කම්මුල් පහරකට ජීවිතයෙන් වන්දි ගෙවූ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී

3129

අංගොඩ ලෝකකාගේ ගොලයක්ගේ වැඩක්ලු
කරාටේ ධම්මික ඥාති වුවත් පාතාලයට සම්බන්ධ නැතිලු

මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශය අතිශය කාර්යබහුල වී තිබුණේය. අහස් කුස වලාකුළුවලින් ගැබ් වී තිබුණේ තවත් නොබෝ වේලාවකින් මහ වැස්සක් ඇදහැලෙන පෙර ලකුණු පහළ කරමින්ය.

අගෝස්තු 02 වැනිදා සැන්දෑ කාලය ගෙවී යමින් තිබුණේය. මහා වැස්සට පෙර නිවෙස් බලා කඩිමුඩියේ දිව යන ජනයා බැංකු හන්දිය පසු කරමින් යන්නට වූහ.

සුමුදු රුක්ෂාන් පිංතු බැංකු හන්දියේ පිහිටි වාහන අංගනය ඉදිරිපිට සිටියේය. වාහන අංගනයේ පොළොවට සිමෙන්ති දමා තිබුණේ ඊට පෙරදිනය. කොන්ක්‍රීට් පොළොවට සුමුදු වතුර වත් කරමින් සිටියි.

ඒ අතරම මහමඟ යන දන්නා කියන අය සමග වචනයක් දෙකක් කතා කිරීමට ද සුමුදු අමතක කළේ නැත. සුමුදු රුක්ෂාන් පිංතු මුල්ලේරියාවට ආගන්තුකයකු නොවන නිසා බොහෝ දෙනකු ඔහු සමග මිතුදම් පැවැත්වූහ. මාරයාගේ හෝරාව එළඹෙමින් තිබෙන බව සුමුදු සිහිනයකින් හෝ සිතුවේ නැත. තමන් උපන් බිම තමන්ට ඇති දේශපාලන හයිය ගැන විශ්වාසයක් තබාගෙන සිටි සුමුදු සිටින අවදානමක් ගැන මොහොතකටවත් සිතුවේ නැත.

එහෙත් සිදුවෙමින් තිබුණේ ඔහු කිසිදිනක බලාපොරොත්තු නොවූ සිදුවීම් මාලාවකි. මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශය පසු කර යන වාහන අතරින් හිටිහැටියේම යතුරුපැදියක් මතු වුණේය. යතුරුපැදියේ පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳ සිටියහ. කළු පැහැති ජැකට්වලින් සැරසී සිටි මේ පුද්ගලයන් දෙදෙනා රැගත් යතුරුපැදිය සුමුදු රැඳී සිටි වාහන අංගනය දෙසට ධාවනය වුණේය. වේගයෙන් ආ යතුරුපැදිය වාහන අංගනය ඉදිරිපිට නතර කළේය. සුමුදු යතුරුපැදිකරුවන් දෙස බැලුවේ තමන් දන්නා හඳුනන කෙනෙකු පැමිණ ඇතැයි කියාය.

කම්මුල් පහරකට ජීවිතයෙන් වන්දි ගෙවූ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී

එහෙත් ඒ පැමිණ සිටියේ සුමුදුගෙ මාරයාය. යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා එක්වරම සුමුදු දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන්න වුණේය. එල්ල වූ වෙඩි හඬින් මුළු මුල්ලේරියාව දෝංකාර දෙන්නට විය. එහෙත් ඝාතකයාගේ ඉලක්කය සාර්ථක වුණේ නැත.

අනපේක්ෂිත මොහොතක එල්ල වු වෙඩි ප්‍රහාරයෙන් දැඩි ලෙස කලබලයට පත් වූ සුමුදු වාහන අංගනය අසල ඇති අතුරු මාර්ගය ඔස්සේ දිව ගියේ කෙසේ හෝ තම ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අටියෙන්ය.

එහෙත් මාරයා පලා ගියේ නැත. දිව යන සුමුදු පසුපස පන්නාගෙන ගිය පාතාල ඝාතකයා ඔහු වෙත පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය. ඝාතකයා එල්ල කළ පිස්තෝල උණ්ඩවලින් බේරීමට සුමුදුට හැකි වුණේ නැත. වෙඩි උණ්ඩ කීපයක්ම ඔහුගේ පපු ප්‍රදේශය විනිවිද ගියේය. කපා හෙලූ කෙසෙල් කඳක් මෙන් සුමුදු බිම ඇද වැටී මහ පොළොව සිප ගන්නේ අවසන් සුසුම් පොද වාතලයට එක් කරමින්ය. සිය ඉලක්කය සපුරා ගත් පාතාල ඝාතකයන් දෙදෙනා යතුරුපැදියේ නැගී ජනාකීර්ණ මුල්ලේරියාව නගරය මැදින් අතුරුදන් වූහ. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ හිස්ලූලූ අත දිව ගිය නගරවාසීන් එකා දෙන්නා සුමුදු බිම වැටී සිටි ස්ථානයට රැස් වූහ. වාහන අංගනයේ සේවකයන් වහ වහා සුමුදු රෝහල කරා ගෙන යන්නට කටයුතු කළේ කෙසේ හෝ ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ අටියෙන්ය. එහෙත් ඒ වනවිටත් සුමුදු මරු තුරුලට ගොස් සිටියේය.

මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ උපත ලැබූ සුමුදු හොඳ අධ්‍යාපනයක් ලැබූ තරුණයකු නොවීය. කඩුවෙල පාතාලයේ කෙරුම්කාරයකුව සිටි කරාටේ ධම්මිකට ඥාතීත්වයක් තිබුණ ද සුමුදු කිසිදිනක ඒ මාරයා ගිය අඩි පාරේ ගමන් කළේ නැත. සුමුදු කුඩා කල සිටම ආශා කළේ දේශපාලනඥයකු වීමටය. අධ්‍යාපන කටයුතු හමාර කළ ද සුමුදුට ස්ථිර රැකියාවක් තිබුණේ නැත. ඒ වනවිට කොලොන්නාව, මුල්ලේරියාව, කොටිකාවත්ත ප්‍රදේශ දේශපාලන උණුසුමෙන් ගිනියම් වී තිබුණේය.

දීර්ඝ කාලයක සිට කොලොන්නාව පුරවරයේ කිරුළු පලන් රජු ලෙස සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට අභියෝග කරමින් දුමින්ද සිල්වා ඔහුගේ රාජධානිය ආක්‍රමණය කරමින් සිටියේය.

කොලොන්නාවේ වැඩිහිටි පිරිස් මෙන්ම බොහෝ ප්‍රාදේශීය දේශපාලනඥයන් භාරත ලක්ෂ්මන්ගේ කණ්ඩායමට එක්ව සිටියහ. එහෙත් කොලොන්නාවේ තරුණ පරපුරෙන් වැඩි කොටසක් අලුතින් ආ දුමින්ද සිල්වාගේ කණ්ඩායමට සම්බන්ධ වූහ.

සුමුදු රුක්ෂාන් පිංතු ද දුමින්ද සිල්වාගේ කණ්ඩායමට එක්වන්නේ අනාගතයේ දේශපාලනඥයකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමේ අටියෙන් යුතුවය. දුමින්ද සිල්වා පසුපස යමින් ඔහුගේ දේශපාලන වැඩවලට පූර්ණ කාලීනව දායකත්වය දැක්වූ සුමුදු වැඩි කලක් යන්නට මත්තෙන් ඔහුගේ හිත දිනා ගත්තේය. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයන්ගේ ලැයිස්තුවට සුමුදුගේ නම ඇතුළත් කිරීමට දුමින්ද සිල්වා කටයුතු කළේ ඔහු කෙරෙහි තිබූ විශ්වාසය නිසාමය. මේ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ක්‍රියාකාරී දේශපාලනඥයකු වූ සෝලංගආරච්චි ද මේ මැතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන්ම තරග වැදුණේය.

මැතිවරණයෙන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට වැඩි මනාප ලබාගෙන තිබුණේ භාරත ලක්ෂ්මන්ගේ සමීපතම හිතවතා වූ සෝලංගආරච්චිය. දෙවැනියට වැඩිම මනාප ගැනීමට සුමුදුට හැකි වන්නේ දුමින්ද සිල්වාගේ පූර්ණ සහයෝගය මතය.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කිරීමේ සීතල යුද්ධය ආරම්භ වන්නේ එතැන් සිටය. භාරත ලක්ෂ්මන්ට අවශ්‍යව තිබුණේ තම සමීපතමයා වන සෝලංගආරච්චි ඒ සඳහා පත් කර ගැනීමටය. වැඩි මනාප ගැනීමෙන් ඒ සඳහා නියම සුදුස්සා වී සිටියේ ද සෝලංගආරච්චිය.

එහෙත් කොලොන්නාවට හිටි හැටියේ කඩා පාත්වූ දුමින්ද සිල්වාට අවශ්‍ය වුණේ තම සමීපතමයකු වන සුමුදු රුක්ෂාන් පිංතු කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කිරීමටය. සභාපති පුටුව සඳහා පැවැති සීතල යුද්ධය මහා ගැටුමක පෙරනිමිති පහළ කළේය. දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් අතර පැවති වෛරය දෙගුණ තෙගුණ කරවීමට මේ සිදුවීමත් පාදක වී තිබුණේය. කෙසේ හෝ අවසානයේ භාරත ලක්ෂ්මන් ජය ගත්තේය. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට සෝලංගආරච්චි පත්වූ අතර එහි උප සභාපතිවරයා ලෙස සුමුදු රුක්ෂාන් පිංතු පත් විය. දේශපාලනයට ආගන්තුකයකු වුවද සුමුදු සිය රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරමින් ප්‍රදේශයේ ජනතාවගේ හොඳ හිත දිනා ගන්නට හැකි වුණේය.

තමන්ට හැකි පමණින් ජනතාවට සේවය කළ සුමුදු ඔවුන්ගේ අවශ්‍යතා උදව් පදව් කර දීමට කටයුතු කළේය. මේ නිසාම සුමුදු මුල්ලේරියාවේ ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නට වැඩි කාලයක් ගත වුණේ නැත. සුමුදු රුක්ෂාන් පිංතු වැඩි කලබලයක් නැති නිහඬ චරිතයක් වුවද ඔහු ජනතාව සමග නිතර කටයුතු කිරීමට වගබලා ගත්තේය.

කොලොන්නාව පමණක් නොව මුළු රටම උණුසුම් කළ ගැටුම සිදුවන්නේ මේ අතරතුරදීය. දුමින්ද ද සිල්වා ඇතුළු සහචරයන් විසින් භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් මුළු කොලොන්නාවම ගිනි ගත්තේය.

මේ සිදුවීම තම දේශපාලන දිවියට මරු පහරක් එල්ල කරනු ඇතැයි සුමුදු කිසිදිනක සිතුවේ නැත. භාරත ලක්ෂ්මන් ඝාතනයට ලක්වීම සෝලංගආරච්චිගේ දේශපාලන දිවියට මරු පහරක් එල්ල වූවා සේම දුමින්ද සිල්වා බරපතළ තුවාල ලබා සිංගප්පූරුවට රැගෙන යෑම සුමුදුගේ අනාගතයට ද තදින් බලපෑවේය.

තම දේශපාලන අනාගතයේ මහා බලකණුවක් ලෙස සිටි දුමින්ද සිල්වා නොමැති වීම ගැන සුමුදු දැඩි ලෙස කම්පනයට පත් කිරීමට සමත් විය. එහෙත් ඒ වනවි මුල්ලේරියාව ප්‍රදේශයේ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනඟා ගෙන සිටි සුමුදු තම ඉදිරි ගමන පියවරෙන් පියවර යමින් සිටියේය.

මුල්ලේරියාව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු වූ පොලී රොෂාන් සුමුදුගේ සමීපතම මිතුරකු විය. සුමුදුගේ දේශපාලන වැඩවලට නොමසුරුව සහයෝගය දීම නිසා පොලී රොෂාන් ඔහුගේ පවුලේ සමීප හිතවතකු බවට පත්ව සිටියේය. පොලී රොෂාන් තම දේශපාලන අනාගතයේ අත්වැලක් වනු ඇතැයි කියා සිතා සුමුදු සිතා සිටියේ. එහෙත් ඒ සිතුවිල්ල සිහිනයක් කරමින් පොලී රොෂාන් පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කළහ. පොලී රොෂාන් චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ව්‍යායාම් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු ඔහුට වෙඩි තබා ඝාතනය කළේය. පොලී රොෂාන් ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුට අයත් ව්‍යාපාර ඉදිරියට කරගෙන යෑමේ රාජකාරිය පැවරී තිබුණේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයාටය. රොෂාන්ගේ පුත්‍රයා ලාබාල වයසේ පසු වූ නිසා ව්‍යාපාර කරගෙන යෑමට හවුල්කාරයකු ලෙස සුමුදු ඉදිරිපත් වුණේය. රොෂාන් කරගෙන ගිය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සඳහා ඔහුගේ පුත්‍රයා සමග හවුල්කරුවකු වූ සුමුදු එම ව්‍යාපාර සාර්ථකව කරගෙන ගියේය. අංගොඩ, මුල්ලේරියාව, කොටිකාවත්ත, කොලොන්නාව යනු පාතාල ලෝකයේ කෙරුම්කාරයන් ගහන ප්‍රදේශ විය. අංගොඩ ලොක්කා සිටි පාතාල බලකොටුව ස්ථාපිත කරගෙන සිටියේ මේ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනය. කළුතරදී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කර රණාලේ සමයං ඇතුළු හත් දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පැන ගත්තේය. අංගොඩ ලොක්කා ඉන්දියාවට පලා ගිය පසු ඔහුගේ පාතාල රාජධානියේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කළේ “ජෝසේ” විසින්ය. මත්ද්‍රව්‍ය ජාවාරම් කප්පම් ගැනීම් ඇතුළු දරුණු අපරාධවල නිරතවූ ජෝසේ ද මුළු පළාතටම පිල්ලයක් වූ චරිතයකි. කරාටේ ධම්මිකට නෑකම් කියූ නිසාත් දේශපාලනමය වශයෙන් ශක්තිමත්ව සිටි නිසාත් සුමුදු අංගොඩ ලොක්කාගේ පාතාලය ගණනකට ගත්තේ නැත. පාතාල මැරයන්ගෙන් එල්ල වූ බලපෑම් තර්ජන ගර්ජන ගණනකට නොගත් සුමුදු තම දේශපාලන කටයුතු මෙන්ම හවුල් ව්‍යාපාර ද සාර්ථකව කරගෙන ගියේය.

වරක් ජෝසේ සමග ආරවුලක් ඇති කර ගත් සුමුදු මුල්ලේරියාව නගර මධ්‍යයේදී ඔහුට පහර දුන්නේය. මේ සිදුවීම මුළු මුල්ලේරියාවම උණුසුම් කළ සිදුවීමක් බවට පත්ව තිබුණේය. ප්‍රසිද්ධ ස්ථානයකදී තමන්ට පහරදීම පිළිබඳව ‘ජෝසේ’ සිටියේ සුමුදු කෙරෙහි දැඩි වෛරයකින් යුතුවය. පොලී රොෂාන්ට අයත් පර්චස් තිහක පමණ ඉඩම් කැබැල්ලක් මුල්ලේරියාව බැංකු හන්දියේ තිබුණේය. පොලී රොෂාන් ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ පුත්‍රයා සුමුදු සමග එක්ව මේ ඉඩමේ වාහන අංගනයක් ඉදිකළේය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට යොදා ගත් යන්ත්‍රසූත්‍ර මේ වාහන අංගනයේ ගාල් කර තැබීමට රොෂාන්ගේ පුත්‍රයා සහ සුමුදු කටයුතු කළේය. සුමුදු ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් පවසන්නේ මේ ඉඩම සම්බන්ධයෙන් පැවති ආරවුලක් ඊට හේතු වූ බවට සැක පහළ කරන බවයි. සුමුදුගේ පහර කෑමට ලක්වූ ජෝසේ හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලා ගොස් තිබුණේය. ඒ මීට ටික කලකට උඩදීය. ජෝසේට ප්‍රසිද්ධියේ පහරදී ඔහුට කළ නිග්‍රහයට එකට එක කිරීමක් ලෙස සුමුදු ඝාතනය කළ බවට ද පොලිසිය තුළ සැකයක් පවතියි. කෙසේ වෙතත් සුමුදු ඝාතනය කළේ කවුරුන් ද කුමන අවශ්‍යතාවකට ද යන්න මෙතෙක් තොරතුරු හෙළි වී නැත. දේශපාලන ලෝකයේ හිනිපෙත්තට යෑමට සිහින මවමින් සිටි සුමුදු ලක්ෂිත පිංතු අද ජීවතුන් අතර නැත. පාතාල මැරයන් විසින් ඔහුගේ ජීවිතය අකාලයේම පැහැර ගෙන ගොසින්ය.

හය හතර නොතේරෙන දරුවන් තිදෙනකුට සෙනෙහෙබර පියකු අහිමි වී ඇත. බිරිඳට තම ආදරණීය සැමියා අහිමි කර හමාරය. පාතාල මැරයන්ට මිනිස් ජීවිතයක වටිනාකමක් නැත. මිල මුදලට උන් ඕනෑම පාහර වැඩක් කිරීමට පෙළඹෙනු ඇත. මාස දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළදී පාතාල මැරයන් විසින් බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ මිනිස් ජීවිත 22 ක් බිලි ගෙන හමාරය. විමතියට කරුණ වන්නේ මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදී පාතාල මැරයන් විසින් මේ ඝාතන සිදු කරද්දී පොලිසිය නිද්‍රාශීලීව සිටීමය.

හේමන්ත රන්දුණු
ඡායාරූප යුකේ අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment