුව චාරිත්‍ර වේලාවන් අපූරුවට නියම කරන්නත් පුළුවන් පහසුවෙන්ම.

ජ්‍යොතිෂමය අර්ථයෙන් ගත් විට සෑම මසකම සූර්ය සංක්‍රාන්ති සිදුවෙනවා. ඒ අනුව වසරකට සංක්‍රාන්ති 12 යි. මේ සංක්‍රාන්ති ප්‍රභේද හතරකට බෙදී යනවා. ඒ අනුව බක් මස සිදුවන සංක්‍රාන්තිය විෂුව නොහොත් සම්පත් නම් සංක්‍රාන්ති ගණයටයි වැටෙන්නේ. මේ සංක්‍රාන්තිය ජල රැසකින් අග්නි රාශියකට සිදුවන අතර මීනයේ අවසානයත් මේෂයේ මුලත් ගණ්ඩාන්තයක්. ජ්‍යොතිෂ ශාස්ත්‍රීය වශයෙන් එකී කාල කොටස සුබ නැකත් පිළියෙල කිරීමේදී විශේෂ කොට අත් හරිනු ලබන අසුබ කාල සීමාවක් විදියටයි සලකන්නේ. මුහුර්ත චින්තාමණිය, නැකැත් සිතුරුවන ආදී මූල ග්‍රන්ථ අනුවද එකී කාලය සුබ කටයුතු සඳහා සුදුසු වන්නේ නැහැ. මෙවර 2024 වසරේ සංක්‍රාන්ති මොහොත වෙන්නේ රාත්‍රී 9.05 ට. පොදුවේ සංක්‍රාන්තියෙන් දෙපසට පැය 6 මිනිත්තු 24

බැගින් ඉවත් කරලා නොනගතය එහෙම නැත්නම් සුබ කටයුතු සඳහා යොදා නොගන්න ආධ්‍යාත්මික කටයුතු සඳහා උචිත කාලයක් ලෙසයි සලකන්නේ. නමුත් සංක්‍රාන්ති සිද්ධාන්ත නිවැරදිව පරිශීලනය කළොත් හිරු අවරට ගිය පසු මධ්‍යම රාත්‍රියට පෙර සිදුවන විෂුව සංක්‍රාන්තියකදී නොනගතය එහෙම නැත්නම් පුණ්‍ය කාලය ගණනය කරන්නේ දිවා මානය කොටස් දෙකකට බෙදලා එහි දෙවන කොටසින් ආරම්භ වෙන ලෙසයි. නාරද සංහිතාවේ මේ සිද්ධාන්ත නැකැත් කමිටුවේ සිටින අය පරිශීලනය කරනව ද කියන්නවත් අපි දන්නේ නැහැ. පොදුවේ සංක්‍රාන්තිය දෙපසට පැය 6 මිනිත්තු 24 කාල කොටස් දෙක ඉතාම නින්දිත බැව් පැහැදිලිව සංක්‍රාන්ති සිද්ධාන්තවල සඳහන් වන විටදීත් සුබ නැකත් කියමින් කමිටුව රටම නොමඟ යවන්නේ ඇයි දැයි යන්න විද්වත් සාකච්ඡාවකට බඳුන් විය යුතුමයි.

විශේෂයෙන්ම නොනගතය එහෙම නැත්නම් සංක්‍රාන්ති කාලය සහ පුණ්‍ය කාලය කියන්නේ එකක් නෙවෙයි දෙකක්. මේ දෙකම එකක් ලෙස සලකාගෙන තමයි 1863 පටන් මේ දක්වා අවුරුදු නැකැත් පිළියෙල කරලා තියෙන්නේ. සංක්‍රාන්තිවලින් මේෂ සංක්‍රාන්තිය විෂුව නමින් හඳුන්වනවා. මේ සංක්‍රාන්තිය තමයි අපි අවුරුදු හැටියට බක් මාසයේ සමරන්නේ. ඉතින් නාරද සංහිතාව තුළ පැහැදිලිවම සඳහන් වෙනවා මීන රාශියෙන් මේෂ රාශියකට සිදුවන සංක්‍රාන්තියක් නම් පුණ්‍ය කාලය විය යුත්තේ සංක්‍රාන්ති මධ්‍යයේ සිට දෙපසට ඝටිකා එහෙම නැත්නම් නාඩිකා 8 බැගින් බව. ඝටිකා එකක් යනු මිනිත්තු 24 ක්. ඒ අනුව සංක්‍රාන්ති මධ්‍යයේ සිට පැය 3 මිනිත්තු 12 බැගින් පෙර සහ පසු කාලය තමයි සිද්ධාන්ත අනුව නිවැරදි පුණ්‍ය කාලය වන්නේ. ඒ කියන්නේ මුළු නොනගතයම පුණ්‍ය කාලය වන්නේ නැහැ. අනෙක් කරුණ තමයි හිරු අවරට ගොස් සන්ධ්‍යා කාලයෙන් පසුව මධ්‍යම රාත්‍රියට පෙර සංක්‍රාන්තියක් සිදුවෙනවා නම් පුණ්‍ය කාලය දිවා මානයේ දෙවන භාගයේ පටන් ඉදිරියට යි ගණනය කළ යුතු. මෙසේ සිද්ධාන්ත නිවැරදිව යොදා බලද්දි අපේ රටේ හැමදාම සංක්‍රාන්ති කාලයයි, පුණ්‍ය කාලයයි පවා පටලවාගෙන බව පැහැදිලියි. භාරතයේ ලිත් අධ්‍යයනය කර බලද්දී ඒ අය මේ ආකාරයට පටලවා නැහැ. පුණ්‍ය කාලය රාත්‍රි කාලයේ යෙදී නැහැ. ඉතින් සෘෂිවරු කියූ සිද්ධාන්තවලට පටහැනිව මේ අපි කරන්නේ ඓතිහාසික වරදක්මයි.

අනෙක් අතට සංස්කෘතික චාරිත්‍ර නම් කාටත් අපහසු මධ්‍යම රාත්‍රියක ලිප් දල්වමින් කිරිබත් පිසිය යුතුද? මධ්‍යම රාත්‍රියේ කිරිබත් අනුභව කරමින් වැඩ අල්ලා ගනුදෙනු කළ යුතුද? සම්ප්‍රදාය රකිනවා කියා වැරදි සිද්ධාන්ත කරපින්නා නොගෙන නිවැරදි දේ කළ යුතු නොවේද? ආයුර්වේද දින චර්යාව සහ ආහාර රටාවට පවා පටහැනිව මේවා කළ යුතු ද? එයින් ඇතිවන සුගතිය කුමක්ද? අනෙක් අතට නොනගතයක් ඇතුලේ කිසිදු ආහාරයක් නොගෙන සම්පූර්ණයෙන් උපවාස කළ යුතු බවක්වත් සංක්‍රාන්ති සිද්ධාන්තවල නැහැ. පත්‍ය, අපත්‍ය ආහාර ගැන නම් සඳහන් වෙනවා. ජ්‍යොතිෂ සිද්ධාන්ත සහිත සෘෂි භාෂිතයත්, සංස්කෘතික චාරිත්‍රයත් යන දෙකම රැකගෙන අපට මේ චාරිත්‍ර කළ හැකියි. අසල්වැසි භාරතයේ සිදුවන්නේත් සංක්‍රාන්ති දිනය මඟ හැරලා නම් ඇයි අපි වැරදි දෙයක් කරපින්නාගෙන යන්නේ?

2024 අප්‍රේල් 14 උදෑසන කාලය තුළ හිරු උදාවත් එක්ක සුබ කාල හෝරාවන්, පංචම කාල හෝරාවන් තීරණය කර සැමට අපේ සංස්කෘතික උත්සවයේ වටිනා චාරිත්‍ර කළ හැකියි. නොනගතය මග හැරෙන නිසා එය රටටත් ජනතාවටත් යහපත්. 1907/1912/1918/1919/1928/1943/ 1935/1936/1938/1942/1946/1950/1957/ 1970/1992/1997/1998 ආදී අවුරුදුවල සංක්‍රාන්තියෙන් පසුව කාටත් පහසු පරිදි චාරිත්‍ර කරලා තියනවා. 1884 වර්ෂයේ ඈපා අප්පුහාමි මහතා පවා සිය ලිතේ සංක්‍රාන්තියෙන් පසුව අවුරුදු චාරිත්‍ර කළ යුතු යැයි ශාස්ත්‍රීයව පිළිගන්නා අයට වෙනම විකල්ප නැකැත් දී තිබුණේ නම් නිවැරදි පූර්වාදර්ශයක් දෙමින් 2024 වසරේ දී කමිටුවට ද එසේ කරන්න තිබුණත් අත්තනෝමතික විදියට එය එසේ සිදුවී නැහැ.

මෙවර අප විකල්ප නැකැත් කමිටුවක් හරහා ඉහත කී ලිපගිනි මෙළවීම, ආහාර පිසීම, අනුභවය, ගනුදෙනු කිරීම සහ වැඩ ඇල්ලීම සඳහා මධ්‍යම රාත්‍රියේ නොව අප්‍රේල් 14 අලුයම සහ උදේ කාලයේ රටටම පහසුවෙන් කළ හැකි චාරිත්‍ර වේලාවන් ලබා දීමට තීරණය කර තිබෙනවා. 2024 මාර්තු මස පමණ වනවිට මාධ්‍යය මඟින් මේවා ප්‍රසිද්ධ කිරීමටත් , රාජ්‍ය නායකයාගේ පටන් සියලු වගකිවයුතු සංස්කෘතික දෙපාර්තමේන්තු ඇතුළු ආයතන දැනුවත් කිරීමටත් සූදානම්. මෙය අපේ දේශය වෙනුවෙන් සෘෂිභාෂිත ජ්‍යොතිෂය පිළිගන්නා සැබෑ ජ්‍යොතීර්වේදීන් ගනු ලබන වැදගත්ම ප්‍රවිෂ්ඨ වීමක් මෙන්ම හුදුමහත් ජාතියේම සන්ධිස්ථානයක්. අප නායකත්වය දෙන ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සමූහයේ ගෞරවණීය ජ්‍යොතිර්වේදීන් එයට මූලික වෙමින් ක්‍රියා කරනවා. එමෙන්ම නාරද පුරාණයේ සම්හිතා කොටසේ “සංක්‍රාන්ති ප්‍රකරණ” මූල ග්‍රන්ථ කොටස් පරිවර්තනය කර ජනගත කිරීමටත් ක්‍රියා කරන්නට කටයුතු කරන්න සූදානම්.

කාලාන්තරයක් තිස්සේ වැරදි දෙයක් සිදු වූයේ නම් එය එලෙසින්ම කරපින්නාගෙන නොයා වරද වරද බව දැනගත් පසු නිවැරදි වීම තමයි සමාජයට වඩාත් යහපත් වන්නේ. මේ වෙනුවෙන් විද්වත් සභාවක් ගොඩ නැඟිය යුතුමයි. සංස්කෘතික උත්සවයක් විකෘති නොකර රටම එකවර සියලු වැඩ නවත්වා ගණ්ඩාන්ත දෝෂ, සූර්ය සංක්‍රමණ දෝෂ ඇති නරකම වෙලාවක සුබ නැකැත් හෝ චාරිත්‍ර කියමින් රාජ්‍ය නායකයාගේ පටන් රටේ සියල්ලෝම අලුතින් සියල්ල නැවත ඇරඹීම සියවසකටත් වැඩි කලක් තිස්සේ සිදුවීමෙන් රටට සුගතියක් වන්නේද යන්න නැවත සිතා බැලිය යුතුය.

පඬුවස්නුවර නැගෙනහිර ආයුර්වේද සංරක්ෂණ සභාවේ පාරම්පරික වෛද්‍යාචාර්ය, පාරම්පරික ජ්‍යොතීර්විද්‍යා උපදේශක, විශ්වවිද්‍යාල අධ්‍යයන මණ්ඩල සාමාජික, ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සමූහයේ ජාතික සංවිධායක
දේශබන්දු රවිශංඛ සේනානායක
0716 854 854

advertistmentadvertistment
advertistmentadvertistment