අනියම් බිරිඳට ඇසිඩ් ගැසූ “පැලවත්තේ පොඩි පුතා”‍ සොයා මෙහෙයුම්

645

තම අනියම් බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට පළා ගිය බව කියන ”‍පැලවත්තේ පොඩි පුතා ”‍ නම් වූ අයෙකු අත්අඩංගුවට ගැනීමට මීගහතැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඊයේ (31දා) රාත්‍රි 10 ට පමණ එල්ලවුණු මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ වලල්ලාවිට, මගුරුමස්විල, පුහුවලකන්දේ පදිංචි ඉලේපෙරුම ආරච්චිගේ ලෙස්ලි කාන්ති නම්වූ 44 හැවිරිදි කතකි.

තමා රාත්‍රි 8.00 ට පමණ කුරුඳු තැලීම් කටයුතු අවසන් කොට කුස්සියට ගොස් බත් බෙදා ගනිමින් සිටියදී කාමරයේ සිටි බිරිඳ ”‍පොඩි පුතා මට ඇසිඩ් ගැසුවා ”‍ කියා කෑ

ගැසූ බවත් ඒ අනුව තමා ඒ දෙසට යනවිට පැලවත්තේ පොඩි පුතා යන අය එක් අතක ජෝගුවක් හා අනෙක් අතේ අඩි 2 1/2 ක් පමණ දිග මාලු‍ කපන මන්නයක් සහිතව ඉදිරි දොරෙන් පිටව ගිය බවත් කුලප්පු තන්ත්‍රිගේ ඥානදාස (අවු .48) යන අය පොලිසියට පැමිණිලි කර තිබුණි.

මුහුණ, බෙල්ල, පපුව, බඩ, අත් හා කකුල් පිළිස්සී සිටි බිරිඳව පුතා සමග එක්ව වතුර දමා සෝදා මීගහතැන්න රෝහලට ගෙන ගිය බවත් එතැනින් කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවූ බවත් ඔහු කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ.

කලක සිට මෙම පොඩි පුතා යන අය සමග බිරිඳ අනියම් සබඳතාවක් පැවැත්වූ බවද ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේපාල දහනායක සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කළුතර විශේෂ එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment