පසිඳු සහ මිනෝද් දෙවන ඉනිමේදී වැඩ අල්ලති

389

දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිවුදින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වීමට මිනෝද් භානුක සහ පසිඳු සූරියබණ්ඩාර සමත් වූහ.

මන්දාලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයට තරගය නතර කරන විට පසිඳු සහ මිනෝද් දෙදෙනාම ලකුණු 70 සීමාව ඉක්මවා නොදැවී රැස් කර ගෙන සිටි අතර ඒ අනුව සංචාරකයින්ට වඩා ශ්‍රී ලංකාව මේ වන විටත් ලකුණු 226 ක් ඉදිරියෙන් සිටියි.

ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දෙන ඉලක්කය තවත් වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තවත් කඩුලු 8ක් ඉතිරිව ඇති අතර දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු දෙකක් දැවී ලකුණු 230ක් ලෙසිනි.

පෙරේදා දිනයට තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 287 ක් රැස් කරගෙන සිටි දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ ඉතිරි කඩුලු 4 ඊයේ උදෑසන ලකුණු 07 ක් ඇතුළත බිඳ දැමීමට ලක්ෂිත මානසිංහ සහ ප්‍රවීන් ජයවික්‍රම සමත් වූහ.

ඒ අනුව දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා පළමු ඉනිමේදී පෙරමුණ ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණක් වූ අතර පන්දුවාර 84.3 කදී ලකුණු 294 කට දකුණු අප්‍රිකානු පළමු ඉනිම නිමා විය.

ලක්ෂිත මානසිංහ දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිමේ ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගත් අතර ඒ අනුව මානසිංහ මේ වන විට ඉනිම තුනකදී දවා ගෙන සිටින මුළු කඩුලු සංඛ්‍යාව 12 කි.

එංගලන්ත ලයන්ස් පිල ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයේදී වැඩිම කඩුලුලාභියා බවට පත් වූ මානසිංහ මෙවර තරගාවලියේ ද මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා වේ.

ලකුණු 04 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලබා සිටි අතර දිවා භෝජනයට පෙර අවසන් පන්දුවාරයේදී කෲස්පුල්ලේ ලකුණු 30 කට දැවී යනවිට නිශාන් මදුෂ්ක ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

අනතුරුව පිටියට පැමිණි මිනෝද් භානුක පන්දු 135 ක් තුළ මේ වන විට නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 79 කි. ඒ සඳහා හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් එල්ල කර ඇති මිනෝද් පළමු ඉනිමේදී ද ලකුණු 32 ක් ලබා ගත්තේය.

නිශාන් මධුශ්ක ගේ ඉනිම ලකුණු 40 කට නිමාවීමෙන් පසු පසිඳු සූරියබණ්ඩාර පිටියට පැමිණි අතර මිනෝද්ට වඩා වේගවත් පිතිහරඹයක නිරත පසිඳු නොදැවී ලකුණු 73 ක් ලබා ගෙන සිටින්නේ පන්දු 97 කිනි.

හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට පසිඳු සමත් වී තිබේ. අද (22 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි

(පසිඳු සූරියබණ්ඩාර 41, නිශාන් මදුශ්ක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, කමිඳු මෙන්ඩිස් 1, ළහිරු උදාර 33, රමේෂ් මෙන්ඩිස් 62, ලක්ෂිත මානසිංහ 13, මිලාන් රත්නායක 35, ප්‍රවීන් ජයවික්‍රම 0, විශ්ව ප්‍රනාන්දු 0, සෙනුරන් මුතුසාමී 101/6, ලුතෝ සිපම්ලා 36/2, ලිසාඩ් විලියම්ස් 26/1, බෙයර්ස් ස්වෙන්පියෝල් 67/1)

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල පන්දුවාර 84.3 කදී සියලු දෙනා දැවී ලකුණු 294 යි

(ටෝනි ද සෝර්සි 0, මැතිව් බි්‍රට්ස්කි 10, ටි්‍රස්ටන් ස්ටබ්ස් 117, කීගන් පීටර්සන් 50, සුබයර් හම්සා 46, කයිල් වෙරයියන් 38, සෙනුරන් මුතුසාමි 10, බෙයර්ස් ස්වෙන්පෝල් 4, ලිසාඩ් විලියම්ස් 2, ලුතෝ සිපම්ලා 1, ෂෙපෝ මොරෙකි 0, විශ්ව ප්‍රනාන්දු 45/3, ලක්ෂිත මානසිංහ 48/3, ප්‍රවීන් ජයවික්‍රම 102/2)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 63 කදී කඩුලු 2ක් දැවී ලකුණු 230 යි – (නිශාන් මදුෂ්ක 40, ලසිත් කෲස්පුල්ලේ 30, මිනෝද් භානුක නොදැවී 79, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 73)

ෂෙපෝ මොරෙකි 19/1, ටි්‍රට්සන් ස්ටබ්ස් 42/1

advertistmentadvertistment
advertistmentadvertistment