ලක්නව් හි යළි ඇවිළුණු කෝලි සහ ගාම්භීර්

809

කෝලි සහ ගංගුලි අතර වලිය. එමෙන්ම කෝලි සහ ගාම්භීර් අතරත් වලිය. අද ඊයේ නොවේ. අතීතයේ පටන් මේ විරසක පැවත ඒ. කුල ප්‍රශ්න හෝ නායකත්ව ප්‍රශ්න හෝ මොන යම් හේතුවක් මුල් කර ගෙන කෝලි සහ ගංගුලිත්, කෝලි සහ ගාම්භීර් එතරම් හිත හොඳ නැත. දුටු තැන කේන්ති ගනී. කෝලිට නායකත්වයෙන් යන්න වුණේ ද ගංගුලි නිසා බව ලෝකයම දන්නා රහසකි. ගංගුලි එකල ඉන්දීය ක්‍රිකට් සභාපතිය. ඒ සභාපති නායකයා ට පල නොකියා පලා බෙදුවේය. අවසානයේ වසර හතක නායකත්වය කෝලි අතහැරියේය. කෝලි ගංගුලි ගැටුම උග්‍ර වුණේ එසේය.

මේ වලි හෙවත් ගැටුම්වල තවත් උච්චතම අවස්ථාවක් පෙරේදා උදා වූයේය. ඒ ලක්නව් හිදීය. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ කෝලි ගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැති අයිපීඑල් තරගයෙන් පසුව මේ ගැටුම ඇති විය. තරගය නිමාවෙන් පසු කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතර සාම්ප්‍රදායිකව සිදුවන අතට අත දීමෙන් පසුව මෙම තත්ත්වය උදාවිය.

එදින ක්‍රිකට් තරගයෙන් ජය ගත්තේ කෝලි ගේ බැංගලෝර් කණ්ඩායමයි. ලක්නව් කණ්ඩායමේ මෙවර පුහුණුකරුවා වන්නේ ගාම්භීර් ය. මෙම කණ්ඩායම් දෙක මෙවර තරගාවලියේ පළමු වරට හමු වූ අවස්ථාවේදී ද කෝලි සහ ගාම්භීර් දෙදෙනා ඔවුනොවුන් ට අතට අත දීමත් ප්‍රතික්ෂේප කළේය. ක්‍රීඩාගාරයට යන අතරමග සැමදෙනා සමග කතාබහ කර කර ගිය කෝලි හිතාමතාම ගාම්භීර්ව මග හැරියේය. ගාම්භීර් ද නොදුටු දෑසින් සිටියේය. එහෙත් පෙරේදා තරගයේ දී දෙදෙනා අමනාපෙන් වුවද අතට අත දුන්හ. එහෙත් තප්පර ගාණක් වත් ගියේ නැත. අතට අත දී යන අතර මග හමු වූ ලක්නව් කණ්ඩායමේ කයිල් මේයර්ස් සමග කෝලි සුහද කතාබහකය. මෙය දුටු ගාම්භීර් වහා එතැනට පැමිණ කෝලි ට රිදෙන්නට මෙන් මේයර්ස් ව එක් කර ගෙන ගියේය. ගාම්භීර් ගේ එම ක්‍රියාවෙන් තක්බීර් වූ කෝලි ට කටඋත්තර නැතිව ගියේය. මේයර්ස් ගේ පිට වටා අත දමා ඔහු කැටුව ගිය ගාම්භීර් තව මොන මොනවදෝ යන ගමන් මේයර්ස් ට කියනවාත් පෙණුනි. ගාම්භීර කළ මෙම නින්දා සහගත වැඩෙන් කෝප වී සිටි කෝලි ගාම්භීර් ට දොස් නගමින් ඔහු වෙත කඩා පනින්නට මෙන් එන්නට විණ. මෙය දුටු කුකුල් කේන්තිකාර ගාම්භීර් ද කෝලි වෙත එන්නට දඟලයි. වාග් ප්‍රහාර දෙපසට හුවමාරු වේ. ඒ මදිය. දෙදෙනා අතින් පයින් කේන්තිය පිට කරන්නටම සැරසේ. ලක්නව් කණ්ඩායමේ නායක ලෝකේෂ් රාහුල් ගාම්භීර්ව නතර කරගෙන ය. කුර්නල් පාණ්ඩයා ද රාහුල්ගේ සහායට සිටියේය. රාහුල් සහ පාණ්ඩයා ගාම්භීර් නවතා ගෙන සිටියත් ඔහු කටින් වැඩය. කෝලිට බැණ වදී. මේවා කෝලිට ඇසේ. ඔහු ද ගැටුමට එන්නට ම හදයි. බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම ලක්නව් ක්‍රීඩකයන් ද කෝලිට එන්නට දෙන්නේ නැත. ඔහුව නතර කරගෙන ය.

අඩදබරයක් වෙන්නට ගිය අවස්ථාවක් දෙපසේ සිටි ක්‍රීඩකයෝ විසින් යන්තම් සමනය කරගත් හ. එහෙත් දෙදෙනා කෙසේ හෝ අවසානයේ මුහුණට මුහුණ ඇඟිලි දිගු කර ගෙන ක්‍රෝධයෙන් බැණ ගන්නවා දැකගත හැකි විය. එම උච්චතම අවස්ථාව බේරුම් කරේ ලක්නව් කණ්ඩායමේ කඩුලු රකින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් කාර්තික් දෙදෙනාව දෙපසට කිරීමෙනි. ලෝකේෂ් රාහුල් ද ඊට සහාය වූයේය.

කෝලිගේ බැංගලෝර් කණ්ඩායමේ නායක ෆැෆ් ඩුෆ්ලෙසිස්, ග්ලේන් මැක්ස්වල්, ජොස් හේසල්වුඩ් මෙන්ම ලක්නව් කණ්ඩායමේ මාකස් ස්ටොයිනිස්, නිකොලස් පූරන් ආදී විදෙස් ක්‍රිකට් තරු මෙම ගැටුම වරෙක සමථය කරමින් ද වරෙක එය විඳිමින් ද සිටිනු අයුරු වීඩියෝ දර්ශනවල මනාව දැක්වේ. මීට වසර දහයකට පෙර එනම් 2013 වසරේ ද කෝලි සහ ගාම්භීර් අයිපීඑල් පිටියේ උණුසුම් වචන හුවමාරුවක නිරත වූහ. එවකට ගාම්භීර් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ය. එම ගැටුම මෙතරම් දුර දිග ගියේ නැත.

2022 දෙසැම්බර මාසයේදී කෝලි එක්දින නායකත්වයෙන් ඉවත් කිරීමට ඉන්දීය පාලක මණ්ඩලය පියවර තිබිණි. එම තීරණය විවේචනය කරමින් කෝලි තනිවම පුවත්පත් සාකච්ඡා පවා පැවැත්වූයේය. එය විරාත් හා පාලක මණ්ඩල සභාපති සව්රව් ගංගුලි අතර ගැටුමක් ලෙස මාධ්‍ය හුවා දක්වා තිබිණි. කෙසේ නමුත් ඇත්තෙන්ම සව්රව් ගංගුලි හා විරාත් අතර පැහැදිලි ගැටුමක් දක්නට ලැබිණි. බෙංගාලි බ්‍රාහ්මණ සව්රව් පන්ජාබ් විරාත්ට කැමති වූයේ නැත. විරාත් දෙමළ බ්‍රාහ්මණයකු වන රවිචන්ද්‍රන් අශ්වින් පැත්තකට කර තැබූ බවටත් මාධ්‍යවල පළවී තිබිණි. නමුත් කෝලි කෙතරම් බලවත් ක්‍රිකට් තාරකාවක් වුවද ඉන්දීය පාලක මණ්ඩලය හා ගැටීමට යෑමෙන් ඔහු පරාජයට පත්විය. එසේම ගංගුලි මෙන්ම ගෞතම් ගාම්භීර් ද බ්‍රාහ්මණ වංශිකයෙකි. ජාතික කණ්ඩායම සමඟ කෝලිගේ භූමිකාව විස්තර කරමින් ගාම්භීර් ප්‍රකාශ කර තිබුණේ, “මම හිතන්නේ විරාත් කෝලි ලකුණු රැස් කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඔබ ඉන්දියාවට ක්‍රීඩා කිරීමට සිහින දකින විට ඔබ නායකයකු වීමට සිහින දකින්නේ නැත, ඔබ සිහින දකින්නේ ජයග්‍රහණය ගැන පමණකි.”

මේ ආකාරයට කෙමෙන් කෙමෙන් වර්ධනය වූ කෝලි ගාම්භීර් ගැටුමේ පෙරේදා සිදු නොවූයේ අතින් පයින් ප්‍රහාර එල්ල කිරීම පමණි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාටම එම වරද අනුව තරග ගාස්තුවෙන් සියයට සියයක්ම කපා හැරිණි.

කුෂාන්

advertistmentadvertistment
advertistmentadvertistment