ජනතා බලාපොරොත්තු ඉටුවන අයුරින් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කළා

111

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජජපක්ෂ
වංචා නැවැත්වීම නීති ගේන්නැයි ආධාර දෙන රටවල් ඉල්ලුවා – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ
දූෂණ නිසා ආයෝජකයෝ එන්නේ නෑ – එස්. එම්. මරික්කාර් (සජබ)
දූෂණ ඇල්ලීමට ආපස්සට බලපාන ලෙස නීති පනවන්න – කුමාර වෙල්ගම (සජබ)
පනත තුළ බරපතළ දෝෂ තිබෙනවා – මහාචාර්ය ජී. එල්. පීරිස් (ශ්‍රී.පො.පෙ.)


පාර්ලිමේන්තුව හොරු, දූෂිතයන් සිටින තැනකට වඩා හොරකම්වලට එරෙහි නීති සකසන විද්වතුන් කණ්ඩායමක් සිටින බවට ජනතාවට පිළිගත හැකි වන ආකාරයේ ජනතා බලාපොරොත්තු ඉටු කර ගත හැකි ලෙසට දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (21 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.

ලිපිලේඛන, වාර්ෂික වාර්ථා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, 27 -2 යටතේ විශේෂ ප්‍රකාශ සිදුකිරීම සහ ඒවාට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව දිනට නියමිතවූ දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මෙන්ම අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින්, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජජපක්ෂ මහතා –

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද ඉදිරිපත් කරන්නේ දීර්ඝ කාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රේෂ්ඨාධිකරණයත් මේක දීර්ඝ ලෙස සලකා බලා මේ ගැන නිර්දේශ ලබා දී තිබෙනවා. ඒ වගේම විපක්ෂය විසින් සංශෝධන මාලාවක් ලබා දී තිබෙනවා. අපිට මේ පනත ගෙන එන්න විශාල කාලයක් ගත වුණා.

(ෂානක්කියන් රාසමාණික්කම් මහතා මූලාසනයට පැමිණේ)

ඒ වගේම සිවිල් නඩු විධාන සංග්‍රහය සම්බන්ධවත් අපි නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ රටේ නඩු විශාල ප්‍රමාණයක් කල් යනවා. නඩු ප්‍රමාදයන් තිබෙනවා කියලා අපි දන්නවා. අපි මෙමගින් බලන්නේ යම් සිද්ධියකින් වින්දිතයෙක් සිටිනවා නම් ඔහුට වූ තුවාල ආදිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා වෛi වාර්තාවක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. ඒ සම්බන්ධයෙනුත් අපි සංශෝධන රැසක් සිදුකර තිබෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :

අපි මේ පනත අධ්‍යයනය කළා. මෙහි අතීතයට බලපාන ලෙස නීති සකසා නෑ. ඒ සම්බන්ධයෙනුත් නීති අවශ්‍යයි.

විජයදාස රාජපක්ෂ මහතා:

මේ සම්බන්ධයෙන් අපි නීතිපතිතුමාගෙනුත් උපදෙස් ලබා ගන්න ඕන. ඒ සඳහා නිතිපති කැඳවා මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන්න කටයුතු කරනවා.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා (ශ්‍රී.පො.පෙ.):

දූෂණ විරෝධී පනත අත්‍යවශ්‍ය පනතක්. මේ රටට ආයෝජන ලබා ගැනීමට ඇති දුෂ්කරතාව තමයි හැම අතින්ම පැතිරී ඇති දූෂණ වංචා. ඒවා නැවැත්වීම අත්‍යවශ්‍යයි.

පනත තුළ බරපතළ දෝෂ පවතිනවා. මෙය දේශපාලනයෙන් තොරව බැලිය යුතු දෙයක්. පනත දියුණු තත්ත්වයටගෙන ඒමට අපි හැමෝම ක්‍රියා කළ යුතුයි.

අපේ රටේ දූෂිත මුදල්වලින් පිටරටවල දේපළ ලබාගෙන තිබෙනවා නම් ඒවා සොයා බැලීම පිළිබඳ රටවල් අතර සබඳතාවක් ඇති කරන ක්‍රමවේදයක් ඉදිරිපත් කර නෑ. ජාත්‍යන්තර සහය ලබා ගැනීමට විධිවිධාන අවශ්‍යයි.

මහා පරිමාණ දූෂණ නැවැත්වීමට රජයේ නිලධාරීන්ට වත්කම් හෙළි කිරීමට බල කළ යුතුයි. මෙහි ඒ සඳහා යෝජනා කර ඇති ක්‍රමවේදය දියාරුයි.

අල්ලස් හා දූෂණ ක්‍රියාත්මක අපේ රජයේ නිලධාරීන්ටයි. එය පෞද්ගලික අංශයටත් මෙමගින් ක්‍රියාත්මක වෙනවා. නමුත් එවැනි නඩු වසර පහකට වැඩි කාලයකට කල් දැමීමට බලය දීලා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලනඥයන්ට එක විදියකටත් ජනතාවට තව විදියකටත් ක්‍රියාත්මක කිරීමෙන් නීතිය ගැන ජනතාවට ඇති විශ්වාසය බිඳ වැටෙනවා. නීති කොපමණ ගෙනාවත් වැඩක් නෑ.

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ :

රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගවීම හා විනිවිදතාවන් ඇති කිරීමට හා වංචා දූෂණ නැවැත්වීමට නීති ගෙන ඒමට ආධාර දෙන රටවල කොන්දේසි ඉදිරිපත් වුණා.

2027 වෙද්දී ආර්ථික වර්ධනයට යන්න පුළුවන්. රටේ ජනතාව, පාර්ලිමේන්තුව කැප කිීම් රැසක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ආර්ථිකය යථාවත් වෙන්නේ.

එහිදී රටේ හොඳ නීති පද්ධතියක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. අලුත් ගමනකට අලුත් විනයක් රට තුළ ඇති කරද්දී ඒක කරන්න බැහැ කියලත් සමහරු කිව්වා. නමුත් අපි විශ්වාසය ඇතිකර නීති හඳුන්වාදිය යුතුයි.

අපට නැවත කිසිම අවස්ථාවක මේ නීති හා ආර්ථික ප්‍රතිසංස්කරණ ආපස්සට හරවන්න බැහැ. හැරෙව්වොත් ආර්ථික ප්‍රශ්න කිහිප ගුණයකින් වැඩිවෙනවා. විදේශ විනිමය සංචිත හොඳ තත්ත්වයක පවතිනවා. ඒ නිසා ආනයනය ලිහිල් කිරීම ක්‍රමයෙන් සිදු කරන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) :

බාල බෙහෙත් ආනයනය ගැන පාර්ලිමේන්තුවට හෙළි කළ යුතුයි. බෙහෙත් ගේන්න බිලියන 3.8ක් වැය කරලා. ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ගෙන් බෙහෙත් අරගෙන තියෙන්නේ. බාල බෙහෙත් නිසා මේ වනවිට රෝගීන් කිහිපදෙනෙක්ටම ජීවිත අහිමිවෙලා. සෞඛ්‍ය අමාත්‍යාංශය කරන හදිසි මිලදී

ගැනීම් කවදද ඉවර වෙන්නේ. හැමදාම හදිසි මිලදී ගැනීම් සිදුවන්නේ. දූෂණ විරෝධී පනත් ගෙනාවාට දූෂණ වළක්වා ගන්න පියවර ගන්න. ලෝකයේ දූෂිත රටවල් අතරින් අපි 101 ස්ථානයේ. මේවා නිසා විදෙස් ආධාර නතර වෙනවා. ආයෝජකයෝ එන්නේ නෑ. රටට අහිතකරයි.

පනත තුළ සැක සංකා ගොඩයි. මීට පෙර සිදුවූ වංචා ගැන හොයන්න පුළුවන්ද කියා සැකයක් තියෙනවා. පරණ දේවල් වහලා අනාගතයට නීති ගේන්න ආණ්ඩුව උත්සාහ කරනවා. නීතිය අතීතයට බලපාන පරිදි ගේන්න.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සීනෝර් පදනම, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල, ක්‍රීඩා සම්මේලන, ඔට්ටු තරග, සූදු තරග මේ පනතික් ඉවත් කරලා. එතකොට කොහොමද දූෂණ සොයන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලනිප) :

ජනාධිපති පාර්ලිමේන්තුවේ දී තෝරා ගත්තේ. සමහරු දැඩිව ඔහුව විවේචනය කළත් ගිහින් හමුවී වැඩ කරගන්නවා. බොහොම අමාරුවෙන් රට කරන්නේ. අපි හැමෝම එකට සිටිය යුතුයි.

සිවිල් නඩු විධාන සංශෝධනය ඉතා වැදගත්. රිය අනතුරකදී තුවාල වන හෝ හානිවන අයට වන්දි මුදල් ලබා ගැනීමට දීර්ඝ කාලයක් නඩු යනවා. ඒ කාලය කෙටි කරන්න මේ නීති මගින් යෝජනා වී තියෙනවා. සමහර රක්ෂණ සමාගම් වන්දි මුදල් ගෙවීමත් දැඩි ලෙස පමාකරනවා. ඒ ගැනත් වහා නීති සැකසිය යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම (සජබ) :

අල්ලස දූෂණය සිංහල රජකාලේ සිට පවතිනවා. ඒ කාලේ ලිංගික අල්ලස කියලත් තිබුණා. 77න් පසුව මේ අල්ලස සියයට 3ක අල්ලස් ගැනීම් වාර්තා වුණා. සමහරු පිටරට ඉඩම් ගත්තා. පසුව එය සියයට 5, 10 දක්වා වැඩි වී දැන් සීමාව මමවත් දන්නේ නෑ. දැන් තියෙන මැතිවරණ ක්‍රමය නිසයි මේ වගේ දේවල් සිදුවන්නේ.

පාර්ලිමේන්තුවට ඒම බිස්නස් එකක් වීම හැමදාම තිබෙන දෙයක්. යහපාලන ආණ්ඩුව කිව්වා හොරකම් අල්ලනවා කියලා. වෙනම පොලිසියකුත් දැම්මා. හිටපු රාජ්‍ය නායකයන් පවා ගෙනාවා. ඒත් අවසානයේ කවුරුවත් ඇල්ලුවේ නෑ. පුස්සක් වුණා.

අද මේ පනත ගෙනත් තියෙනවා. මෙයින් හෝ අණපනත් අලුත් කරලා හරි නීතිය ඉදිරියට ගෙනයමු. අපේ රටේ මුදල් තමයි කොමිස් වෙලා යන්නේ. දූෂණ අල්ලන්න නීතිය ආපස්සට බලපාන ලෙස ගේන්න. එහෙම නැත්නම මේ නීතියෙන් වැඩක් නෑ.

සියලුම ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හරියට කරන්න ඕන. මේවායින් තමයි කොමිස් ගහන්නේ. ඒ නිලධාරීන් මිනිස්සුන්ට හොඳ අය මිස දේශපාලකයන්ට හිතවත් අය දැමිය යුතු නෑ.

ස්විස් බැංකුව ඇතුළු ජාත්‍යන්තර බැංකු රැසක දූෂිත මුදල් දානවා. ඉදිරියේදී සංශෝධන ගෙනවිත් තවත් පනත ශක්තිමත් කරමු.

පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි :

පනතින් බලාපොරොත්තු වන අභිලාෂය ඉඉුවේද කියන සැකය තියෙනවා. ජපාන තානාපති කාර්යාලය එයාර් ලංකා සමාගම හා තවත් සමාගම් සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකදී විෂයභාර ඇමැතිවරයකුට ඩීල් එකක චෝදනා එල්ල කළා. ඒත් ඔහු අද කැබිනට් ඇමැතිවරයෙක්.

පොහොට්ටුවට ජනවරම ලැබුණේ රනිල් වික්‍රමසිංහට විරුද්ධවයි. ඔහු ආණ්ඩුවේ ජනපති. රක්ෂණ සංස්ථාව එදා පෞද්ගලීකරණය කරන්න අගමැති රනිල් උත්සාහ කළ වෙලාවේ උසාවි ගිහින් එය වැළැක්වූවේ පොදුජන පෙරමුණ. ඒත් පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ සහය ඇතිව අද ඒවා ඔහු විකුණන්න යනවා.

අද රට බරපතළ තැනක තියෙන්නේ. ආණ්ඩුවේ නායකයන්ට ඒ ගැන වගක් නෑ. සවාරි යනවා. ඉදිරියේදී ජනපතිවරණය තියෙනවා. රාජ්‍ය අංශය පෞද්ගලීකරණය කර විශාල කොමිස් කුට්ටියක් ගන්න සමහරු උත්සාහ කරනවා. කිසිදා නැති අන්ත දූෂිත ආණ්ඩුවක් දැන් තියෙන්නේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛi සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

දූෂණ විරෝධී පනතට ලිංගික අල්ලස ඇතුළත් කරලා. ඒ ගැන අපි ස්තුති කරනවා. අල්ලස් සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි. ලිංගික අල්ලස් ගන්න තැනැත්තාට එරෙහිව දැඩි නීති පැනවිය යුතුයි. අද ලිංගික හිංසනයට ලක්වන සිද්ධි රැසක් හෙළි වන්නේ නෑ. පසුව ඇතිවන සිද්ධීන්වලට ඇති බිය නිසා නීතිය හමුවට යන්නේ නෑ. මෙවැනි නඩු විවෘත අධිකරණයේ නැතිව කාමරයක ඇසීමට ක්‍රියා කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර :

අද රටේ සොරකමට, අල්ලසට එරෙහිව ඕන තරම් නීති තියෙනවා. ඒත් සොරකම, වංචාව දිගින් දිගටම වැඩිවෙනවා නම් කොහේ හරි නීතියේ හිඩැසක් තියෙනවා. ඒ හිඩස පුරවන්න මෙවැනි ස්වාධීන කොමිසමක් පිහිටුවීම හොඳයි. නීතිය තිබුණට එය අධීක්‍ෂණය වීමක් වුවොත් ජනතාව විශ්වාසයත්ඇති කරගත හැකියි.

අපේ රට දූෂිත රටක් ලෙස ප්‍රසිද්ධ වෙලා. රාජ්‍ය සේවය අල්ලසට දූෂණයට බර රාජ්‍ය සේවයක් ලෙස ප්‍රසිද්ධ වෙලා. දේශපාලනඥයන් ගැනත් එසේමයි. එය අවාසනාවන්ත තත්ත්වයක්.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන :

දූෂණය, වංචාව, නාස්තිය අද නැති තැනක් නෑ. ඒ තත්ත්වයට අද රට පත්වෙලා. අද ඊයේ නොව දීර්ඝ කාලයක සිට රටට එය තර්ජනයක්. මම 2015 දී ආණ්ඩුවේ වංචා දූෂණ සොයන්න කොමිසමක් පත්කළා. එහි වාර්තාවට වූ දෙයක් නෑ.

පාර්ලිමේන්තුව නැවත අද (22දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment