ශ්‍රී ලන්කන් සමගම බිමට කඩා වැටෙන කොරියන් රැකියා

2014

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ටාටා කොම්පැනියට හෝ වෙනත් බයර් කෙනකුට විකුණා දැමීමේ අවදානමක් පවතින මේ මොහොතේදී ඒ ගනුදෙනුව බෙහෙවින් ඉක්මන් විය හැකි තත්ත්වයක් යටතේ මහත් සංවේගයෙන් යුතුව අද මේ තීරුව ලියමු. අනිච්චාවත සංඛාරා! ගුවන් යානා කර්මාන්තය ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ Aviation Industry යන නාමයෙනි. මේ කියන ඉන්ඩස්ටි්‍ර එකේ ඉතිහාසයට අනුව ලෝකයේ පළමුවන සරුංගලය පස්වන ශත වර්ෂයේදී චීනකු විසින් ගුවන්ගත කරනු ලැබේ. ඒ බට පතුරුවලින් සාදා සිල්ක් රෙද්දෙන් නිමා කරන ලද සරුංගලයකි. පෙරකී චීනා මේ සරුංගලය සාදා ඇත්තේ කුරුල්ලන් අහසෙහි පියාසර කරනු බලාගෙන ඉන්නට බැරි තැනය. ඉන්පසු 1647 දී Tito Livio Burattini නමැති ඉතාලි ජාතිකයා ගුවන් යානයක අනුරුවක් තනා එයට බලයක් යොදවනු ලැබුවහොත් ගුවන්ගත කළ හැකි බව ගණන් හදා ඔප්පු කළේය. ගණන හරිගිය නමුත් ඔහු කියූ බලය හොයා ගැනීමට බැරිවූ හෙයින් අප කතා නායකයාගේ ගුවන් යානය කවදාවත් මහපොළවෙන් උඩට ඉස්සීමට බැරි විය. ඊට පසු ලියොනාඩෝ ඩාවින්සි නමැති බහුවිධ විද්‍යාඥයා ද ගුවන් යානා හෙලිකොප්ටර් යනාදියෙහි ප්‍රායෝගික සැලසුම් ඇන්දේය. මේ කියන කාලයේදී ඩීසල් එන්ජිම හොයාගෙන නැත. එබැවින් එවකට සිටි මධ්‍යකාලීන මිනිසා බලය යනුවෙන් හඳුන්වන ලද්දේ දේව බලයත් අතේ පයේ බලයත් පමණි. දේව බලයෙන් ගුවන් යානා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැති බැවින් ඒ ගැන කතා කරනු නොලැබේ. එසේම අතේ පයේ හයියෙන් ද ගුවන් යානා ක්‍රියාත්මක කිරීමට නොහැක. එබැවින් ගුවනින් ගමන් යෑම අනාගතයට භාරවූ ප්‍රශ්නයක් විය. ඒ අතර යන්ත්‍රයකින් තොරව සුළඟට අනුව ක්‍රියාත්මක කළ හැකි ග්ලයිඩර් වර්ගයේ ගුවන් යානා ගැන යුරෝපයේ විද්‍යාඥයන් තුළ ඡායා දැනුමක් තිබිණ. 1909 දී රයිට් සහෝදරයන් විසින් ලෝකයේ පළමුවන යාන්ත්‍රික ගුවන් යානය සාදන ලදි. අද ඉතිරිව ඇත්තේ එම ගුවන් යානයේ පියාපත්වලට ගැසූ කැන්වස් රෙද්දෙන් වර්ග අඩියක පමණ කෑල්ලකුත් එම ගුවන් යානය සෑදීමට යොදාගත් ආයුධ සැට් එකත් පමණි. මේවා ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී හි පිහිටි Smithsonian ආයතනයේදී අදටත් ප්‍රදර්ශනය කෙරේ. ලංකාවට පළමුවන ගුවන් යානය එන්නේ 1943 දීය. එය කොග්ගලට බාන ලදි. 1947 දී බි්‍රතාන්‍ය ආණ්ඩුව එයාර් සිලෝන් යනුවෙන් ලංකාවේ ජාතික ගුවන් සේවය ආරම්භ කළේය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේදී මේ කියන එයාර් සිලෝන් සමාගම එයාර් ලංකා බවට පරිවර්තනය විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1994 දී මේ රටේ ජනාධිපති වීමෙන් පසු එයාර් ලංකා සමාගමෙන් සෑහෙන කොටස් ප්‍රමාණයක් එමිරේට්ස් සමාගමට විකුණන ලදි. මෙහි පැමිණි එම සමාගම එතෙක් පැවති එයාර් ලංකා සමාගම දහ පහළොස් ගුණයකින් විශාල කර එයට ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් නමැති කදිම නමක් තබා ඉතා ලාභදායක ව්‍යාපාරයක් බවට පත් කළේය. පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේදී ඔහුගේ ඥාතියකු සහ එමිරේට්ස් සමාගම අතර දෙකයි පනහේ ප්‍රශ්නයක් හටගත් බව කියනු ලැබේ. මේ දෙකයි පනහේ ප්‍රශ්නය අවසන් වන්නේ ඩොලර් කෝටි ගණනක් වටිනා ශ්‍රී ලන්කන් සමාගමේ එමිරේට්ස් කොටස් ආපසු ලංකාවට පවරා ගැනීමෙනි. ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගමේ විනාශය පටන්ගන්නේ මෙතැන් සිටය. අනිච්චාවත සංඛාරා!

මේ වනවිට මේ රටේ වැඩිම ණය කන්දරාවක් සහිතව ආණ්ඩුවේ සල්ලි කන ප්‍රමුඛ රාජ්‍ය ආයතනය බවට ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් පත්වී තිබේ. මේ අලාභය දරාගැනීමට නොහැකි බැවින් ළඟදීම දවසක එය ඉන්දියාවේ ටාටා කොම්පැනියට හෝ වෙනත් කට්ටියකට විකුණා දමනවා ඇත. ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් යනු මෑතක් වනතුරුම උපරිම සේවයක් ගුවන් මගීන්ට සැපයූ ආයතනයකි. පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක සිට මේ ආයතනය ක්‍රමයෙන් අල වීමට පටන්ගෙන ඇත. ශ්‍රී ලන්කන් විකුණනවාට එහි තිබෙන වෘත්තීය සමිති කැමැති නැත. එසේම එම ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්කර ණයෙන් තොරව පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළක් ද වෘත්තීය සමිතිවලට හෝ කළමනාකාරීත්වයට නැත. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර සමානකමක් තිබේ. එනම් මේ දෙකම පරක්කු ය. මේ දෙකම ගමන ආරම්භ කරන්නේ නියමිත වේලාවට බොහෝ පසුව ය. ඒ නිසා මේ ගුවන් සේවයේ ගමන් කරන අයට Connected Flights හෙවත් අන්තර් සම්බන්ධිත ගුවන් යානා වරදී. උදාහරණයක් ලෙස ඇමරිකාවට යන ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එක මුලින්ම යන්නේ ලන්ඩන්වලට ය. එතැනින් ගුවන් මගියා ඇමරිකන් එයාර් ලයින්ස් හෝ ඇමරිකාව බලා යන වෙනත් ගුවන් සේවයකට අයත් යානයකට නැගිය යුතුය. ලන්ඩන් ෆ්ලයිට් එක කටුනායකින් ප්‍රමාද වුණොත් ගුවන් මගියා ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළින් බහින විට ඇමරිකාව බලා ගමන් කරන Connected Flights එක ගමන ආරම්භ කර අවසන්ය. මුලදී පැයක් දෙකක් තුනක් හෝ පැය හතරක් ලෙස පැවති මේ ප්‍රමාදය අද වනවිට දවස් භාගයක් පමණ ප්‍රමාද වන තත්ත්වයක් හටගෙන තිබේ. පසුගිය මැයි 23 දා කොරියාව බලා යන ශ්‍රී ලන්කන් ගුවන් යානයකට නැගීම සඳහා ලාංකික ශ්‍රමිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ. ඔවුන් ඊළඟ දවසේදී කොරියාවේ රැකියා භාරගැනීම සඳහා නියමිත අය වූහ. මේ අතර ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එක ප්‍රමාද විය. කට්ටිය පරක්කු වූ බැවින් ඔවුන් කොරියාවට භාරගැනීම එරට මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය. මේ නිසා තරුණයන් විශාල පිරිසකට කොරියන් රැකියා නැති විය. එහෙත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වී කොරියාවට යාප්පු වීමෙන් පසු එම තරුණ පිරිස ජුනි 4 දා කොරියාවට එන ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එකකින් කොරියාවට යැවීමේ එකඟත්වයක් ඇති විය. ජුනි 4 දා ෆ්ලයිට් එක ද පැය දෙකක් ප්‍රමාද විය. කෙසේ වුවද අවසානයේදී යාන්තමට අපේ කොල්ලන් සෙට් එකට කොරියාවට ගොඩබැසීමට හැකි විය.

මේ අතර කොරියන් රැකියා සඳහා පිටත්ව යන 800 වැනි ශ්‍රී ලාංකික ශ්‍රමික කණ්ඩායම පෙරේදා කටුනායකට ගියහ. එදා ද ශ්‍රී ලන්කන් ෆ්ලයිට් එක පැය 12 ක් ප්‍රමාද වීම නිසා තරුණ පිරිසට ගෙවල් බලා යෑමට සිදුවිය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් විකිණීම ගැන කාටවත් විරුද්ධ විය නොහැක. මේ ගුවන් සේවය ලෝක ලෙඩක් වීගෙන එන බව පෙනේ. අනිච්චාවත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ…

advertistmentadvertistment
advertistmentadvertistment