ආරවුලක් නිසා පාසල් ශිෂ්‍යාවක් පොලිසියට බයේ ගෙල වැලලාගෙන

823

පුස්සැල්ලාව පොලිස් වසමේ නයාපාන වත්ත පහළ කොටසේ වයස අවුරුදු 15 ක 10 වසර පන්තියේ ශිෂ්‍යයාවක් පොලිසියට බියේ ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධියක් සමග එය දිනතුනක් තුළ පොලිසියට බියේ ප්‍රදේශය තුළ සිදු වූ දෙවන සියදිවි නසා ගැනීම බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේ හෙළිවිය.

මෙසේ ගෙල වැලලා ගෙන සියදිවි නසාගෙන ඇත්තේ නයාපාන දෙමළ විද්‍යාලයේ විග්නේශ්වරන් විද්‍යා නමැති සිසුවියයි.

ඇයට බාල සහෝදරයන් තිදෙනකු සිටින අතර අසල්වැසි නිවසේ ළමුන් හා මොවුන් අතර සෙල්ලම් කිරීමේ දී ඇති වුණු සිද්ධියක් වැඩිහිටි ආරවුලක් බවට පත්වීම නිසා නිවසියන් අතර අමනාපයක් හටගෙන තිබී ඇත.

පසුව නිවාස දෙක වෙන් වන ලෙස මිදුල මැදින් ඔවුන් වැටක්ද ගසා ගෙන තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.

විද්‍යාගේ මව හා පියා නයාපාන වත්තේ සේවය කරන අතර ඔවුන් පැමිණෙන තුරු මෙම දරුවන් ඔවුන්ගේ ලොකු තාත්තගේ නිවසේ සිට ඇත.

මේ අතර විද්‍යා දැරිය ලොකු තාත්තගේ නිවසේ සිට ඔවුන්ගේ නිවසට පැමිණි අවස්ථාවක අසල්වැසි අමනාප නිවසේ දැරියක සමග රණ්ඩුවී පහරදීමත් පිළිබඳව එම නිවසේ හිමිකරු විද්‍යාගේ පියාට පැමිණිලිකොට පොලිසි යන බව පවසා තිබේ.

විද්‍යාගේ පියා මේ සම්බන්ධයෙන් ඇයට අවවාද කොට වත්තේ වැඩට ගොස් ඇති අතර පොලිසිය පැමිණෙතැයි බිය වූ විද්‍යා කිසිවකුත් නිවසේ නොමැති අතරේ කාමරයකට වැදී දොර ජනෙල් වසා මවගේ සාරියකින් මෙසේ ගෙල වැලලා ගෙන තිබේ.

ඇය ගෙල වැලලා ගැනීමට පෙර පේලි කීපයකින් ලිපියක් ලියා තමාගේ මරණයට අසල්වැසියා වගකිවයුතු යැයි ද සඳහන් කර තිබිය දී එය ද සොයාගෙන ඇත.

මව පියා වැඩට ගොස් සිටිය දී අක්කාගේ පැමිණීම පමාවීම නිසා ඇගේ දස හැවිරිදි සොයුරා ලොකු තාත්තාගේ නිවසේ සිට ඔවුන්ගේ නිවසට පැමිණ බැලීමේ දී නිවසේ දොර ජනෙල් වසා ඇති අයුරු දැක ජනේලයකින් මොහු රිංගා නිවස තුළට ගොස් ඇත.

එහිදී අක්කා වහලේ එල්ලී සිටින අයුරු දැක ඒ බව මවට පියාට දැන්වීමෙන් පසු සියල්ලෝ පැමිණ ඇය රෝහල්ගත කර තිබේ.

නමුත් ඇය මියගොස් ඇති බව තහවුරු වීමෙන් පසු හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්විය.

ගම්පොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අමිල ද මෙල් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙය ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක් බව තහවුරු කර තිබුණි.

පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමකුමාර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (43933) පෙරේරා මහතාගේ සාක්ෂි මෙහෙයවීම මත හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ගම්පොළ රෝහලේ දී මෙහි මරණ පරීක්ෂණය සිදු කළේය.

එහිදී විද්‍යාගේ පියා වූ ආරුමුගන් විග්නේශ්වරන් ලොකු තාත්තා වූ ආරුමුගන් වාසුදේවන් යන අය ද සාක්ෂි ලබා දෙන ලදී.

මීට පෙර පුස්සැල්ලාව පාරදෙක ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ල තුළ හැටදෙහැවිරිදි රත්නායක මුදියන්සේලාගේ සිරිපාල යන අයකුද සියදිවි නසාගෙන තිබූ තිබූ අතර එහි මරණ පරීක්ෂණ කටයුතු ද නලින් මහතා සිදුකර තිබුණි.

ගම්මිරිස් හොරකමක් සම්බන්ධයෙන් පොලිසියට බියවී සැඟවී ගත කර ඇති මොහු පොලිසියට හසු වෙතැයි සිතා අත්හැර දමා ඇති මෙම රජයේ ගොඩනැඟිල්ල තුළට විත් වස පානය කර තිබුණි.

පරීක්ෂණයේදී හෙළි වූයේ පවතින ආර්ථික තත්ත්වය සමග සුළු සොරකම් සිදු කළ ද පොලිසියට හසු වීමට බියෙන් ඔහු සිය දිවි නසාගෙන ඇති බවයි.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමකුමාර මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ මිනිසුන් දුර දිග නොබලා කටයුතු කිරීම නිසා මෙවැනි තත්ත්වයකට පත් වන බවයි. ළමුන් සම්බන්ධයෙන් මෙවැනි වරදවල් අනාවරණය වන විට එය මග නොහැර වැඩිහිටියන් එයට මැදිහත් වී ගැටලුව නිරාකරණය කරගැනීමට සහාය දැක්වීමෙන් මෙවැනි අවාසනාවන්ත සිද්ධි සිදු නොවන බවයි.

හදිසි මරණ පරීක්ෂණ නලින් ඒ. මැදිවක මහතා පවසන්නේ මෙම සිද්ධිවලින් හෙළි වන්නේ පොලිසිය හා මහජනයා අතර අවබෝධය කාලෝචිතව තවතවත් දියුණු වියයුතු බවයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment