මිනුවන්ගොඩ පාතාලයේ කුලී වෙඩික්කරු මරා දැමූ STF මෙහෙයුම

721

චමිල ඝාතනයට හීනැටියන මහේෂ් ලක්ෂ 25 ක් අරන්….

වෙඩික්කරුට දී ඇත්තේ ලක්ෂ තුනයි…

පාතාල අපරාධකරුවන් රැසකට දැන් උදා වී ඇත්තේ සෙනසුරු අපල කාලයකි. පසුගිය මාස කිහිපය පුරාවට එවැනි අපරාධකරුවන් රැසකට සිදුවූයේ තමන් කළ අපරාධවලට තම ජීවිතයෙන් වන්දි ගෙවීමටය. ඒ අතර නම ගිය වෙඩික්කරුවන් කිහිප දෙනෙක් ද සිටියේය. එලෙස පාතාල අපරාධකරුවන් ඝාතනය වුවත් පාතාල ක්‍රියාකාරකම්වලද අඩුවක් දක්නට නොලැබුණි.

පසුගිය 19 දා අලුයම් කාලයේ දී තවත් පාතාලයේ අංක එකේ වෙඩික්කරුවකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමඟ සිදුකරගත් වෙඩි හුවමාරුවකදී මියගියේය. එලෙස මියගියේ අවුරුදු විසි නවයක් වයසැති මානික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැති කුලී වෙඩික්කරුය. එම කතාව සැකැවින් මෙසේය.

කසුන් සිල්වා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. එම ප්‍රදේශයම ජනප්‍රිය පාසලක අධ්‍යාපනය හැදෑරූ මොහු පාසල් යන කාලයේ සිටම නාහෙට නාහන චරිතයක් ලෙස ප්‍රසිද්ධ විය. අධ්‍යාපන කටයුතුවලට උනන්දුවක් නොදැක්වූ මොහු මිතුරන් සමඟ රස්තියාදු ගැසීමට පුරුදු වී සිටියේය. එම නිසා උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට මොහුට නොහැකි විය.

පාසල් ජීවිතයට සමුදුන් කසුන්ගේ ඊළඟ අරමුණ වූයේ නාවික හමුදා සෙබළෙකු වීමටයි. ඒ අනුව ඔහු දෙමාපියන්ගේ ආශිර්වාදය මැද නාවික හමුදාවට එක් විය. මාස කිහිපයක සාර්ථක පුහුණුවකින් පසු ඔහු නාවික හමුදා සෙබළකු ලෙස සේවයට එක් විය. පුහුණු පාඨමාලාව අතර ඔහු දක්‍ෂ වෙඩික්කරුවකු ලෙස ද ප්‍රසිද්ධියට පත්විය. රස්තියාදු ගැසූ තම පුතා නාවික හමුදාවට එක් වීම පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන්ද සිටියේ ඉමහත් සතුටකිනි. කාලය එලෙස ගතවී ගියේය.

කලක් යද්දී කසුන්ට නාවික හමුදා ජීවිතය එපා වෙමින් පැවතුණි. එයට හේතු කීහිපයක් තිබුණි. ඉන් ප්‍රධානම හේතුව වූයේ ඔහුගේ නිදහස සීමිතවී තිබීම සහ මිතුරන් සමග රිසිසේ විනෝද වීමට අවස්ථාවක් නොතිබීමයි. එම නිසා ඔහු නාවික හමුදාවෙන් පැන යෑමට තීරණය කළේය. ඒ වනවිටත් ඔහු එක් දරු පියෙකු විය.

නාවික හමුදාවෙන් පැන ආ කසුන් මිතුරන් සමග විනෝදයෙන් කාලය ගත කළේය. හරිහමන් රැකියාවක් නොතිබුණද ජීවත්වීම සඳහා ඔහු නොයෙක් දෑ සිදු කළේය. එම කාලය අතරතුර පාතාලයට සම්බන්ධ මිතුරන් කිහිප දෙනකු ද හඳුනා ගැනීමට ඔහුට හැකිවිය. ඔහුන්ගේ කතා ඇසූ පසු කසුන්ටද පාතාල උණක් ගැසුවේය. ඔහුටත් පාතාලයේ කෙරුමෙකු වීමට අවශ්‍ය විය.

දිනක් ඔහු තම පාතාල මිතුරන් සමඟ මෙලෙස කතාබස් කළහ.

“මචං මට දැන් මේ ජීවිතය තිත්ත වෙලා තියෙන්නේ.”

“ඇයි ඒ.”

“කොච්චර හම්බ කළත් මදි. එන්න එන්නම ප්‍රශ්න.”

“අපිට නම් එහෙම ප්‍රශ්න නැහැ. අපිට තියෙන එකම ප්‍රශ්නේ පොලිසිය තමයි. ඒත් අවුලක් නැහැ ඉන්න ටිකේ කාලා බීලා ජොලියේ ඉන්නවනේ.”

“ඔව් ඒක නම් ඇත්ත. ඒක නෙවෙයි මමත් දෙයක් කියන්න හිටියෙ උඹලට.”

“ඒ මොකක්ද?”

“මටත් උඹලගෙ ලොක්කව සෙට් කරලා දියන්. දන්නවනේ මම නේවි එකේ ඉන්න කාලෙ හොඳ වෙඩික්කරුවෙක්.”

“ඕක සුළු දෙයක්නේ. මම අපේ බොසාට උඹ ගැන කියන්නම්.”

කතාව එතනින් අවසන් නොවුණි. ඔවුහු පාතාලය සහ එහි නායකයන් පිළිබඳ තවත් බොහෝ දේ කතා-බස් කළහ. කසුන් එදා සිටියේ ඉමහත් සතුටකිනි. ඒ තව නොබෝ දිනකින් අපත පාතාලයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට හැකි වන නිසාය.

එලෙස දින කිහිපයක් ගත විය. කසුන්ගේ පාතාල මිතුරකු ඔහු හමුවට පැමිණ මෙලෙස පැවසුවේය.

මිනුවන්ගොඩ පාතාලයේ කුලී වෙඩික්කරු මරා දැමූ STF මෙහෙයුම

“අපේ බොසා එයාගේ ටීම් එකට ඔයාව එකතු කරගන්න කැමති වුණා. ඒ ෂුටර් කෙනෙක් විදිහට. හැබැයි ලොක්කාගේ හිත දිනා ගත්තොත් ඕන දෙයක් ඔයා වෙනුවෙන් කරයි. දන්නවනේ අපේ ලෝක්කගේ හැටි. ඔයා කැමති නම් විතරක් කියන්න”.

එය ඇසූ කසුන් මෙලෙස පැවසුවේය.

“ඇයි මම අකමැති වෙන්නේ. මම නේ කිව්වේ බොස්ට අඳුන්වලා දෙන්න කියලා.”

නැවත වරක් එම පාතාල මිතුරා “හරි මම ඉක්මනින් අපේ බොසාව හඳුන්වලා දෙන්නම්” යැයි පැවසුවේය.

කසුන්ගේ එම පාතාල මිතුරා “බොසා” ලෙස හැඳින්වූයේ “හීනටියන මහේෂ්” නැමැති සංවිධානාත්මක පාතාල අපරාධකරුවයි. මෙරට සිට ඩුබායි දේශයට පැනගත් “හීනටියන මහේෂ්” එරට සිට තම ගෝලබාලයන් යොදවා පාතාල ක්‍රියාකාරකම් සිදු කරයි. හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම සහ කුලියට මිනී මැරීම තම ගෝලබාලයන් ලවා ඔහු ජයටම සිදු කරගෙන යයි.

“හීනටියන මහේෂ්” යනු එකල මෙරට සොරකම් සහ කුලියට මිනී මැරුම් කළ පුද්ගලයෙකි. වරුණ නැමැති පුද්ගලයකු සමග එකතු වී මිනුවන්ගොඩ ස්වර්ණාභරණ අලෙවිසලකට ගොස් එය මංකොල්ලකා හිමිකරුට වෙඩි තබා මරා දැමීම, විලත්ත සති පොළේදී මනුෂ්‍යයකු ඝාතනය කිරීම, සීදූව ප්‍රදේශයේ අහිංසක පුද්ගලයකු ඝාතනය ආදී අපරාධ රැසක් මොහු වරුණ සමග එකතුවී සිදුකර තිබේ. රුපියල් දෙදහස් පන්සියකටත් මිනියක් මැරීමට මොහු උත්සාහ කළ බව පැවසේ.

පසුව මෙම අපරාධකාරයන් පොලිසියට කට්ටි පනිමින් සිටියේය. එලෙස ඉන්න අතර ජූඩ් ප්‍රියන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරු “හීනටියන මහේෂ්ව” ඩුබායි වෙත ගෙන්වා ගෙන තිබේ. ඒ මානික්කුගේ දිනේෂ් සිල්වා නැමැති අයකුගේ විස්තර යොදා සාදාගත් විදේශ ගමන් බලපත්‍රයකිනි. එලෙස ගෙන්වා ගත් පසු ජූඩ් ප්‍රියන්ත ඔහු අතහැර දමා තිබේ.

ඩුබායි අතරමංව සිටි “හීනටියන මහේෂ්”ට පසුව කන්න බොන්න දී බලාගෙන ඇත්තේ “කෙහෙල්බද්දර පද්මේ” විසින්ය. ඒ කාලය අතරතුර වරුණ නැමැති පුද්ගලයා ද මහේෂ් හරහා “කෙහෙල්බද්දර පද්මේ” ළඟට පැමිණියේය. සති කිහිපයක් ගතවෙද්දී “හීනටියන මහේෂ්” එරට සිට මෙරට ව්‍යාපාරිකයන්ගෙන් කප්පන් මුදල් ඉල්ලීමට පටන් ගෙන තිබේ. මේ දැනගත් “කෙහෙල්බද්දර පද්මේ” වහාම එය නවතන ලෙස ඔහුට පවසා තිබේ. එහෙත් “හිනටියන මහේෂ්” එය ගණන් නොගෙන ඔහුටත් හොර රහසේ දිගින් දිගටම කප්පම් මුදල් ඉල්ලා තිබේ.

යළි එය දැනගත් “කෙහෙල්බද්දර පද්මේ” තමා ළඟ සිටි මහේෂ් සහ වරුණව පන්නා දමා තිබේ. එතැන් සිට ඔවුන් සමග කිසිදු ගනුදෙනුවක් “කෙහෙල්බද්දර පද්මේ” ඇති කර ගත්තේ නැත.

“හඳයා” නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරු සිටින්නේද ඩුබායි දේශයේය. ඔහු වරුණගේ සහ හීනටියන මහේෂ්ගේ ළඟම හිතවතුන්ය.

වෙළෙඳසලක් බෙදාගැනීමට යෑමේ දී ඇති වූ ගැටලුවක් නිසා හෝමාගම චමිල සහ “හඳයා අතර කලක සිට විරසකයක් ඇති වී තිබුණි. එම නිසා ඩුබායි දේශයේ සිටි “හඳයා” වෙළෙඳ ව්‍යාපාරිකයකු වන චමිල මරා දැමීමට තීරණය කළේය. ඔහු ඒ බව වරුණට පවසා ඔහුගෙන් උදව් ඉල්ලුවේය.

මිනුවන්ගොඩ පාතාලයේ කුලී වෙඩික්කරු මරා දැමූ STF මෙහෙයුම
විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර

වරුණ හීනටියන මහේෂ්ට ඒ පිළිබඳව පැවසුවේය. එවිට ඔහු පැවසුවේ රුපියල් ලක්ෂ විසිපහකට චමල ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගන්නා ලෙසයි. වරුණ, හඳයාට ඒය පැවසුවේය. හඳයා එක පයින් එයට කැමැති විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ “හීනටියන මහේෂ්” තමාගේ අලුත්ම වෙඩික්කරුවූ කසුන් සිල්වාට හෝමාගම චමිල ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේය. එය රුපියල් ලක්ෂ තුනක මුදලකටයි. එය එක පයින්ම භාරගත් කසුන් පසුගිය ජුනි විසි වෙනිදා හෝමාගම නියදගලදී චමිල වෙඩි තබා ඝාතනය කළේය. ඒ ඔහුගේ නිවසේ සාදයක් පැවති අවස්ථාවකදීය.

චමිල සංජීව පෙරේරා නොහොත් “චමිල කොටා” ඝාතනය කිරීමට හීනටියන මහේෂ් රුපියල් ලක්ෂ 25ක් හඳයාගෙන් ලබා ගත්තත් වෙඩික්කරුවූ කසුන්ට ලබා දුන්නේ රුපියල් ලක්ෂ තුනක මුදලක් පමණි.

රැකියාවකුත් නොකර කසුන්ගේ අතේ යහමින් මුදල් ගැවසීම පිළිබඳව ඔහුගේ බිරිඳට සැකයක් ඇති විය. ඒ පිළිබඳව ඔහු කිහිප විටක් කසුන්ගෙන් ඇසුවේය. එහෙත් ඔහු, ඇයට පිළිගත හැකි උත්තරයක් ලබා දුන්නේ නැත. එම නිසා ඔහුට කසුන් ගැන සැකයක් ඇති විය. අවසානයේ ඇය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට තම ස්වාමි පුරුෂයා ගැන පැවසුවාය. ඒ අනුව එම නිලධාරීහු කසුන් ගැන තොරතුරු සොයා බැලූහ. එහිදී අනාවරණය වූයේ මොහු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවයි. කුලී වෙඩික්කරුවකු ලෙස ක්‍රියා කරන මොහු පාතාල නායකයන් කිහිප දෙනෙකුද ඇසුරු කර තිබේ. එයට අමතරව හෝමාගම චමිල නැමති ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මොහු බවට ද අනාවරණය කරගත්හ. ඒ අනුව එම නිලධාරීහු මෙම කුලී වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වූහ.

ඒ අනුව විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් අංශයෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශයෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. වී. එල්. විජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වැනි දින රාත්‍රියේ දී අංක 376/ඒ, මහගම, හොරන්පැලැල්ල ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට එම නිවසේ සිටි වෙඩික්කරු විසින් ටී 56 අවියකින් වෙඩි තබා ඇති අතර, විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රති වෙඩි ප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි. විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ද සුළු තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අවසානයේ තවත් පාතාලයේ කුලී වෙඩික්කරුවකුගේ ඉරණම විසඳුනේ එලෙසින්ය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment