කැබ් රථය ටිපර් රථයේ ගැටී මුලතිව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මරුට

865

වවුනියාව ඕමන්ත, කල්ලිකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ. අකිලේන්ද්‍රන් වෛද්‍යවරයා පෙරේදා (27 දා) සවස මියගොස් තිබේ.

ඔහු ගමන් කළ කැබ්රථය වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පසුව අකිලේන්ද්‍රන් මහතා කැබ් රථය තුළ සිර වූ අතර ඔහුව එළියට ගෙන වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමට පොලීසියට හා ගම්වාසීන්ට විශාල කාලයක් ගත වී තිබේ.

සිහිසුන්ව සිටි වෛද්‍යවරයාව ගිලන් රථයක ආධාරයෙන් වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.

මුලතිව් සිට වවුනියාව දෙසට කැබ් රථය පදවා ගෙන ගොස් ඇත්තේ වෛද්‍යවරයා විසින්ම වන අතර ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යෑමත් සමගම කැබ් රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇත. අනතුරෙන් ත්‍රිරෝද රථයටද හානි සිදුව ඇත. කැබ් රථයේ ඉදිරිපස කොටස කුඩුපට්ටම් වී ගොස් ඇත. ටිපර් රථයේ රියදුරා අනතුරෙන් පසුව දිවගොස් ඕමන්ත පොලිසියට භාර වී ඇත. මියගිය කේ. අකිලේන්ද්‍රන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මුලතිව් දිස්ත්‍රික්කයේ එම තනතුර භාර ගැනීමට පෙර වවුනියාව මහ රෝහලේ වෛද්‍ය අධිකාරී සහ සෙට්ටිකුලම වෛද්‍ය අධිකාරී තනතුර හොබවා ඇත. ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment